‘ඇත්තට නිදියන මිනිහා අවදි කරන්න ලේසියි. හැබැයි හොරට නිදියන මිනිහා නැගිට්ටවන්න අමාරුයි…’
මේ අපේ ජන වහරේ එන පැරැණි ප්‍රසිද්ධ කියමනකි.
මේ කියමන මතක් වූයේ ගෝඨාගේ ආණ්ඩුව බලයට පත්වූදා සිටම මහින්දගේ චරිතය දිහා බලන් ඉන්න පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ට තියෙන ප්‍රශ්නයක් නිසාය. ඒ වෙන මොකක්වත් නොව ආණ්ඩුව බලයට පත්වූ දා සිටම මහින්ද සිටින නිශ්ශබ්දතාවයය. මොකද මහින්ද යනු මෙහෙම නිහඬව ඉන්න චරිතයක් නොවේ. මහින්ද යනු හොඳ වීදි සටන්කාරයෙකි. එළියට බැහැලා ආණ්ඩු පෙරළපු චරිතයකි. අවුරුදු 10ක් එක දිගට ආණ්ඩුව අරන් ගිය චරිතයකි.
ඒ නිසා ආණ්ඩුවේ නායකයා නොවුණත් ආණ්ඩු කරන කලාවේ මහින්ද යනු කෙළ පැමිණියෙකි. මොන ආණ්ඩුවේ සිටියත්, මොන තනතුර දැරුවත් ආණ්ඩුව නිසි මඟ යවන ආකාරය පිළිබඳ මහින්දට හොඳ දැනුමක් අවබෝධයක් තිබේ.
ඒකට හොඳම නිදසුන චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මහින්ද කැබිනට් අමාත්‍යවරයකු විය. ඒ කාලයේ ආණ්ඩුවේ බොහෝ දෙනා මහින්දව හැඳින්වූයේ කැබිනට් රිපෝටර් ලෙසය. චන්ද්‍රිකාද අවස්ථා කිහිපයකදීම මහින්දට මේ නම පටබැඳ තිබිණි. බොහෝ දෙනා ඒ කාලයේ මහින්දට චෝදනා කළේ ආණ්ඩුව ඇතුළේ තොරතුරු, කැබිනට් එකේ තොරතුරු මහින්ද විපක්ෂයට දෙනවා යැයි කියාය.
ඒකට හේතුව වුණේ චන්ද්‍රිකාගේ කැබිනට් මණ්ඩලය ගන්නා වැරැදි තීන්දුවලට, ජනතා විරෝධී තීන්දුවලට මහින්ද ඒ කැබිනට් එකේම ඉඳගෙන විරෝධය පළකිරීමය. එසේ විරෝධය පළ කළා පමණක් නොව, මහින්ද ඒවා මාධ්‍යවලට ලබාදී ඒවාට විශාල ප්‍රචාරයක්ද ලබාදීමට කටයුතු කළේය. මහින්ද ඒ වැඩේ කළේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ජනතා විරෝධී තීන්දු කෙසේ හෝ වළක්වාගෙන ආණ්ඩුව ආරක්ෂා කරගත යුතු නිසාය. මහින්ද කරපු මේ වැඩෙන් චන්ද්‍රිකාගේ ආණ්ඩුව අරගෙන තිබූ ජනතා විරෝධී තීන්දු රැසක් රිවර්ස් කරගැනීමට චන්ද්‍රිකාට සිදුවිය. ඒකෙන් ආණ්ඩුව ආරක්ෂා වුණා පමණක් නොව මහින්ද ජනතාව අතර ජනප්‍රිය චරිතයක් විය.
මේකේ ප්‍රතිඵලය වුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙ හිටපු චන්ද්‍රිකා හිතවාදී කැබිනට් ඇමැතිවරුන් පවා මහින්දව අනුගමනය කරමින් චන්ද්‍රිකා ජනතා විරෝධී යෝජනා ගෙන එන විට ඒවාට විරෝධය පළ කිරීමට කටයුතු කිරීමය. ඒවාට එරෙහිව සටන් කිරීමය.
