වෙලාව රාත්‍රී දහයට හෝ දහය පසුවී විනාඩි කිහිපයක් ගතවී තිබෙන්නට ඇත. ඉන්දියාවේ හිමාල කන්ද ආශ්‍රිත ප්‍රදේශයක ගිනිමැල කිහිපයක් දැල්වෙමින් තිබිණි. තාවකාලිකව සැකසූ කූඩාරම් කිහිපයක්ද ඒ අවට පිහිටා තිබුණු අතර තරමක් විශාල රූස්ස ගහකොළ පිහිටි වනගත සීමාව ආසන්නයේ පිහිටි මෙම බිම්කඩ තුළ පමණක් ගහකොළ නොමැතිව කුඩා ක්‍රීඩා පිටියක ස්වභාවයක් පෙන්නුම් කළේය.
ගෝත්‍රික ජනයා වෙසෙන කුඩා ගම්මානයකැයි අනුමාන කළ හැකි ස්වභාවයක්ද එහි දිස්විය.
පරිසරයේ වූයේ සුපුරුදු සුළඟට මුසු තද සීතලකි. එම සීතල පරයා උණුසුම අපේක්ෂා කළ පිරිස් කූඩාරම් තුළ සිට විටින් විට පැමිණ ගිනිමැල අසලට රොක්වූයේ විවිධ විනෝදජනක කතා කියමින් සැහැල්ලුවෙනි.
මොහොතින් මොහොත කාලය ගෙවී ගියෙන් රාත්‍රී දොළහට ආසන්න වෙමින් තිබෙද්දී වනාන්තරයට ඔබ්බෙන් යම් ආලෝකයක් අස්සේ සිට විටින් විට මහ පොළොව දෙසට විහිදී ගියෙන් ගිනිමැල අසල සිටි පිරිස් වර්ෂාවක් ඇදහැලෙන්නට විදුලි කොටනවාදෝ යන සැකයෙන් කූඩාරම් තුළට වූයේ ඒ තුළ කුඩා ගිනිමැල දල්වාගනිමිනි.
ගතවූයේ මොහොතකි. පරිසරය දෙදරුම්කවමින් මහා ආලෝක කදම්භයක් එම ස්ථානයටට පතිත විය. අකුණක් පාත්වූවාදෝ සැකයෙන් පිරිස තිගැස්සෙන්නට ඇත. ඒ අතරේ අවට තිබූ කූඩාරම් සියල්ල ගිනිගෙන දැවෙන්නට පටන් ගත්තේය.
විදුලි කෙටීමට සමාන ආලෝක නිකුත් වීම නතර වුවද ගිනිමැල සේ දැල්වෙන කූඩාරම්වල ආලෝකය තරමක් ඈතට පෙනෙන්නට තිබිණි. කූඩාරම් ගිනිගන්නා බව ඊට තරමක් දුරින් කූඩාරම් තනාගෙන සිටි තවත් එවැනිම පිරිසක් හඳුනාගත් අතර ඔවුන් අඳුරේම එම ස්ථානයට දිව ආවේ කලබලයෙනි. එහෙත් එතෙක් වේලා කූඩාරම් තුළ ජීවත් වූ කිසිවකු එහි දක්නට නොලැබුණු අතර ඔවුන්ට ගින්නෙන් හානි වූ බවටද කිසිදු හෝඩුවාවක් නොවිණි. කුමක් සිදුවූයේද යන්න කිසිවකුට අනුමාන කරන්නටවත් හැකියාවක් නොවූ අතර කූඩාරම් පිහිටි සීමාවේ තැනක විශාල වළවල් තුනක් ඉලිප්සාකාර හැඩයකින් සෑදී ඇති අයුරු දක්නට තිබිණි. යම් වස්තුවක් මහ පොළොව මත ගැටීමෙන් ඇතිවන වළගැසීමකට සමාන ස්වභාවයක් එම සලකුණේ දක්නට තිබිණි. ‘මිනිසුන්ට මොකද වුණේ’ මේ අවසානයට ඉතිරිවූ ප්‍රශ්නයට පිළිතුරක් නොතිබිණි. අතුරුදන් වීමක් නැතිනම් පැහැරගැනීමක් විය හැකි යැයි අනුමාන කළද එසේ කළේ කවුද, කෙසේද යන්න කිසිදු සාක්ෂියක් ගළපා ගැනීම අපහසු විය.
මේ කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකොට අතුරුදන් වීමක් සිදුවූ එක් අවස්ථාවක් පමණි. මෙවැනි අතුරුදන් වීම් රාශියක් ගැන ලෝකයේ විවිධ රටවල විවිධ ප්‍රදේශවලින් අසන්නට ලැබී ඇත. ඒ බොහොමයක් සිදුවීම් තුළ ඇත්තේ සැඟවුණු අද්භූත හෝ ගුප්ත ස්වභාවයකි. ඇතැම් සිදුවීම් විශ්වාස කිරීමට පවා අපහසු ඒවාය.
