මුදල් අමාත්‍යවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා සිය පළමු අයවැය ඉදිරිපත් කොට මේ වන විට දින කිහිපයක් ගතව ගොසිනි. මේ වන විට ඊට මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් තිබේ. කෙසේ වෙතත් අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු දින බැසිල් රාජපක්ෂ මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පැමිණ අයවැය සම්බන්ධයෙන් කෙටි සමාලෝචනයක් කළේය. එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට මුදල් අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය
මේ අයවැයේ අඩුපාඩු රැසක් ඇති බව අපට පේනවා මාධ්‍යවේදීන් විදියට. මෙහි රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයන් අමතක කර තියෙනවා. ඔවුන්ට කිසිම සහනයක් ලබාදී නැහැ. රටේ දැවෙන ප්‍රශ්නයක් වන කාබනික පොහොර යොදලා වගා කළා. ඔවුන්ට යම් ගෙවීමක් කරනවා කිව්වා අස්වැන්න අඩු වුණොත්. නමුත් මේ සඳහා ප්‍රතිපාදන අරමුදලක් මේ අයවැයෙන් වෙන් කරලා නෑ, එතකොට එහෙම අස්වැන්න අඩුවුණොත් ඔවුන්ට කොහොමද ගෙවීමක් කරන්නේ? අනෙක් කාරණය රට තුළ උද්ගතව ඇති ප්‍රධාන ප්‍රශ්නය තමයි පෝලිම් යුගය. ගෑස් නෑ, සීනි නෑ, සිමෙන්ති නෑ. මේවට ඔබතුමා කිසිදු විසඳුමක් ඉදිරිපත් කළේ නෑ. මේවට ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා….?
පිළිතුර
පළමු ප්‍රශ්නය රාජ්‍ය සේවකයන් හා විශ්‍රාමිකයන් සම්බන්ධ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නම්. අපි මේ ගැන දැඩිව කල්පනා කළා. අපි පළමුවෙන්ම පිළිගන්න ඕනේ රටකට උහුලන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වෙලා තියෙනවා. මං හිතන්නේ තවදුරටත් අපි ඒ ලොසින්ජර දෙන්න අවශ්‍ය නෑ. අපි අවංකව පිළිගන්න ඕනෙ මේ රාජ්‍ය සේවය අපේ රටට බරක්. යම් කිසි ආකාරයක රාජ්‍ය සේවකයන්ට සහනයක් දෙනවයි කියන්නේ ජනතාවගෙන් ඒ සඳහා මුදල් එකතු කරගන්න ඕනේ. රජයට මුදල් ලබාගැනීමේ ක්‍රමය තමයි මහජනතාවගෙන් මුදල් ලබාගන්න එක. බොහොම පැහැදිලිවම කියන්න ඕනේ මොනම ආකාරයකින්වත් තව වර්ෂයක් යනතුරු රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නෑ. සමහර රාජ්‍ය සේවකයන් අවුරුදු 45ක වගේ කාලයක් තමයි සේවයේ ඉන්නේ. ඔවුන් අවුරුදු 55දි විශ්‍රාම යනකොට විශ්‍රාම වැටුපක් ලැබුණත් දැන් රටේ සෞඛ්‍යමය පැත්තෙ ඇතිවෙලා තියෙන දියුණුව මත අපේ පරමායුෂ වැඩිවෙලා තියෙනවා. ඒ අනුව අපි අවුරුදු 10කින් රාජ්‍ය සේවකයන්ගෙ සේවා කාලය දීර්ඝ කරලා තියෙනවා. කල්පනා කරලා බලන්න ඔවුන්ගෙ මාසික වැටුප මාස 12න් වැඩි කරලා, ඒක අවුරුදු 10කට බැලුවොත් රාජ්‍ය සේවකයන්ට මොන තරම් ලාභයක් ලැබෙනවද කියලා. ඒ වගේම ඔවුන්ගෙන් ඇතැමුන් විවාහ වෙන්න පරක්කු වෙලා තියෙනවා. ඒ අයගෙ දරුවන් පාසල් සහ විශ්වවිද්‍යාලවලට ඇතුළු වෙන සමයේදී ඔවුන් විශ්‍රාම ගැන්වීම නිසා ඔවුන් විශාල අසහනයකට පත්ව තිබුණා. ඒ වගේම අපේ රාජ්‍ය සේවයට අත්‍යාවශ්‍ය පළපුරුද්ද සහිත සේවකයන් අවශ්‍යතාව තිබුණා. ඒක නිසා ඒ ආකාරයෙනුත් තවත් ක්‍රමවේදයකිනුත් රාජ්‍ය සේවකයන්ට සහන සැලසීමට අපි ක්‍රියා කරලා තියෙනවා.
