‘මම ඉන්දියානු මිතුරකු හමුවුණෙමි.’
‘ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඔහුගේ දින සටහන් පොතේ මෙහෙම සටහනක් ලියා තිබුණා. එහි වෙන කිසිදු තොරතුරක් තිබුණේ නැහැ’ යැයි ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන කිංස්ලි රත්නායක ප්‍රකාශ කර සිටියේය.
ඉහත මේ වගතුග ප්‍රකාශ වන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍යයන් තුළින් නොවේ. එනම් ඉන්දියාවේ තිබෙන අතිශය ප්‍රකට දිනපතා පුවත්පතක් වන, ‘බිස්නස් ස්ටෑන්ඩර්ඩ්’ නමැති පුවත්පතේ පළවන වාර්තාවකින් එසේ කියා සිටියි. එම පුවත්පතේ කතුවරියක වන, ප්‍රවීණ මාධ්‍යවේදිනී අදිති පාඩ්නිස් විසින් මෙම විශේෂිත පුවත ලියා තිබුණේ මෙයට දින කිහිපයකට ඉහතදීය. ඇය දේශපාලනික ලේඛිකාවකද වෙයි. මෙම ඉන්දීය මාධ්‍යවේදිනිය යම් විශේෂිත පුවතක් ගැන කරුණු සොයා ගන්නට උත්සාහ දරා ඇති බැව් එම පුවත තුළින් පෙනීයයි. ඇයගේ වාර්තාවේ ඉහළින්ම ඇත්තේද එක්තරා සුවිශේෂ වූ ඡායාරූපයකි. එහි ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා, තවත් යම් විශේෂිත පුද්ගලයකු සමග සිටගෙන සිටින අයුරු දක්නට හැකිය.
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශය කර තිබුණු ජනාධිපතිවරයා හමුවුණු ඉන්දීය මිතුරා කවුද? එය දැන් අප සමාජය දැන සිටියත්, මෙයට දින කිහිපයකට ඉහතදී එය කිසිවකුත් දැන සිටියේ නැත. අඩුම තරමේ ජනාධිපති මාධ්‍ය අංශයවත් දැන සිටියේ නැත. ජනාධිපතිවරයාගේ මෙම හිතාදර මිතුරා නම්, තම මහා ධනයෙන් ලොවක් සොලවන ඉන්දියාවේ ගෞතම් අදානි ය. ගෞතම් අදානි යනු ඉන්දියාවේ දෙවැනි ධන කුවේරයා වන අතර, ඔහු ආසියාවේද දෙවැනි තැනට සිටින ධන කුවේරයා වෙයි. මෙම සුවිශේෂ මිනිසා පසුගියදා හදිස්සියේම ශ්‍රී ලංකාවට පැමිණියේය. එහෙත් ඔහුගේ ගමන බොහෝ දෙනෙකුට හොර රහසේ සිදුකළ ගමනක් විය. ඔහු තමන්ගේම පෞද්ගලික ජෙට් ගුවන් යානා දෙකකින් තවත් 10 දෙනකුගේ පිරිසක් සමග පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු මෙහි පැමිණියේ ශ්‍රී ලංකාව තුළ සිදුවන තමන් සම්බන්ධ වූ විශේෂිත ව්‍යාපාර ගනුදෙනු කිහිපයක් උදෙසා යැයි වාර්තා විය. ඉතාමත් කෙටි වේලාවක් දිවයින තුළ ගතකළ ඔහු ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද මුණගැසුණි. එහෙත් එම හමුවන් සිදුවන බැව්ද කිසිවෙකුත් දැන නොසිටි අතිශය ප්‍රබල රහසකි.
ඉන්දියාවේ මෙම මහා සුපිරි බිලියනපතියා ශ්‍රී ලංකාවට පැමිණෙන විට මුලින්ම කරුණු දැන ගත්තේ ඉන්දියානු මාධ්‍ය කිහිපයක් විසිනි. එම මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෙත එම තොරතුරු දැනගන්නට ලැබිණි. එසේ නොමැතිව මෙම සංචාරය ඉන්දියාවටත්, ශ්‍රී ලංකාවටත් නිල වශයෙන් ප්‍රකාශිත නොවූ ගමනකි. එසේම සංචාරය නිමවීමෙන් පසුව වුවද කිසිදු නිල මාධ්‍ය ප්‍රකාශයක් සිදු කෙරී නොතිබිණි. ඉහත ඉන්දීය පුවත්පතේ මාධ්‍යවේදිනිය මෙම සංචාරය ගැන අදානි සමාගම හරහා කරුණු සොයා ගැනීමට උත්සාහ ගත්තද, ඔවුන් එම තොරතුරු ලබා දීමට අපොහොසත්වී ඇත. දුරකතන ඇමතුම් සහ ඊ-මේල් පණිවුඩද කිහිපයක්ම ලබා දුන්නද ඒ කිසිවකටවත් ප්‍රතිචාර ලැබී නැත. කෙසේ හෝ ගෞතම් අදානි ප්‍රමුඛ පිරිස පසුගිය ඔක්තෝබර් 24දා රාත්‍රියෙහි ශ්‍රී ලංකාවට පැමිණි බැව් කිසිවකුත් දැන සිටියේ නැත. ඉන්පසුව ගෞතම් අදානි ජනාධිපතිවරයා මුණගැසී ඇත්තේ 25දා උදේ වරුවේය. ඉන්පසු අගමැතිවරයාද හමුවී ඇත. කෙසේ හෝ එම කිසිදු තොරතුරක් ඔහු රටින් බැහැරව යන තෙක් නිසි ලෙස මාධ්‍යයට දැන ගන්නට නොලැබිණි. එනම් මෙම සංචාරය සිදුවී ඇත්තේ සම්පූර්ණයෙන්ම පෞද්ගලික සංචාරයක් ලෙසිනි. එසේ ප්‍රකාශ වුවද, සාකච්ඡා කෙරී ඇත්තේ සහ ප්‍රායෝගිකව කටයුතු කර ඇත්තේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය සහ නිල කටයුතු උදෙසා බැව් වාර්තා වෙයි.
