“ඒ.පී. පෙරේරා මහතා,
අට ශ්‍රේණිය භාර ගුරු මහතා.
කිංග්ස්වුඩ් මහ විදුහල,
මහනුවර.
ප්‍රශංසා කිරීම
ඔබගේ පන්තියේ ඉගෙනුම ලබන මගේ පුත්‍ර මනෝ විජේරත්න විසින් අධ්‍යාපන කටයුතු හරි හැටි නොකිරීම නිසා දඬුවම් කිරීම පිළිබඳ ඔබට ස්තුති කරමි. මෙයට පසුව වුවද මගේ දරුවා පන්තියේ කටයුතු හරි හැටි නොකරන්නේ නම් දඬුවම් කර හෝ ඔහු හරි මඟට යොමුකිරීම ඔබේ වගකීමයි. අවංකව ගුරු මහතකු වන ඔබට මගේ ප්‍රශංසාව පුද කරමි.
මෙයට විශ්වාසී
නිශ්ශංක විජේරත්න
අධ්‍යාපන ඇමැති”

මේක ලියුමක්. මේක එක කාලෙක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන ඇමැති වෙලා හිටපු, ඒ වගේම මහනුවර දැවැන්ත බලයක් හිමි කරගෙන හිටපු නිශ්ශංක විජේරත්න මහත්තයා මහනුවර ප්‍රධාන පෙළේ පාසලක් වන කිංග්ස්වුඩ් විද්‍යාලයේ 8 ශ්‍රේණිය භාරව හිටපු ගුරුවරයට යවපු ලියුමක්. එහෙම නැත්නම් ඔහුගේ පුත්‍රයා වූ මනෝ විජේරත්නගේ ගුරුවරයාට යවපු ලියුමක්. මේ ලියුමෙ තියෙන්නේ තමන්ගෙ දරුවාට දඬුවම් කිරීම සම්බන්ධ කාරණාවක්. ගුරුවරයා විසින් දරුවාට දඬුවම් දීම සම්බන්ධව ඔහු කියන්නේ දඬුවම් කරපු එක හොඳයි. තවදුරටත් දඬුවම් කරලා මේ දරුවව යහ මඟට ගන්න කියලා.
හැබැයි අද එහෙම වෙනවද? මේ ලිපිය ඔබ කියවන දවස වෙනකොට රටම ගුරුවරු සහ දේශපාලකයො ගැන අවධානයෙන් ඉන්න කාලයක්. එක පැත්තකින් දේශපාලකයන් විසින් ගුරු වැටුප් සම්බන්ධව විවිධ දේවල් කටමැත දොඩවමින් ඉන්නවා. ගුරුවරුන් මේ වෙනකොට උද්ඝෝෂණ, වැඩවර්ජනවලට ගිහිල්ලා තවමත් සමථයකට පත් නොවුණු, තවමත් නොනිමුණු ගිනි කන්දක් බවට මේ ප්‍රශ්නෙ පත්වෙලයි තියෙන්නේ. ඒ ගින්දර මැදින් සමහර අය බීඩි සුරුට්ටු පත්තු කරන්න හදනවත් අපට පේනවා. ඒ කියන්නේ දේශපාලන වාසි ගන්න උත්සාහ ගන්නවත් අපට පේනවා. හැබැයි මේ ලියුමෙන් අපට පැහැදිලි වෙන කාරණාව තමයි එවක හිටපු අධ්‍යාපන ඇමැතිතුමා ගුරුවරයාගේ කාර්යභාරයට මැදිහත් නොවුණු බව. ගුරුවරුත්, දේශපාලකයගෙ දරුවා බව නොසලකා, අධ්‍යාපන ඇමැතිගෙ දරුවා බව නොසලකා දඬුවම් කළ යුතු තැනදි දඬුවම් කරලා තියෙන්නේ. එතකොට ගුරුවරු නිසි තැනදි දඬුවම් කරන්නත්, ගුරුවරු දඬුවම් කළාට පස්සේ, ගුරුවරුන්ට ඇමැතිවරයා විසින් දඬුවම් නොකරන්නත් වගබලාගත්ත පරිසරයක් අපේ රටේ ඉස්සර තිබිලා තියෙනවා.
