ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු හා දිස්ත්‍රික් කළමනාකාරවරුන්ගේ හමුව පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (05) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී සිටියහ.
මෙම අවස්ථාවට සහභාගී වූ ඇතැම් සංවිධායකවරු දැඩිව පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි.
තමන්ට ආසනයේ වැඩ කටයුතු කරගෙන යාමට මේ ආණ්ඩුවේ සිටීම බාධාවක් බව ඔවුන් පවසා ඇති අතර ඇතැම් සංවිධායකවරු පවසා ඇත්තේ පොහොර, විදුලිය, ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ආණ්ඩුවේ සාමාජික කණ්ඩායමක් වී තව දුරටත් සිටීමෙන් තමන් ජනතා අප්‍රසාදයට ලක්වන බවයි.
මෙහිදී අදහස් දැක්වූ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට තමන් එකඟ වුවත් ඊට නියම අවස්ථාව එනතුරු ආණ්ඩුවේ රැදී සිටිය යුතු බවයි.
මීට පෙර 2015 දී තමන් එවක ආණ්ඩුවෙන් ඉවත් වී මේ සංවිධායකවරු කිසිවෙකුත් නොමැතිව ජනාධිපති වූ හැටි සිහිකළ හිටපු ජනාධිපතිවරයා ඒ ඉවත් වීම තම බිරිඳ පවා දැන නොසිටි බවයි කියා තිබේ.
කෙසේ වෙතත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න පිළිබඳවත්, දැනට ශ්‍රී ලනිපය වෙත ලැබී තිබෙන කැබිනට් ඇමති ධුර දෙක සහ රාජ්‍ය ඇමති ධුරය අත්හරිනවාද නැද්ද යන්න පිළිබඳවත් අවසන් විසඳුමකින් තොරව මෙම සංවිධායක හමුව අවසන් වූ බව දැනගන්නට ඇත.










