පසුගිය දිනවල පාර්ලිමේන්තු සභාගර්භය තුළ සිදුවූ සිදුවීම් සොයාබලා නැවත එවැනි සිදුවීම් ඇති නොවීමට ගත යුතු නිර්දේශ කවරේද යන්න ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් කථානායකවරයා විසින් පත්කර තිබේ.
අද (08) උදෑසන පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් අනතුරුව කථානායකවරයා විසින් සඳහන් කර සිටියේ, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතීත්වයෙන් යුතුව එම කමිටුව පත්කළ බවය.
එම කමිටුවට අදාළ සෙසු සමාජිකයින් පහතින් දැක්වේ.
*රංජිත් සියඹලාපිටිය – සභාපති
*චමල් රාජපක්ෂ
*බන්දුල ගුණවර්ධන
*වාසුදේව නානායක්කාර
*සුසිල් ප්‍රේම්ජයන්ත්
*ගයන්ත කරුණාතිලක
*රවුෆ් හකීම්
*අනුර ප්‍රියදර්ශන යාපා
*විජිත හේරත්
*රංජිත් මද්දුමබණ්ඩාර
*එම්. ඒ සුමන්තිරන්
ඊයේ (07) දින සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් තමා හමුවී පාර්ලිමේන්තුවට සහභාගි වීමේ දී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටි බව ද කථානායකවරයා මෙහිදී පැවසීය.
ඒ අනුව මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට තමා බැඳී සිටින බැවින් සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා ගතයුතු සෑම පියවරක්ම තමා විසින් ගෙන ඇතැයි ද කථානායකවරයා කියා සිටියේය.
“සියලු මන්ත්‍රීවරුන් හට ආරක්ෂාව සැලසීම සඳහා අවශ්‍ය සෑම පියවරක් ම මා විසින් මේ වනවිටත් ගෙන ඇති බව ගරු සභාවට දැනුම් දෙන්නෙමි. කෙසේවුවද පසුගිය දිනවල ඇති වු අවාසනාවන්ත සිදුවීම් නැවත ඇති නොවන ලෙස මනා සංඥමයකින් යුතුව පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ වැඩකටයුතුවල නිරතවීමටත් විශේෂයෙන් කතා කිරීමේ දී ආවේගශීලිව හා පෞද්ගලිකව අපහාස කිරීමෙන් වැළකී සිටිමේ අවශ්‍යතාවය ද දැඩි ලෙස අවධාරණය කරමි.”