හැබැයි අද වෙනකොට වැටුප් විෂමතාව සම්බන්ධව ගුරුවරු අරගල කරද්දී ගරුවරුන්ට අහල පහළ මිනිස්සු දම්මලා ගස්සන්න, නැත්නම් වෙන වෙන සැලසුම් හදන්න, ඉස්කෝල ශුද්ධ කරන්න අහල පහළ ඉන්න මැරයො යවන්න දේශපාලකයො කටයුතු කරනවා කියලා ගුරුවරු චෝදනා කරනවා. එතකොට දේශපාලකයො ගුරුවරුන්ටත් විවිධ කාරණා සම්බන්ධව චෝදනා එල්ල කරනවා. හැබැයි අපිට පේන්න තියෙන කාරණාව තමයි රටේ අධ්‍යාපනය ගුරුවරුන්ට භාරදීලා රටේ පාලනය දේශපාලකයො භාරගත්තා නම් මේක මීට වඩා ලේසියි. පැහැදිලිව සහ සුන්දරව කරගෙන යන්න තිබුණා.
ඒත් දැන් වෙලා තියෙන්නේ දේශපාලකයො ගුරුවරුන්ගෙ කාර්යභාරයට ඇඟිලි ගහන්න පටන් අරගෙන. එතකොට දේශපාලකයන්ට ඔවුන්ගෙ කාර්යභාරය කරන්නෙ වෙන්නෙත් නෑ. ගුරුවරුන්ට ගුරුවරුන්ගෙ කාර්යභාරය කරන්න වෙන්නෙත් නෑ. මේ ලිපිය ලියන දවස වෙනකොට රටේ මොන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවද කියන්න අපි දන්නෙ නෑ. හැබැයි මේ ලිපිය ඔබ අතට පත්වෙන දවස වෙනකොට ගුරුවරු පාසලට යන්න තීරණය කරනවා සහ සමහර විට ගිහිල්ලා. එතකොට මේ යන්නෙත් තමන්ගෙ ගුරු වැටුප සම්බන්ධව අර්බුදය සහ ප්‍රශ්නය හිතේ තියාගෙන. මේ මිනිස්සු ඉල්ලන්නෙ ලක්ෂයක් දෙකක් තුනක් නෙවෙයි. මේ මිනිස්සු ඉල්ලන්නේ ලක්ෂ 17ක 19ක විශ්‍රාම වැටුපක් නෙවෙයි. මේ මිනිස්සු ඉල්ලන්නෙ රොකට් යවන්න හරි මොනවට හරි කියලා රජයේ භාණ්ඩාගාරයෙන් මහා ලොකු මුදලක් නෙවෙයි. මේ ගුරුවරයෙක්ට සාමාන්‍යයෙන් මාසෙට වැඩිවෙන මුදල රුපියල් හය හත්දාහක් අටදාහක් දහදාහකට වැඩි වෙන්නේ නෑ.

එතකොට මාසයකට මේ මුදල ඉල්ලලා මේ මිනිස්සු ජීවත් වෙන්න සටන් කරනකොට ඒ සටනට ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට මේ සටනට එරෙහි වෙන දේශපාලකයො සමහර වෙලාවට තමන්ගෙ ලයිට් බිල ගෙවනවා මාසෙකට රුපියල් ලක්ෂ ගානක්. තමන්ගෙ දරුවන්ගෙ නෑදෑ හිතමිතුරන්ගෙ හිත් සතුටු කරන්න යාන වාහන ගෙන්වනවා කෝටි ගණන්වලින්. ඒ වගේම වාහනයට පර්මිට් එක ඔවුන්ට ලැබෙනවා. මාසෙ දුරකතන බිල විතරක් සමහර විට ගුරුවරයකුගෙ පඩියට වඩා වැඩියි. මේ මිනිසුන්ගෙ වියහියදම් සියල්ලම සාමාන්‍යයෙන් ගත්තම ගුරුවරයෙක්ගෙ අවුරුද්දක වැටුපටත් වඩා විශාල ප්‍රමාණයක් වෙනවා. ඒ නිසා මේ අර්බුදය තවදුරටත් වැඩිදියුණු වෙන්නේ මේ විදියේ දක්ෂ සහ බුද්ධිමත් ඒ වගේම ප්‍රගතිශීලී අධ්‍යාපන අමාත්‍යවරුන් නැති නිසා කියලයි අපට හිතෙන්නේ.