නමුත් අපි නැවත වාරයක් වගකීමකින් කියනවා මේ රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව පුළුල් කරන්න අපට පුළුවන්කමක් නෑ. නමුත් මේ විශ්‍රාම යන සංඛ්‍යාව අනුව වාර්ෂිකව සේවක පිරිස වැඩිකර ගැනීම සඳහා තරුණ පිරිසක් ඇතුළත් කරගැනීමට අපි කටයුතු කරනවා. මොකද දැනට අනුමත කරලා තියෙන රාජ්‍ය සේවකයන් තනතුරු 17,01,890ක් වුණාට දැනට රාජ්‍ය සේවයේ ඉන්නේ 14,23,116යි. ඒ අනුව ඉදිරි කාලයේදි වාර්ෂිකව ඔවුන් බඳවාගන්නවා. නිදහස ලැබෙන කොට මේ රටේ ජනගහනයෙන් 113 දෙනකුට එක රාජ්‍ය සේවකයයි හිටියේ. නමුත් දැන් 13 දෙනකුට එක අයෙක් වෙන විදියට රාජ්‍ය සේවය පුළුල් වෙලා තියෙනවා. ඒ නිසා මේ අයවැයේදී ඔවුන්ට පඩියක් වැඩිකිරීමට අපට නොහැකි වුණත්, ඔවුන්ට අපි යම් යම් සහන දීලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ආපදා අවස්ථාවලදි ක්‍රියා කරපු ආකාරය ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයට හැකි පළමු අවස්ථාවේදිම සහනයක් ලබාදෙන්න කටයුතු කරන බව සඳහන් කරනවා. රාජ්‍ය සේවකයන් පමණක් නෙවෙයි සංස්ථා, අර්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ සේවකයන් ගැනත් අපි දීර්ඝ වශයෙන් කල්පනා කරලා තියෙනවා.
ඊළඟට කාබනික පොහොර ගැන ඔබේ ප්‍රශ්නය වුණේ අස්වැන්න අඩුවෙලා අලාභයක් වුණොත් කියන එකයි. එහෙම නරක විදියට හිතන්න එපා. අපි හැම වෙලාවෙම ධනාත්මකව හිතිය යුතුයි. අපි ඉල්ලීමක් කරනවා ගොවි ජනතාවගෙන්, මේ මහ කන්නයේදි වර්ෂාවත් හොඳින් ලැබිලා තියෙන නිසා සියලු දෙනාම ගොවිතැන් කරන්න කියලා. මේ වර්ෂයෙදි කෘෂි රක්ෂණ ආයතනයක් පිහිටුවලා තියෙනවා. ඒ වගේම අපේ ජාතික රක්ෂණ සංස්ථාවටත් ඒ ගැන පැහැදිලි කිරීමක් කරලා, දැනට සූදානම් කරලා තියෙනවා. ඇත්තටම එවැනි පාඩුවක් වුණොත් ඒකට වන්දි ගෙවන්නේ රජයේ අයවැයෙන් වුණාට, ඒක හැම වෙලාවෙම කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා තමයි ගෙවන්නේ. ඒ සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන සැලසුම් කරලා තියෙන්නේ. ඒකට මුදල් දීලා තියෙනවා. ඒ අනුව කිසිම ආකාරයකින් එහෙම බියක් ඇතිකරගන්න අවශ්‍ය නෑ. නමුත් යම් අලාභයක් ගොවීන්ට සිදු වුණොත් දැනටම අපි වගා කිරීමට අවශ්‍ය මූලික මුදලින් රුපියල් 7,500ක් මේ වෙනකොට බොහෝ ගොවීන්ට ගෙවලා තියෙනවා. වල්පැළ හරණය සඳහා අපි මේ අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා. යම් ආකාරයට අලාභයක් වුණොත් ඒ සඳහා සුපුරුදු ආකාරයට වන්දියක් ගෙවන්න අපේ කෘෂි රක්ෂණ මණ්ඩලය සූදානමින් ඉන්නවා. ඒක මුදල් අමාත්‍යාංශය යටතෙ තියෙන ආයතනයක්. වී වගාවට විතරක් නෙවෙයි වගාවන් 16ක් ඊට අලුතින් ඇතුළු කරලා තියෙනවා. ඊට අමතරව අපි මෙවර වගේම කොවිඩ් වසංගතය වෙලාවෙත් ගොවියට අලාභයක් වුණොත් අපි දන්නවා ලොක්ඩවුන් කිරීමත් එක්ක එළවළු ගොවීන්ට ප්‍රශ්නයක් වුණා. ඒ වෙලාවෙ සියලුම එළවළු අපි මිලදී ගත්තා. දඹුල්ලේ, කැප්පෙටිපොළ සහ නුවරඑළියෙන්. ඒ වගේම ඇඹිලිපිටිය සහ හම්බන්තොටින් කෙසෙල් වගේ දේවල් මිලදී ගත්තා. ජනාධිපතිතුමාගෙ නියෝගයට අනුව මෙවර හම්බන්තොට මුංඇට අස්වැන්නත් ඉහළ මිලකට මිලදී අරගෙන තියෙනවා.