පසුව ඉන්දීය පුවත්පත් කිහිපයක්ම වාර්තා කර තිබුණේ, ගෞතම් අදානි සහ ජනාධිපතිවරයා හා අතර පැවැති සාකච්ඡාවේදී කොළඹ වරායේ බටහිර ජැටියේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බැව්ය. ඩොලර් මිලියන 700ක සුවිශාල ආයෝජනයක් මත සිදු කෙරෙන කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ නව ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ ගිවිසුම අස්සන් කිරීම පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා සිදු කෙරිණි. එහි සියයට 51ක (51%) බහුතර කොටස් අදානි සමූහ ව්‍යාපාරයට අයත් වන අතර, තවත් කොටස් සියයට 34ක් (34%) අදානි සමාගමේ මෙරට නියෝජිතයා වන ජෝන් කීල්ස් සමාගමටත් අයත් වෙයි. මෙහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොටස් ප්‍රමාණය වන්නේ ඉතිරි සියයට 15ක (15%ක) කොටස් පමණි. මෙය ඉන්දියාව සතුවන අතිවිශාල ව්‍යාපාරික ආයෝජනයක් වන අතර, මෙතෙක් ශ්‍රී ලංකා වරාය ඉතිහාසයේ විදේශ රටකට ලබා දුන් විශාලතම ආයෝජනය වශයෙන් සැලකෙයි. මෙම වරාය බටහිර පර්යන්තයේ කටයුතු සඳහා ගිවිසුම් අස්සන් කරනු ලැබුවේ වසර 35ක කාලයක් සඳහාය.
මේ අතර සුපිරි ඉන්දියානු ධන කුවේර ගෞතම් අදානි ශ්‍රී ලංකාව තුළ තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට ආයෝජනය කිරීමට තීරණය කර ඇත. එනම් මන්නාරම ප්‍රදේශයේ පුනර්ජනනීය විදුලි බලාගාරයක් ඉදිකිරීමේ කටයුතු සැලැසුම් කර ඇති අතර, ඔහු පසුගියදා මන්නාරම ප්‍රදේශයට ගොස් ඒ පිළිබඳව නිරීක්‍ෂණයකද යෙදී ඇත. ඔහු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකින් කටුනායක සිට මන්නාරම බලා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය ඔක්තෝබර් 25 වැනිදා දහවල් වරුවේය. එම ගමන සඳහා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුද සහභාගි වී ඇත. කෙසේ හෝ උතුරුකරයට සිදුකළ සංචාරයේදී සමහර ශ්‍රී ලාංකික සහ ඉන්දියානු පාර්ශ්ව ප්‍රකාශ කර තිබුණේ අපූරු පුවතකි. එනම් මෙම 2021 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා රජය කැබිනට් තීරණයක් ගෙන තිබුණේ, යාපනයේ සාගර ප්‍රදේශයෙහි ඇති දූපත් තුනක් ව්‍යාපෘති කිහිපයක කටයුතු සඳහා චීනයට ලබා දීමටය. ඒ අනුව ඩෙල්ෆ්ට්, අනලාතිවු සහ නයිනතිව් යන දූපත් තුන විදුලිබලශක්ති ව්‍යාපෘති සහ තවත් විවිධ ව්‍යාපෘති කිහිපයක් සඳහා ලබා දීමට තීරණය විය. මේ අනුව ඩොලර් මිලියන 12ක කුඩා ව්‍යාපෘති ඇරැඹීමට චීන ජාතික සමාගමකට අවසර හිමිවිය.
