වර්තමානයේ ලංකාව සිටිනුයේ ලෝකයේ කිනම් ස්ථානයකද යන්න ගැටලුසහගත වුවද මීට වසර දහස් ගණනක් අතීතය දෙස බලද්දී හෙළයාට හිමිව තිබූ ස්ථානය ගෞරවය සුළුපටු නොවේ. එදා හෙළයා යනු විස්කම් දස්කම් රැසකින් ලෝකයම මවිතයට පත්කළ ලෝකයේ නොවෙනස් නමක් සනිටුහන් කරගෙන සිටි සුවිශේෂ පිරිසකි.
විශ්වය තුළ කළ නොහැක්කක් නැතැයි යන්න එදා හෙළයා මනාවට ඔප්පු කර තිබුණේය. ලෝකයේ බොහෝ රටවල ජනයාගේ සිත් තුළ නොවූ විස්මිත දේ එදා හෙළයන් අතින් නිර්මාණය විය. එමෙන්ම හෙළයන් සතු සීමා රහිත හැකියාවන් ගැන ලෝකයා විමතියට පත්ව සිටි ඒ යුගයේ හෙළයන් සිය හැකියාවන්ගෙන් ලෝකයේ විවිධ රටවලට උදව් උපකාර සහ සහාය දැක්වූ අයුරුත් ජනප්‍රවාදයන් ඇසුරේ මනාව හඳුනාගත හැකිය.
එකී තත්ත්වය සොයා අතීතයට යද්දී හෙළ නාග සහ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රාජධානි අමතක කළ නොහැකි කාලයන්ය. එම යුගයන්හි සුවිශේෂ තොරතුරු හෙළිකර ගැනීමට ‘වර්ගපූර්ණිකාව’ ග්‍රන්ථය අතිශය වැදගත් වේ.
හෙළ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රාජධානිය පිහිටා තිබුණේ ලක්දිව වයඹදිග ප්රදේශයේය. එහි පාලන කටයුතු රැජිනක විසින් කර ඇති අතර ‘කවිලාශපාලි’ නම් එම යක්ෂ ගෝත්‍රික රැජින තවත් කරුණක් නිසාද විශේෂත කෙනකු වනවා. එනම් බුදුරජාණන්වහන්සේට මෙරටට වැඩම කරන ලෙසට ආරාධනා කරනු ලබන්නේද කවිලාශපාලියයි. දඹදිව සිට නිතර ලක්දිවට පැමිණෙන වෙළෙඳුන් හා කතාබහේ යෙදෙන කවිලාශපාලි රැජින ඔවුන්ගෙන් බුදුරදුන් ගැන තොරතුරු අසා දැන බුදුදහම ගැන සිත පහදවාගත් තැනැත්තියකි.
මල්වතු ඔය අසබඩ සිය රාජධානිය පිහිටුවාගෙන පාලන කටයුතු කරගෙන ගිය කවිලාශපාලිය කාගේත් සිත් දිනාගත් තැනැත්තියකද වූවාය. මෙරටට වැඩම කළ බුදුරදුන් මල්වතු ඔය අසබඩ ඇගේ රාජධානියේ දහම් දෙසා, පසුව මල්වතු ඔයේ ඉහළට වැඩම කළ බුදුරදුන් රිටිගල කඳුවැටියට වැඩම කර ඇත්තේ ‘රවිශෛලාශ’ සහ ගිරිකාල යන නම්වලින් හැඳින්වූ කුමරුන්ට දහම් දෙසීම පිණිසමය.
එවක පැවැති ප්‍රබල යක්ෂ රාජධානියක් සම්බන්ධව හෙළ ජනප්‍රවාද ඇසුරේ තවත් බොහෝ තොරතුරු හෙළි කෙරෙන අතර මෙරට මධ්‍යම කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව උස් බිම්වල යක්ෂ ගෝත්‍රික ජනයා සිය වාසස්ථාන පිහිටුවාගෙන ජීවත්ව තිබේ. ගොවිතැන්, දඩයම් සහ වෙනත් විවිධ කර්මාන්ත කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යක්ෂ ගෝත්‍රිකයෝ ස්වභාවික පරිසරය හා බද්ධ වෙමින් ජීවත් වීමට ප්‍රිය කළහ.
වර්ගපූර්ණිකාවට අනුව මනගිර ලෙස හඳුන්වන සමනල කඳුවැටිය හෙළ යකුන්ගේ ප්‍රධානම සහ ප්‍රබලම පාලන මධ්‍යස්ථානයක් ලෙස තිබෙන්නට ඇති බව පැහැදිලි වේ. එකල බලගතු යක්ෂ රාජධානියට ගිරිදුර්ග සහිත යක්ෂ රාජ්‍යයන් දහයක් පැවැති බවට තොරතුරු හෙළිවෙයි. ඒ අනුව දඹුල්ල (උපුල්වන් ගිර), රිටිගල (රකුන් ගිර), මානෑව කඳු (නීල ගිර), හබරණ (කාවස්ථාලාභ), කලාඔය (ධූමකකද්දිර), පුත්තලම (වාළුකා), ත්‍රිකුණාමලය (ඉන්ද්‍ර දේශය), කතරගම (අග්නි දේශය), බස්නාහිර (විලෝපාදිය), සමනල කන්ද (මනගිර) එම රාජධානියන්ය.