මේ විදියට මහින්ද සටන් කළේ කැබිනට් එක ඇතුළේ පමණක් නොවේ. ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පවා ජනතා විරෝධී යෝජනා ගෙන එන විට, ජනතාවට සහන නොදෙන විට මහින්ද දුම්මල වරම අතට ගෙන යකා නැටුවේය. වරක් මහින්ද ආණ්ඩු පක්ෂ රැස්වීම අවසන් වී එළියට යමින් සිටි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ටයි පටියෙන් අල්ලා ගහන්නට පැන්නේ ජනතාවට සහන දීමට කටයුතු කරන්නේ නැතැයි කියාය. එදා මහින්ද වටේ සිටි මැති ඇමැතිවරුන් වහාම මැදිහත්ව මහින්දව වාරුකර නොගත්තේ නම් එදා ඒ අමාත්‍යාංශ ලේකම්වරයාගේ දත් කිහිපයක් කඩන්නට මහින්ද කටයුතු කරනවා නොඅනුමානය. එදා ඒ වෙලාවේ මහින්ද කරපු වැඩේට මහින්දට අත්පුඩි ගැහුවේ වෙන කවුරුවත් නොව, චන්ද්‍රිකාගේ අගසවුවන්ගෙන් අයකු බවට පත්ව සිටි එස්.බී. දිසානායකය. මොකද අමාත්‍යාංශ ලේකම්වරුන් ආණ්ඩුව වැරැදි පාරේ අරන් යනවා කියන එක ඒ ඇමැතිවරුත් එදා දැන සිටියහ.
හැබැයි මහින්ද වාගේ ඒ අමාත්‍යාංශ ලේකම්වරුන්ට විරුද්ධ වෙන්න, චන්ද්‍රිකා ඉදිරියේ කතා කරන්න ඒ ඇමැතිවරුන්ට හයියක් තිබ්බෙ නැත. ඔවුන් මේ කරුණු ප්‍රසිද්ධියේ කියන්න බය විය. ඔවුන්ට එහෙම කරන්න කොන්දක් තිබුණේද නැත.
නමුත් මහින්දට ඒ දේශපාලන කොන්ද සහ හයිය හොඳටම තිබිණි. චන්ද්‍රිකාගේ ආණ්ඩුව එක් වැඩි ඡන්දයකින් පමණක් තිබිලාත් යූ.ඇන්.පී.යට ඒ ආණ්ඩුව වට්ටගන්නට බැරි වුණේ ඒකය.
එදා වගේම අදත් මේ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වන්න, නිලධාරීන්ගේ කුමන්ත්‍රණ එළියට දාන්න අගමැති හැටියට මහින්දට හොඳටම පුළුවන. අදටත් මහින්දගේ ඒ දේශපාලන කොන්ද හොඳ හැටි හයියය. හැබැයි මහින්ද ඒක නොකරන්නේ එහෙම කළොත් තමන්ගේ සහෝදරයාගේම ආණ්ඩුවේ කකුලෙන් අදින්න මහින්ද කටයුතු කළාය කියන චෝදනාව සමහරුන්ගෙන් ඒමට ඉඩ ඇති නිසාය. මහින්ද හොරාට නිදාගෙන ඉන්නවා කියා ලිපිය ආරම්භයේදීම සටහන් කළේ ඒකය.
ඒ වුණත් හැමදාම එහෙම හොරට නිදාගෙන ඉන්න බැරිය. දැන් පැමිණ ඇත්තේ මහින්ද නැගිටින්න අවශ්‍ය කාලයය. මොකද දැන් ජනාධිපතිවරයාම තමන් කියන දේ නිලධාරීන් කරන්නේ නැතැයි කියා ප්‍රසිද්ධියේම කියන තැනට පත්ව තිබේ. ඇමැතිවරුන් වැඩ කරන්නේ නෑ කියා ආණ්ඩුව ඇතුළෙන්ම චෝදනාවක්ද එල්ල වෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හරිහමන් ටීම් එකක් නොමැති වීමද තවත් චෝදනාවකි. මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන කාටවත් නොව මහින්දට විතරය.
ඒ නිසා මහින්ද දැන්වත් මේ හොර නින්දෙන් නැඟිටින්නේ නැත්නම් ඔක්කොටම වෙන්නේ ගෙදර ගිහින් හැමදාම නිදාගෙන ඉන්නටය. එහෙම කරලා මේ ආණ්ඩුව නැඟිට්ටුවොත් ආණ්ඩුව ගොඩදාන එක මහ ලොකු කජ්ජක් නොවේ. හැබැයි එහෙම නොකළොත් ඒ ඓතිහාසික වැරැද්දට මහින්දටත් චෝදනාව එල්ල වීම වැළැක්විය නොහැකිය.
විමලසිරි ජයලත්