මෙවැනිම තවත් සිදුවීමක් එංගලන්තයේ ගම්බද ප්‍රදේශයකින් වාර්තා වී තිබිණි. ඒ, එක්දහස් අටසිය පනස් ගණන්වලදීය. එවක මහා පරිමාණයෙන් වගා කටයුතුවල නියැළුණු ගොවි මහතකු සිය හිතවතකු සමග ගොවිපළ තුළ ඇවිද යමින් වගාවන් පරීක්ෂා කරමින් සිටියදී එම ගොවි මහතාගේ හඬ එකවරම නොඇසී ගොස් තිබේ. තමාට පිටුපසින් කතා කරමින් පැමිණි ගොවි මහතාගේ හඬ නතර වීමෙන් කලබලයට පත් මිතුරා ආපසු හැරී බලද්දී එහි කිසිවකුත් දක්නට ලැබී නැත. ගොවි මහතා සිටියා යැයි අනුමාන කළ හැකි තැන කවාකාර කොටසක තණකොළ ගැලවී ගිය ස්වභාවයක් පෙනෙන්නට තිබී ඇති අතර යම් බලයකට ගොවි මහතාත් සමගම එම තණකොළද ගැලවී ඉහළට ඇදීගියාදෝ යන්න සැක කළ හැකි ස්වභාවයක් එම ස්ථානයේ තිබී ඇත. කලබල වූ මිතුරා වටපිටවත් නොබලා එම ස්ථානයෙන් ඉවත්ව ඇති අතර ඊට යාබද නිවෙසේ සිටි පිරිස ඊට මොහොතකට පෙර අද්භූත හඬක් සමග තද ආලෝකයක් අහසේ නැඟුණු බව දැක තිබිණි.
එංගලන්තයෙන් මෙවැනි සිදුවීම් රාශියක් වාර්තා වී ඇති අතර තවත් ප්‍රසිද්ධ එවැනි සිදුවීමක් වන්නේ බොහෝ කලකට පෙර මනාල යුවලක් අතුරුදන් වීමේ පුවතයි. එවක අශ්ව කරත්ත ඉතා ප්‍රසිද්ධ සහ ජනප්‍රිය වූ යුගයයි. මනාල යුවලකට අශ්ව කරත්තයක නැඟී සිය මංගල ගමන යෑම ඉතා සුන්දර අත්දැකීමක් වූ කාලයකි. ඒ සඳහාම සැකසූ විශේෂ අශ්ව කරත්තද ඒ කාලයේ තිබිණි.
ඉතා ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දරුවා වූ තරුණයා සිය මනාලිය කැඳවාගෙන එන්නට ගියේ අලංකාර ලෙස රන් රිදියෙන් සරසා වියන් යෙදූ අශ්ව කරත්තයකිනි. එහෙත් ඔවුන්ට සිසිල් සුළඟ නිසි ලෙස ලැබිය යුතු නිසාම එම අශ්ව කරත්තයේ වහලයක් නොතිබිණි. මංගල පෙරහැර ආරමභ වූයේ රාත්‍රියේය. පැය භාගයක පමණ කාලයක් ගමනට ගතවිණි. අතරමඟදී නැටුම් සංදර්ශන ආදියද යෙදී තිබිණි. ඒ සඳහා අශ්ව කරත්තය ස්ථාන කිහිපයකදී නතර කෙරිණි.
ගමන අවසන් කර කරත්තය ව්‍යාපාරිකයාගේ නිවෙස අසලට පැමිණියද මනාල යුවල එහි නොසිටීමෙන් පිරිස මහත් කලබලයට පත්වූහ. එහෙත් ඔවුන්ට සිදුවූයේ කුමක්ද යන්න කිසිවකු දැන නොසිටි අතර අතරමඟදී යම් හඬක් නැඟුණු බවත්, මල් වෙඩිල්ලක් සේ කුඩා කැබලි විසිර ගිය බවත්, එය සැලසුම් කළ මල් වෙඩිල්ලක් විය හැකි යැයි තමන් අනුමාන කළ බවත් පිරිස අතරේ සිටි කිහිප දෙනකු පවසා තිබිණි.
පසුදා අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කළ පිරිසට දක්නට ලැබී ඇත්තේ ඉරී කුඩා කැබලි බවට පත්ව විසිරී තිබූ මනාලියගේ වේල් එකේ කොටස්ය. කෙසේ නමුත් එදිනට පසු එම මනාල යුවල ගැන කිසිදු හෝඩුවාවක් හමු නොවිණි.
