මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
වැඩතහනම් කෙරුණු එම පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
රථවාහන අංශයට අනියුක්ත පොලිස් නිලධාරියෙකු විසින් තරුණයින් දෙදෙනෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු විය.
පහරදීම සිදුවන්නේ මඩකළපුව එරාවූර් කලපුව පාරේ ආහාර වෙළෙඳසැලක් ඉදිරිපිටදීය.
රිය අනතුරක් සිදු වූ ස්ථානයක මැනීම් කටයුතු සිදුකළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් අධික වේගයෙන් මෙම යතුරුපැදිය ධාවනය කළ බවට මෙම යතුරුපදිකරුට චෝදනා එල්ලවී තිබිණ.
එහිදී යතුරුපැදිය නවතන ලෙසට අණ කර තිබුණ ද එය නොතකා යතුරුපැදිකරු මඩකලපුව එරාවූර් කළපුව පාර පටු මාවත ඔස්සේ අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කර ඇති බව වාර්තා විය.