බඩු මිල සම්බන්ධයෙන් කතා කළොත් මේක 1947 ඉඳලා තියෙන ප්‍රශ්නයක්. මේක එක රටකට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. කිසිම රජයකින් බඩු මිල අඩුකරලා නෑ. නමුත් අපි මේ අවස්ථාවේදි නිෂ්පානය වැඩි කරලා වෙළෙඳපොළට බහුලව ඒ ද්‍රව්‍ය සැපයීම තුළින් තමයි මිල අඩුකරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපේ ඉලක්කය මෙතෙක් කල් වෙන රටවල ගොවීන්ට හෝ සමාගම්වලට ගිය මුදල් මේ රටේ ගොවියට ලබාදෙන්න උත්සාහ කිරීම. ඒ වගේම අපි රුපියල් මිලියන 31,000ක් වෙන් කරලා තියෙනවා ඉතාම අමාරුවෙන් ජීවත් වෙන අයට සහනයක් දෙන්න. ඒකෙ පළමු පියවර ලෙස ගැබිනි මව්වරුන්ට මාස 10කට දෙන සහනාධාරය අවුරුදු 2 දක්වා වැඩි කරලා තියෙනවා.
අපි දැක්කා කොවිඩ් වසංගතය වෙලාවේ භාණ්ඩ බෙදාහැරීමට තිබුණු යාන්ත්‍රණය ඒ තරම් සාර්ථක නෑ. දෙවැනි ලෝක යුද්ධ කාලෙ පටන් අපේ ගම්වල තිබුණෙ සමුපකාර ක්‍රමය. ඒක සම්පූර්ණයෙන්ම වැටිලා තිබුණා. නිල වශයෙන් 6,000ක ප්‍රමාණයකට මේ වෙද්දි අඩු වෙලා තියෙනවා. ග්‍රාමසේවා වසම් 14,000ටවත් එක සමුපකාරයක් වැටිලා නෑ. නමුත් අපි කාන්තා ව්‍යවසායකයන් සමග එකතු වෙලා නව ‘හෝම් ෂොප්’ නමින් සුපර් මාර්කට් ජාලයක් ආරම්භ කරන්නත් කටයුතු කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 15,000ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම සහන මල්ලක් ලබාදීමට වෙළෙඳ අමත්‍යාංශයට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. ජීවත් වීමට ඉතා අපහසු අය සඳහා සහන මල්ලක් ලබාදීමටත් සූදානම් කරමින් තිබෙනවා. ලංකා ඉතිහාසයේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ඍජුව මේ තරම් මුදලක් වෙන් කරපු වෙනත් කිසිම අයවැයක් නෑ. එක් එක් භාණ්ඩ වර්ගවල මිල අඩු කිරීම හරහා සෑම පාරිභෝගිකයකුටම සහනයක් ලැබෙන්නේ නෑ. උදාහරණයක් විදියට ගෑස් මිල අඩුකළාට ගම්වල ජීවත් වන ජනතාවට එය විශාල සහනයක් වෙන්නේ නෑ. ඔවුන්ගෙන් ඇතැම් අය ගෑස් පරිභෝජනය නොකරන නිසා. ඒ හේතුව නිසා අපි කල්පනා කළා රජය තෝරනවා වෙනුවට ඒ සඳහා යම් මුදලක් ඔවුන්ට දුන්නාම ඔවුන්ගේ රුචිය අනුව අවශ්‍ය දෙයක් කිරීමට අවස්ථාව ලබාදෙන්න. ඒ සඳහා අපේ කොන්දේසිය තමයි ඒ ලබාදෙන සහනාධාර කූපනයෙන් 50%ක් දේශීය ද්‍රව්‍ය (ගමේ නිෂ්පාදන) වලට වැයකළ යුතුයි කියන එක.
