දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වසර දෙකකින් යාවත්කාලීන කර නොමැති බවත්, මේ හේතුවෙන් විදේශීය සංචාරකයින් ඇතුළු මගීන් විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටින බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) පවසයි.
එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර කියා සිටියේ “මගීන්ට ප්‍රයෝජනවත් වන සියලුම තොරතුරු පාහේ නිල වෙබ් අඩවියේ සඳහන් වෙනවා. එබැවින් එය නිතිපතා යාවත්කාලීන කිරීම අවශ්‍යයි. නමුත් දැන් අවුරුදු දෙකකින් එය යාවත්කාලීන කර නැහැ. පසුගිය වසර දෙක තුළ දුම්රිය ධාවන කාලසටහන් බොහෝ වෙනස්කම්වලට භාජනය වී තියෙනවා’ යනුවෙනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දැනට ධාවනය නොවන දුම්රිය පවා ධාවනය වන දුම්රිය ලෙස වෙබ් අඩවියේ පෙන්වන බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා දුම්රිය කාලසටහන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම නිසා විදේශීය සංචාරකයින් බොහෝ විට අපහසුතාවයට පත්වන බවත්ය.