ඒ වගේම පසුගිය දවසක අපි දැක්කා ඉතා ප්‍රසිද්ධ ඡායාරූපයක් එහෙට මෙහෙට සංසරණය වෙනවා ස
මාජ මාධ්‍ය ඇතුළෙ. එක ගුරුවරියක් විසින් එල්ලාගෙන ඉන්න බෝඩ් එකක්. ඒ බෝඩ් එකේ තියෙන්නේ කියන්න ටිකක් අකැමැති කතාවක්. අපිත් කැමැති නෑ මේවා කියන්න. හැබැයි අපි කැමැතියි මේ පින්තූරෙ පළකරන්න. අපි නොකියා, පින්තූරෙ පළ කළාට පස්සේ ඔබට ඒක කියවාගන්න පුළුවන් නේ. අපේ රට පාලනය කරන්නේ කොහොම අයද කියන එක සම්බන්ධව සමහර අයගෙ මතිමතාන්තරවලට අපි එකඟ වෙන්න යන්නෙ නෑ. හැබැයි අපි එකඟ වෙන්නේ නැත්තේ ඒකට එකඟ නොවන නිසා නෙවෙයි. අපට ඒවා තාම තේරුම් කරගන්න බැරි නිසා.
කොහොම නමුත් මේ පාසල් පටන්ගැනීම කියන අපූරු ටෙලිනාට්‍යය මේ වන විට රූගත කරන්න පටන් අරගෙන ඉවරයි. ඒ නිසා මේ ටෙලිනාට්‍යයෙ තියෙන විවිධ රූපරාමු ඔබ රසවිඳිමිනුයි ඇත්තේ. මේ රූපරාමු ඇතුළේ දුෂ්ටයාගෙ චරිතෙ ගුරුවරයාටත්, වීරයාගෙ චරිතෙ දේශපාලකයාටත් ලබාදෙන්න මේ අධ්‍යක්ෂවරු විසින් කටයුතු කරලා තියෙනවා. මේ ගුරු වැටුප් වැඩිකිරීම සහ මේ අර්බුදය සම්බන්ධව කතා කරද්දී සහ බලද්දි අපට පේන්න තියෙන බරපතළම කාරණාව තමයි හිතුවක්කාරකම. මේ අය ඉල්ලන්නේ සුබෝධිනී කමිටුවෙ නිර්දේශවලට අනුව හෙට පඩි වැඩිකරන්න කියලා නෙවෙයි. මේ අය කියන්නේ නිශ්චිත නිර්දේශයක් නිකුත් කරන්න කියලා.
ඒ නිර්දේශ සම්බන්ධයෙන් පහුගිය දවසක දයාසිරි ජයසේකර මහත්තයා අපූරු කතාවක් කියලා තිබුණා. ඒ කතාවෙ අන්තර්ගතය මෙන්න මේ වගේ. මේ අන්තර්ගතය සමහර වෙලාවට වචනවලින් එහෙට මෙහෙට වෙනස් වුණාට, දයාසිරි ජයසේකර ඇමැතිතුමනි සමාවෙන්න. තරහ වෙන්න එපා. අපි හිතන්නේ ඔබතුමා කියන්නේ හොඳ කාරණාවක් කියලයි. ඒ නිසයි මේක ලිපියෙ අගට අමුණන්නෙ.
එතුමා කියනවා මේ ගුරු වැටුප් අර්බුදය අවුරුදු විසි ගානක් තිස්සේ පවතින බව ඇත්ත. හැබැයි නව ආණ්ඩුව පත්වෙනකොට ඒ සම්බන්ධව විසඳුමක් දෙනවයි කියලා පොරොන්දුවක් තිබුණා. මේ ගුරුවරු ඉල්ලන්නේ ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න කියලයි ඔහුගෙ කතාවෙන් අපට තේරුණේ සහ අපට පෙනුණේ. ඒ වගේම දැන් ගුරු වැටුප් අර්බුදයට අවුරුදු විසි ගානක් කියලා, මේ වතාවෙත් නොවිසඳා හිටියොත් තව ටික කාලෙකින් කියයි දැන් අවුරුදු තිහක්. ඒ නිසා විසඳන්න ඕනෙ නෑ කියලා. තවත් ටික කාලෙකින් කියයි අවුරුදු 40ක්. ඔය විදියට තවත් කාලයක් යනකන් මේ ප්‍රශ්නය මේ විදියටම තියෙයි. එතකොට මේ ගුරුවරු මියගිහිල්ලා අලුත් ගුරුවරු පත්වෙලා ඇවිල්ලා තියෙයි. ඒ නිසා ඊළඟ පරම්පරාවෙ ගුරුවරුන්ට තව දුරටත් ප්‍රශ්නයක් ඇති නොවෙන්නයි මේ විදියෙ කටයුතු කරන්නේ.
නිශ්ශංක විජේරත්න මහත්තය වගේ රටක් වටින මැති ඇමැතිවරු වටින්නෙ මෙන්න මේ කාලෙට කියලයි අපට හිතෙන්නේ, ඔය වගේ ප්‍රශ්න ඇහැට දකිනකොට, කනට ඇහෙනකොට.
ජීවන පහන් තිළිණ