ප්‍රශ්නය
අයවැය කතාවෙදි සඳහන් කළා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සම්බන්ධයෙන්. ඒ බදු ප්‍රතිපත්ති මේ වන විට සකසා තිබෙනවද? ඒ කුමන ක්ෂේත්‍ර සඳහා බදු අයකිරීමට නියමිතද? මත්පැන්, සූදු ක්‍රීඩා හැරුණාම තවත් ක්ෂේත්‍රවලට මේ බදු අයකිරීම සිදුවෙනවද? ඒ වගේම සඳහන් කළා බදු වැඩි කළාට ඒ බදු සාමාන්‍ය ජනතාව මතට යන්නෙ දෙන්නේ නැති බව. මේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තුළත් ඒ විදියට බදු බර ජනතාවට යන්නේ නැද්ද?
විශේෂ ආර්ථික කලාප හඳුන්වා දීලා විශේෂ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා කියලා ඔබතුමා සඳහන් කළා. මේ වෙද්දි ඒ විශේෂ ආර්ථික කලාප හඳුනාගෙන තිබෙනවද? මොනද ඒ කලාප?
රූපවාහිනි සහ ගුවන්විදුලි සංඛ්‍යාත ලබාදීම සඳහා වෙන්දේසි ක්‍රමයක් අනුගමනය කරන බව ඔබ සඳහන් කළා. මේ ක්‍රමය තුළ පසුගිය කාලෙ අපි දැක්කා යම් යම් තැන්වල ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වන ආකාරයට පවා මේ පැවරීම් සිදුවුණා. ඒ නිසා ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද මේ වෙන්දේසි ක්‍රමය හරහා ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නොවන බවට?
මේ වර්ෂයේ අයවැය සැකසීමේදී තිබුණු එක වැදගත් කොන්දේසියක් තමයි, අග්‍රාමාත්‍යවරයා මුදල් ඇමැතිවරයා ලෙස පසුගිය වර්ෂයේ හඳුන්වා දීපු බදු ප්‍රතිපත්තිය ලොකු වෙනසක් නොකර ඒකෙම රැඳී ඉන්න ඕනෙ කියන එක. හේතුව විටින් විට බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම තුළ ව්‍යවසායකයන් සහ ජනතාවගෙ පැත්තෙන් විශාල මතයක් ආවා අඩුම තරමින් අවුරුදු 3ක් වත් එකම බදු ක්‍රමයක් පවතිනවා නම් හොඳයි කියලා. ඒ නිසා අපි ඔබ අහපු ඒ බද්ද පසුගිය අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනාවක්. ඒ සඳහා අවශ්‍ය වුණා නීති කෙටුම්පත් කරන්න. ඒකට සියලු කටයුතු දැන් සූදානම් කර තිබෙනවා. ඒක ක්‍රියාත්මක කිරීම තමයි අපි 2022 ජනවාරි 01 වැනිදා සිදුකරන්නේ. අපි විටින් විට වෙනස් නොකර එකම ප්‍රතිපත්තියක රඳා පවතින බදු ක්‍රමයක් පවත්වාගෙන යෑමයි අපේ බලාපොරොත්තුව. අපි හඳුනාගෙන තියෙනවා බදු අයකරගන්නා යම් යම් ක්‍රමවේද කිහිපයක්. ඒක දැන්ම මාධ්‍යයට හෙළි කිරීම හරහා ඒකෙන් අයුතු වාසි ලබාගන්න ඇතැම් පිරිස් කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා එම බද්දට අයත් වන භාණ්ඩ මොනවාද යන්න හෙළිකරන්න දැන්ම හැකියාවක් නැහැ.