ඉහත සිදුවීම් හා සමානවම කිසිදු සාක්ෂියක් නොමැතිව ප්‍රංශයේ පුද්ගලයකු ප්‍රධාන මාර්ගයක් අසල පිහිටි බංකුවක් මත වාඩිවී සිටියදී අතුරුදන්වී තිබිණි. ඒ, මීට වසර ගණනකට පෙරදීය. එම පුද්ගලයා පොතක් කියවමින් සිටියදී එලෙස අතුරුදන්වී තිබිණි. ඔහු කියවමින් සිටි පොත ඒ අසල තැනක වැටී තිබූ අතර එහි පිටු කිහිපයක් පමණක් ඉරී ගොස් තිබී ඇත. එම ඉරුණු පිටු ගැන කිසිදු හෝඩුවාවක් නොතිබූ අතර සිදුවීමෙන් දින කිහිපයකට පසුව එම පුද්ගලයා යළිත් ඔහු අතුරුදන් වීමට ලක්වූ බංකුව මතම සිට හමුවී ඇත්තේ ඔහු කියවමින් සිටි අතුරුදන්ව තිබූ පිටු කිහිපයද සමගිනි. එහෙත් තමාට සිදුවූයේ කුමක්ද යන්න හෝ වෙනත් දෙයක් ගැන කියන්නට නොහැකි ආකාරයට යම් මානසික ව්‍යාකූල තත්ත්වයකටත් කතා කිරීමට නොහැකි තත්ත්වයකටත් එම පුද්ගලයා මුහුණ දී සිටියේ අබිරහස් අන්දමිනි.
මෙවැනිම අතිශය ප්‍රසිද්ධ අතුරුදන් වීම් රාශියක්ද පසුගිය කාලයේ අසන්නට ලැබුණු අතර ඉන් බොහොමයක් බර්මියුඩා ත්‍රිකෝණයද සුවිශේෂ වෙයි. මෙහිදී අතුරුදන් වීමට ලක්වුණු නැව් සහ ගුවන් යානා ප්‍රමාණය සිය ගණනකි. මිනිසුන් දහස ඉක්මවා ගිය පිරිසකට මේ අතුරුදන්වීම් හේතුවෙන් ජීවිත අහිමිවී ඇතැයි අනුමාන කළ හැකිය. කිසිදු තොරතුරක් නොමැතිව අද්භූත ආකාරයට සිදුවූ මෙවැනි අතුරුදන්වීම් ගැන විවිධ ආකාරයට පර්යේෂණ පැවැත්වුවද ඒ කිසිවකින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට නොහැකි වී තිබේ.
විටින් විට ලෝකයේ විවිධ ස්ථානවලින් අසන්නට ලැබුණත් මෙම අතුරුදන්වීම්වල ස්වභාවය යම්කිසි සමානතාවකින් සිදුව ඇති ආකාරයක් පෙන්වන බවට බොහෝ පිරිස් අනුමාන කරයි.
එහෙත් මේ සියල්ල පිටුපස මෙලොව ක්‍රියාත්මක වන යම් බලවේගයක් හෝ ශක්තියක් නැතහොත් කණ්ඩායමක් ක්‍රියා කළේ නම් කුමක් හෝ සාක්ෂියක් සොයාගත හැකි වන බව රහසක් නොවේ. එහෙයින් යම් ලෙසකට මෙය පිටසක්වළ හා සම්බන්ධ පිරිසකගේ ක්‍රියාකාරකමක්ද යන්න මේ වෙද්දී සැක මතුව තිබේ.
එලෙස පිටසක්වළ ජීවීන් පිරිසක් පෘථිවිවාසීන්ව විටින් විට පැහැරගෙන යනවා නම් ඒ කුමක් සඳහාද යන්න සැක සහිතය.
එමෙන්ම අධි තාක්ෂණික යානා හෝ උපකරණ සහ කිරණ සහිත යානාවලින් පැමිණ ගුවනේ සිටම මෙලොව ජීවීන් යානා තුළට ඇදගැනීමේ ශක්තිය සහිත පිටසක්වළුන් සිටිනවාද යන්න මේ වන විට සැකසංකා මතුව තිබෙන අතර කෙසේ නමුත් මෙවැනිම අතුරුදන් වීම් අනාගතයේදීද අසන්නට ලැබෙනු ඇතැයි බොහෝ දෙනකු විශ්වාස කරන්නකි. එහෙත් එවන් සිදුවීමකින් හෝ මේ අබිරහස විසඳේ යැයි කිසිවකු නොසිතනු ඇත. මන්ද පිටසක්වළක් හෝ මේ හා සමාන තවත් දියුණු ලොවක් ගැන අදහසක් මිස සාක්ෂියක් කිසිවකුට තවමත් සොයාගන්නට නොහැකිව ඇති නිසාවෙනි.
කුමාර රත්නායක