මෙයට අමතරව සන්නාගිර නමින් පළාත් හතක් එක් කළ ප්‍රබල යක්ෂ රාජ්‍යයක් ගැනද සඳහන් වේ. එම රාජධානිය රිටිගල ආශ්‍රිතව පාලය වූ අතර මේ සියලු රාජ්‍යයන් ගිරි රාජ්‍යයක් ලෙස හඳුනාගෙන ඇති අතර යක්ෂ සේනාධිපතිවරුන් විසින් මේවා පාලනය කර තිබේ. ඉතා බුද්ධිමත් සහ විස්මිත ඥානයකින් හෙබි මේ යක්ෂ සේනාධිපතිවරු අනාගතය මනසින් දැක සිය රාජ්‍යයන් පාලනය කර තිබේ. එම යක්ෂ සේනාධිපතිවරුන් අතර ඝාතාගිර, හේමවත, අලව් සහ දුම්රක් වැනි යක්ෂ සේනාධිපතිවරුන්ට විශේෂ තැනක් හිමිව තිබිණි.
මෙම යක්ෂ ගෝත්‍රිකයන් වනාන්තර ආශ්‍රිතව ගල් ගුහා හා ඒ හා සමාන වාසස්ථාන තුළ ජීවත්ව ඇති අතර කැලෑ එළිපෙහෙළි කර අලුතින් ඉදිකළ වාසස්ථාන තුළ ජීවත් වීම යක්ෂයන් ප්‍රතික්ෂේප කළ බවද කියැවේ.
මෙසේ ස්වභාවික පරිසරය ඇසුරේ ජීවත් වූ හෙළ යක්ෂයන් සතු විස්මිත හැකියාවන් ගැනද සඳහන් වන අතර ඔවුන් යෝග භාවනා, මන්ත්‍ර ශාස්ත්‍රය, ස්වභාවික ක්‍රමවේදවලින් ගොවිතැන, මෝහන ක්‍රම ආදියද මනාව ප්‍රගුණ කළ පිරිසකි. එමෙන්ම හෙළ යක්ෂයන් සතු ජ්‍යොතිෂ දැනුමත් වෙද ඥානයත් අසීමිත විය.
යක්ෂ ගෝත්‍රිකයන් මනා කාය සහ මානසික ශක්තියක් තිබූ පිරිසකි. එනිසාම යක්ෂයන් අතර සුවිශේෂ ආධ්‍යාත්මික නිපුණතා ඇති පිරිසක් සිටි බවටද පැවැසේ. එකල ස්වභාවික පරිසරය හා බද්ධ වෙමින් සිත දියුණු කරගත් මොවුහු ඍෂිවරුන් සේ කටයුතු කර තිබේ. එසේ සිත් දියුණු කරගත් යක්ෂයන් දේවත්වයට පත්වූ අවස්ථාද අනන්තවත් තිබේ.
බුදුදහම යකුන්ට ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි වූයේ ඔවුන් සතු මේ විස්මිත මානසික ශක්තිය නිසා බව පිළිගත හැකි සත්‍යයකි. එසේම ලක්දිව පළමු වරට බුදුදහම වැලඳ ගත්තේද හෙළ යකුන් බවත් පිළිගත යුතු සත්‍යයකි.
බුදුරදුන් කවිලාශපාලි රැජිනගේ ආරාධනාවෙන් කලාඔය මෝය අසල පොම්පරිප්පු ප්‍රදේශයට වැඩම කර ඇති බවත් එතැනින් මිගලෑව, මානෑව, නීලගිරි යන ප්‍රදේශ හරහා රට තුළට වැඩම කර යක්ෂයන්ට ධර්මය දෙසූ බවත් පැහැදිලි වේ.
යක්ෂ රාජධානියේ තොරතුරු එසේ වෙද්දී නාග ගෝත්‍රික රාජධානියේ තොරතුරුද හඳුනාගෙන තිබේ. වයඹ වෙරළ තීරය ආශ්‍රිතව නාග රාජධානිය පිහිටා තිබී ඇති අතර නාගයෝ වෙළෙඳාමට ශූරයෝ බවත් සඳහන් වේ. ඒ අනුව හෙළිවන තොරතුරු අනුව වයඹදිග නාග රාජධානියේ හා ගිනිකොනදිග නාග රාජධානියේ හෙළයෝ බලවත් පිරිසක් වූහ. එකල වයඹ ප්‍රදේශයේ සිටි මුහුදු වෙළෙඳ නායකයන් හා නාගයන් විශේෂ සබඳතා පවත්වමින් කටයුතු කර තිබේ.
මෙම පාලන කාල දෙකම පතිත නම් මහ රජු යටතේ පාලන කටයුතු සිදුව තිබේ.
එකල මුහුදු තීරය ආශ්‍රිතව ජීවත් වෙමින් වෙළෙඳ කටයුතු කෙරෙහි දක්ෂ වූ නාගයන් හා කඳුකරයේ වෙසෙමින් යකඩ හා වෙනත් කර්මාන්ත කෙරෙහි දක්ෂ වූ යක්ෂයන් ඉතා සුහදශීලී ජීවිත ගතකරමින් එකිනෙකා අතර සබඳතා ගොඩනගා ගනිමින් සහයෝගයෙන් කටයුතු කර තිබේ.
එහෙත් මෙම තොරතුරු මහාවංශය දක්වන්නේ ඊට වෙනස් මතයක් ගොඩනගන්නට උත්සාහ ගනිමින්ද යන්න සැක සංකා මතුකෙරෙන අතර එම තොරතුරු බුද්ධියෙන් යුතුව විමසීම වැදගත් වේ.
කුමාර රත්නායක