කෙසේ වෙතත් මට එක සහතිකයක් දෙන්න පුළුවන්. ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර හෝ භාණ්ඩවලට අපි ඒ බද්ද ඇතුළත් කරන්නේ නැහැ කියලා.
නව නිෂ්පාදන ආයෝජන කලාප කියන වැදගත් කරුණක් අපේ අයවැය ප්‍රකාශයට ඇතුළත් කරලා තියෙනවා. සිංගප්පූරුව, වියට්නාමය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ රටවල වේගයෙන් දියුණු වුණු අංශයක් තමයි නව නිෂ්පාදන භාණ්ඩ වෙළෙඳ පොළට යැවීම. ඒ හරහා නව රැකියා උත්පාදනය සහ විදේශ විනියමත් ඒ රටවල් ලබාගත්තා. ඒ අනුව අපි හඳුනාගත්ත අංශ කිහිපයක නව නිෂ්පාදන ආයෝජන කලාප මේ රටේත් ඇතිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. කාබනික පොහොර, ඖෂධ, රෙදිපිළි අමුද්‍රව්‍ය, රබර් ආශ්‍රිත නිෂ්පාදනය, අපනයන කෘෂිකර්ම සැලසුම්, පශු සම්පත් කෘෂිකර්ම කාර්මික යන්ත්‍රෝපකරණ, ධීවර හා ජලජ ජීවීන්, රසායනික ද්‍රව්‍ය, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ, ක්‍රීඩා භාණ්ඩ, වානේ හා බර කර්මාන්ත කියන නිෂ්පාදන වෙනුවෙන් ඒ ආයෝජන කලාප පිහිටුවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඖෂධ නිෂ්පාදන කලාප පිහිටුවන්නේ ඔයාමඩුව, මිල්ලනිය, හම්බන්තොට කියන ප්‍රදේශවල. රෙදිපිළි අමුද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා එරාවුර් ප්‍රදේශයේ පළමු කර්මාන්ත ශාලාව ඉදිකරන්න මේ වෙද්දි ආරම්භ කරලා තියෙනවා. පුත්තලම ඉරණවිල ප්‍රදේශයෙත්, කිලිනොච්චිය සහ මොනරාගලත් ඒවා ආරම්භ කරන්න නියමිතව තිබෙනවා.
අපනයන කෘෂිකර්ම සැකසුම් කලාප කිහිපයක් මත්තල, ඇල්පිටිය, හම්බන්තොට හා යාපනයේ ඇතිකරන්න කටයුතු කරනවා. ඒකෙදි සිදුවෙන්නේ භාණ්ඩ ආනයනය කරලා ඒවායේ අගය වැඩි වන ආකාරයට සකසා නැවත අපනයනය කිරීමයි. ඒවා මේ වෙළෙඳපොළට නිකුත් වීමක් සිදුවෙන්නේ නැහැ.
ඒ වගේම කිරි නිෂ්පාදනය පුළුල් කරන්නත් වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙනවා. ඒ සඳහා මහා පරිමාණ කිරි නිෂ්පාදකයන් කිහිප දෙනකුම දැනටමත් ඉදිරිපත්ව සිටිනවා. නාවලපිටියෙ, වාරියපොල සහ පොළොන්නරුව ප්‍රදේශවල ඒ කලාප ඉදිකරන්න නියමිතව තිබෙනවා.
ඒ වගේම ධීවර හා ජලජ ජීවී නිෂ්පාදන කලාප පිහිටුවීම සඳහා පුත්තලම, මන්නාරම, හම්බන්තොට, කොක්අඩිචෝලේ යන ප්‍රදේශ හඳුනාගෙන තිබෙනවා. ඒවා සියල්ල පෞද්ගලික ආයෝජන ලෙස ඉදිකිරීමට නියමිතයි.
රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා පරන්තන්, පුල්මුඩේ සහ එප්පාවල ප්‍රදේශත්, විදුලි, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණ ආයෝජන කලාප සඳහා හේනේගම, හෝමාගම, කුණ්ඩසාලේ සහ සූරියවැව කියන ප්‍රදේශත් හඳුනාගෙන තිබෙනවා.
ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන කලාප හම්බන්තොට සහ සූරියවැව ප්‍රදේශවල පිහිටුවීමට යෝජනා වී තිබෙනවා.
