වත්මන් ආණ්ඩුව ගොවි ජනතාවට එදා පොරොන්දු වුණේ නොමිලේ පොහොර ලබා දෙන බව වුණත් අද වනවිට පොහොර තබා ගොවිබිම් ටික පවා හරිම කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බාල ගිවිසුම් ගසමින්, බාල පොහොර ගෙන්වමින් ගොවි ජනතාව නැත්තට නැති කිරීමේ කටයුත්තක් ආණ්ඩුව සිදු කරන බවත් මුඩුබිමක් වැඩබිමක් කරනවා යැයි කියමින් පැමිණි ආණ්ඩුව සෞභාග්‍ය වෙනුවට අභාග්‍ය රටට රැගෙනවිත් ඇතැයි ද පැවැසීය.
ගොවි ජනතාව අනාත වී ඇති බවත් ,ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය පවා අඳුරට හෙළා ඇති බවත්,ජනතාවට වේලක් ඇර වේලක්වත් කන්න බැරි තත්වයට රට පත් කොට ඇති බවත් ඒ මහතා පැවසීය .
විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ විල්ගමුව ගොවිජනසේවා මධ්‍යස්ථානය ඉදිරිපිට පැවති ගොවි විරෝධතාවයට එක් වෙමිනි. මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් එම උද්ඝෝෂණය සංවිධානය කොට තිබූ අතර, විපක්ෂ නායකතුමා විල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට ද සහභාගි විය.
කිසිවෙකුට බරක් නොවී ජීවත් වුණු ගොවිජනතාව කබලෙන් ලිපට ඇද දමා ආණ්ඩුව කළ මේ සාහසික ක්‍රියාවලිය අමානුෂික බව පැවසූ විපක්ෂ නායකතුමා ජනතාවගේ කර මතින් ගොස් සුරසැප විඳින ආණ්ඩුවට ජන දුක නොතේරෙන බව ද පැවසීය.
ආණ්ඩුව තුළ බුද්ධිමතුන්ට වියතුන්ට අද වන විට තැනක් නැති බවත් වන්දනාමාන කරන වන්දිභට්ටයින්ට ඒ තැන හිමිව ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා බුද්ධි මාරඹේ වැනි ප්රබුද්ධ උගතුන් නෙරපා හරින තැනට ආණ්ඩුව පත්ව ඇතැයිද පැවසීය. සිය ආණ්ඩුවක් යටතේ ඒ මහතාට නිසි ගෞරවය ලබා දෙන බවද විපක්ෂනායකවරයා කීය.
මහා ගොවිජන පවුරක් නිර්මාණය කොට ආණ්ඩුවේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව ජනතා අරගලය ආරම්භ කරන බවද විපක්ෂ නායකතුමා පැවසීය.