කෙසේ හෝ මෙම දූපත් තුන ඉන්දියානු වෙරළ සීමාවට ආසන්නයෙන් කිලෝමීටර් 50-60ත් අතර දුර ප්‍රමාණයකින් පිහිටා තිබේ. මෙවැනි තත්ත්වයක් යටතේ එම තීරණයත් සමග ඉන්දියාව තම දැඩි විරෝධය ශ්‍රී ලංකාවට ප්‍රකාශ කර සිටියේය.
එසේ වන්නේ ඉන්දියාවත් – චීනයත් පසුගිය කාලය පුරාම ප්‍රබල සීතල යුද්ධයක පැටලී ඇති හෙයිනි. එලෙස ඉන්දියාව ආසන්නයේ තිබෙන දූපත් තුනක චීන සමාගම් විසින් ව්‍යාපෘති ඇරැඹීමට ශ්‍රී ලංකා රජය ටෙන්ඩර් ලබා දීම, ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් ලෙසද ඉන්දීය රජය ප්‍රකාශ කර සිටියේය. කෙසේ හෝ මෙවැනි තත්ත්වයක් යටතේ ඉන්දියානු ධනකුවේර ව්‍යාපාරික ගෞතම් අදානි උතුරේ සංචාරය කිරීම ගැන විවිධ මතිමතාන්තරද ඇති වුණේය. ඔහු තම මන්නාරම නිරීක්‍ෂණයේදී චීනයට ලබා දුන් උතුරේ දූපත් තුන ගැනද නිරීක්‍ෂණය කළේ යැයි රාවයක් පැතිරිණි. මන්නාරමේ සිට මෙම දූපත් ප්‍රදේශයට අහසින් තවත් කිලෝමීටර් 50ක පමණ දුරක් ඇත. එහෙත් ගෞතම් අදානි එසේ දූපත් නිරීක්‍ෂණය සඳහා ගිය බවට නිසි සාධකයක් නොතිබිණි. ඔහු සුළං බලශක්ති ව්‍යාපෘතියේ කටයුතු නිරීක්‍ෂණය කර මන්නාරමේ සිට නැවැත හෙලිකොප්ටර් යානය මගින් කටුනායකට පැමිණ ඇත. ඉන් ටික වේලාවකට පසු ඔහු තම පෞද්ගලික ජෙට් ගුවන් යානාව මගින් ඉන්දියාවට පිටත්ව ගොස් ඇත.
කෙසේ වෙතත් මේ වන විට ආණ්ඩුව උතුරේ දූපත් 3 සඳහා යළිත් වතාවක් ටෙන්ඩර් කැඳවීමට තීන්දු කර ඇති බව වාර්තා වේ. එහිදී අලුතින් ඉන්දීය සහ ඇමෙරිකානු සමාගම්ද ඊට ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත්, චීන ටෙන්ඩරයද ඊට ඇතුළත් කරන බවත් දැනගන්නට ඇත.
ගෞතම් අදානිගේ ජීවිත කතාව එක්තරා අයුරකින් සුවිශේෂ වගතුගකි. ඔහුගේ පියා රෙදිපිළි වෙළෙඳාමේ නිරතව සිටි පුද්ගලයකු වෙයි. ගෞතම්ද තරුණ කාලයේ සිටම විවිධ කුඩා ව්‍යාපාර කරමින් සිට ඇති පුද්ගලයෙකි. කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් ඔහු මහා පරිමාණ ව්‍යාපාරිකයකු විය. ගෞතම් අදානි යනු ඉන්දියාවේ දෙවැනි ස්ථානයෙහි වැජඹෙන මහා බිලියනපතියාය. එසේම ආසියාවේද දෙවැනි තැන හිමිකර ගත් මහා ධනකුවේරයාය. අදානි සමූහ ව්‍යාපාරයේ තනි අයිතිකරුවා වන්නේ ඔහුය. දැනට 59 වැනි වියෙහි පසුවන ඔහුගේ ධන වත්කම 2021 වසරට අනුව ඩොලර් බිලියන 72.3කි. මෙය සිතාගත නොහැකි තරමේ මහා ධන සම්භාරයක් වන අතර, එම තක්සේරුවට අනුව ඔහු දැනට ලෝකයේ සිටින 13 වැනි ධනවත්ම පුද්ගලයාද වෙයි. ලෝකයේ ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන ‘ෆෝබ්ස්’ සමීක්‍ෂණයකට අනුව මෙම කරුණු ප්‍රකාශ වෙයි. ඔහු කෙතරම් ධනවතකු වුවද, බොහෝ සමාජ සහ පුණ්‍ය කටයුතු සඳහාද තම ධනය පරිත්‍යාග කරයි. ඔහු පසුගිය කාලයේ ‘කොවිඩ්-19’ රෝග මර්දනය උදෙසා ඉන්දියානු රජයට සහ වෙනත් ආයතන සඳහා ඉන්දියානු රුපියල් කෝටි 100ක් පරිත්‍යාග කළේය.
ප්‍රියන්ත හෙට්ටිගේ