වානේ හා බර කර්මාන්ත සඳහා දේශීය ආයෝජකයන් කිහිප දෙනෙක් සූදානමින් ඉන්නවා. මිරිජ්ජවිල එම කලාපය පිහිටුවීමට නියමිතයි.
ඒ වගේම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමේ කර්මාන්ත කලාප 200ක් ආරම්භ කරන්නත් මුදල් වෙන්කර තිබෙනවා. ඒ හරහා මධ්‍යම හා කුඩා කර්මාන්තකරුවන්ට පරිසර හිතකාමීව සිය කර්මාන්තයන් කරගෙන යෑමට අවස්ථාව උදාවෙනවා.
විද්‍යුත් සංඛ්‍යාත ප්‍රශ්නය ගැන කියද්දි, ඒවා වෙන්දේසි නොකර හුවමාරු කිරීමෙදි පවා ජාතික ආරක්ෂාවට ඇතැම් විට තර්ජන එල්ල වෙලා තියෙනවා. නමුත් අපි ජාතික ආරක්ෂාව මුල් තැනේ තබාගෙන එම කටයුතු කරනවා. විශේෂයෙන්ම එම සංඛ්‍යාත ලබාගන්නේ අපේ හිතවතුන් විසින්. ජාතික ආරක්ෂාව ඇතුළු කරුණු එහිදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා.
ප්‍රශ්නය
ඔබතුමා යෝජනා කළා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප හිමි වන කාලය දීර්ඝ කරන්න?
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධ කරුණ සඳහා පනතක් ගෙන ආ යුතු වෙනවා. ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සහායත් අවශ්‍ය වෙනවා. රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ අවම වශයෙන් අවුරුදු 10ක්වත් සේවය කළාම. ඒ අනුව අපි හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් විශ්‍රාම වැටුපක් ලැබීම සඳහා අවුරුදු 5ක කාලය ප්‍රමාණවත් නෑ කියලා. අවුරුදු 10ක්වත් ඊට අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ 40%ක් නවක මන්ත්‍රීවරු සිටින්නේ. ඒ අනුව ඔවුන්ට සිය විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා එළැඹෙන මහ මැතිවරණයෙනුත් මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වෙලා අවුරුදු 10 සම්පූර්ණ කළ යුතු වෙනවා. මේ යෝජනාව ඉදිරිපත් වුණේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන්මයි. ඒ අයටත් මම විශේෂයෙන් ස්තුති කළ යුතුයි.
බඩු මිල සම්බන්ධයෙන් කෙටිකාලීන විසඳුම් නැහැ. ඒ සඳහා ඇති එකම විසඳුම නම් නිෂ්පාදනය වැඩි කිරීම හරහා භාණ්ඩ සුලබ කිරීම. පිටරටින් ආනයනය කිරීම හරහා භාණ්ඩ මිල අනිවාර්යයෙන්ම ඉහළ යනවා. ඒ නිසා දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම තුළින් භාණ්ඩ සුලබ කිරීමට රජය විශාල දිරිගැන්වීමක් ලබාදෙනවා. ඒ හරහා මිල අඩුකර ගන්න හැකි වේ යැයි අපි විශ්වාස කරනවා. වෙළෙඳ ව්‍යාපාර කරන ව්‍යවසායකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා අයුතු ලාභ ලබන්න එපා භාණ්ඩ හිඟයක් පවතින අවස්ථාවලදි. පාරිභෝගිකයන්ව ගසාකන්න එපා කියලා ඉල්ලා සිටිනවා.
ප්‍රශ්නය
දැනට රට මුහුණදී සිටින ඩොලර් අර්බුදයෙන් මිදෙන්නේ කොහොමද?
අපට අවශ්‍ය විදේශ මුදල් ප්‍රමාණය අපි උපයන ප්‍රමාණයට වඩා බොහෝ අඩුයි. අපේ අත්‍යාවශ්‍ය කටයුතු වන ඉන්ධන, අමුද්‍රව්‍ය, ඖෂධ, කෑමබීම සඳහා අවශ්‍ය විදෙස් මුදල් අපට ලැබෙන ප්‍රමාණයට වඩා අපට අවශ්‍ය වෙනවා. අපි ආදායම් උපයන ප්‍රධාන මාර්ග 5ක් තියෙනවා. එකක් විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවන විදෙස් මුදල්. දෙවැන්න සංචාරක ව්‍යාපාරය. තුන්වැන්න අපනයන ආදායම් සහ විදෙස් ආයෝජන. කොවිඩ් වසංගතය නිසා අපේ සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම බිඳවැටුණා. අපට ආධාර හා ණය දෙන රටවල් පවා කොවිඩ් අර්බුදය හේතුවෙන් ණය ආධාර ලබාදීම සිදුකළේ අඩුවෙන්. ආයෝජකයන් පවා අඩුවෙලා තියෙනවා. ඒ නිසා අපට තිබුණු දුෂ්කරතා මේ අවුරුදු දෙකේදි උග්‍රවෙලා තියෙනවා. ඒ සඳහා පිළියමක් ලෙස වාහන ආනයනය නැවැත්වීම ඇතුළු විවිධ උපක්‍රම අපි යෙදුවා. නමුත් ඒ හරහාත් එතරම් සාධනීය ප්‍රතිඵලයක් ලැබුණෙ නැහැ. ඊළඟ වසර තුළත් මේ ප්‍රශ්නය පැවැතේවි කියලා අපි හිතනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ණය නොගෙන මේ ප්‍රශ්නය විසඳාගන්න.
අපේ ඉදිරි ණය වාරික ගෙවාගැනීම කියන කාරණයට මම විශේෂ සහතිකයක් ලබාදෙනවා. අපට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ජනවාරි මාසෙදි ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක් සහ ජූලි මාසෙ ඇමෙරිකන් ඩොලර් මිලියන 1000ක්. එය අනිවාර්යයෙන්ම අපි ගෙවනවා. අපි මේ දක්වා කිසිම වාරිකයක් පැහැර හැර නෑ. 2027 වන විට අපේ විදෙස් සංචිත අපේම මුදල්වලින් මිලියන 10,000ක් පමණ ඇතිකරගන්න අපි බලාපොරොත්තු වන බව වගකීමෙන් කියනවා.
ප්‍රශ්නය
සංචාරක කර්මාන්තය දියුණුවට මුදලක් වෙන්කර තිබේද? එහි ඉදිරි වැඩපිළිවෙළ සහ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අගතියට පත් අයට දෙන සහනය කුමක්ද?
සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අයට ඕනෑ තරම් සහන දීලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් කළ ලොකුම සේවය තමයි මහින්ද රාජපක්ෂ මහතා රටේ සාමය ඇතිකිරීම. ලක්ෂ 4කට සීමාවෙලා තිබුණු සංචාරකයන් මිලියන 2.4 දක්වා වැඩිකරගන්න එය හේතුවක් වුණා. ඒ වගේ වර්තමානයෙදි සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ලබාදිය හැකි ලොකුම සහනය තමයි රට සෞඛ්‍යාරක්ෂිත තැනක් බවට පත්කිරීම. සියලු දෙනා එන්නත්කරණය කිරීම හරහා වසංගත බියෙන් තොරව ශ්‍රී ලංකාව සංචාරය කිරීමට ආරක්ෂිත රටක් බවට පත්කිරීම. ඒ වගේම සමාජයත් වගකීමක් සහිතව සෞඛ්‍යාරක්ෂිතව හැසිරුණොත් නැවතත් සංචාරකයන් ගෙන්වා ගැනීම අපහසු වන්නේ නැහැ. මුදල් ඇමැතිවරයා හැටියට මේ කරුණත් කිව යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන් අයකරන බද්ද සම්පූර්ණයෙන්ම යන්නේ සංචාරක මණ්ඩලයට. රජයට එන්නේ නැහැ. ඒ ආදායම් එකතු කරන්නෙත් ඔවුන්, වියදම් කරන්නෙත් ඔවුන්මයි. ඒ නිසා ඔවුන්ගේ වගකීම තමයි ආයතනය අලාභ වෙන වෙලාවට රජයෙන් මුදල් නොඉල්ලා සිටීම.
ඒ බව අපි සංචාරක ඇමැතිතුමාවත්, අධිකාරියත් දැනුවත් කර තිබෙනවා. අනෙක් හැම ආයතනයකින්ම රජයට බදු මුදල් ලැබෙනවා.
ප්‍රශ්නය
උතුරු නැගෙනහිර පළාත්වල සුළුතර ජනතාවට මෙවර අයවැය තුළ අඩු සැලකිල්ලක් දැක්වූ බව එම ජනතාව අතර කතා වෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
අපි එක රටක්. පළාත් නවයම මම සලකන්නේ එකක් විදියට. උතුර නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට යටිතල පහසුකම්වල අඩුවක් තිබුණා යුද්ධය පැවැති කාලෙ. නමුත් උතුරු වසන්තය සහ නැගෙනහිර නවෝදය යටතේ ඒ ප්‍රදේශ රටේ අනෙක් පළාත් හතට සමානව අපි දියුණු කරලා තියෙනවා. ඉදිරියේදි කෝකිලායි පාලම හැදුණාම යාපනය දක්වාම යෑමට හැකි වෙනවා. උතුරට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සපයන්න අපි කටයුතු කරලා තියෙනවා. යාපනය අර්ධද්වීපයේ ජනතාවට අවශ්‍ය පානීය ජලය සැපයීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා විශාල සේවයක් කළා. ඉරණමඩු ජලාශය අඩි දෙකක් උසට සකස් කරන්නට කටයුතු කළත් මෑතකදී ඇතිවුණු විරෝධය නිසා එය නතරවී තිබෙනවා. නමුත් අපි ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් ලබාගෙන යාපනයේ ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ වගේම නිෂ්පාදන කලාප කිහිපයක් උතුරු නැගෙනහිර පිහිටුවීමටත් අපි යෝජනා කර තිබෙනවා. අපේ අය වැය තුළ කිසිම පළාතකට විශේෂයක් කරලා නැති බව පැහැදිලිවම කියනවා. පළාත් 9ම විවිධ ජන කොටස් ජීවත් වෙනවා. අපි ඒ සියල්ලන්ම එක හා සමානව සලකනවා. මේ රටේ ග්‍රාමසේවා වසම් 14,021ක් තියෙනවා. මගේ ගම පිහිටා ඇති 399 අංකය දරන මැදමුලනටත් මේ අයවැයෙන් ලබාදුන්නේ රුපියල් මිලියන 3යි. අනෙක් හැම ග්‍රාමසේවා වසමකමටත් ලබාදුන්නේ මිලියන 3යි. උතුරටත් ඒක ඒ විදියටම ලැබෙනවා. ඒ වගේම පළාත් පාලන කොට්ඨාස 4,917ටත් මිලියන 4 බැගින් ලබාදී තිබෙනවා. ඒ නිසා කිසිම භේදයක් මේ අයවැය තුළ හෝ රජයේ ක්‍රියා කලාපය තුළ සිදුව නැති බව පැහැදිලිව කිව යුතුයි.
ප්‍රශ්නය
භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ ගියත්, සිගරැට්ටුවක මිල වසර තුනකට පසුව වැඩි කළේ රුපියල් 5කින් පමණයි. ඒ රුපියල් පහෙනුත් ආණ්ඩුවට ලැබෙන්නේ කොටසක් පමණයි. ආණ්ඩුවට සිගරැට්ටුවකින් ලැබෙන මුදල කොපමණද?
සිගරැට්වලින් 100%ක්ම බදු රජයට ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ සඳහා නීතිමය බාධාවක් තිබෙනවා. එය නිවැරැදි කරගත යුතුයි. මුදල් ලබාගැනීමට වඩා සෞඛ්‍ය පැත්තෙන් මේ දිහා බැලිය යුතුයි. සෞඛ්‍ය අංශවලින් රජයට නිර්දේශ 3ක් ඉදිරිපත් කර තිබෙනවා. දුම්වැටි, මත්ද්‍රව්‍ය සහ සීනි වශයෙන්. දුම්වැටිවලට බදු පැනවීම හරහා රජයට විශාල මුදලක් ලැබුණත් ඊට වඩා සෞඛ්‍යමය පැත්තෙන් ඒ දෙස බැලීමට රජය කටයුතු කරනවා. ඒ වගේම දුම්වැටි සඳහා මිල වැඩිකිරීමේදී ඒ වැඩිකරන මුදල රජයට ලබාගැනීම සඳහා උපරිම පියවර ගන්නා බවත් සඳහන් කළ යුතුයි.










