ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ඇතුළු සියල්ල සර්ව සම්පූර්ණයි කියා වායු සමීකරණය කළ පාර්ලිමේන්තුව ඇතුලේ මැති ඇමතිවරුන් කයිවාරු ගැසුවාට මහපොළොව ඇතුලේ එය සහමුලින්ම අසත්‍යක් බවත් තමන්ට අවශ්‍ය පොහොර ටික නැතිව ගොවිජනතාව සුසුම් හෙළමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ පෙන්වන ලෝකය ගොවිබිම තුළ නැති බව පැවසූ විපක්ෂ නායකතුමා මේ ව්‍යාජයට එරෙහිව ජනතාව ඒකාන්ත වශයෙන්ම පාඩම් උගන්වනු ඇතැයිද පැවසීය.
ලෝකයේ හොඳම කුරුඳු නිෂ්පාදකයා ලෙස කීර්ති නාමයක් දිනාගෙන සිටි ශ්‍රී ලංකාවට ආණ්ඩුවේ මේ හිතුවක්කාරී ක්‍රියාවලිය හේතුකොටගෙන බලවත් තර්ජනයක් එල්ල වී ඇති බවත් අත්‍යාවශ්‍ය පොහොර නැතිකම හේතුකොටගෙන කුරුඳු වගාවෙන් නිසි ප්‍රතිඵල නෙළා ගැනීමට ගොවියාට නොහැකි වී ඇති බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන “ගොවි හදගැස්ම” වැඩසටහනේ තවත් පියවරක් ලෙස අද (14) අම්බලන්ගොඩ මීටියාගොඩ කුරුඳු ගොවීන් හමුවී ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
ලෝකයේ ප්‍රධානතම කුරුඳු සැපයුම්කරුවන් ලෙසත්, ගුණාත්මක ම කුරුදු සැපයුම්කරුවා ලෙසත් කීර්තියක් ලබා සිටින ශ්‍රී ලංකාව මේ වන විට බරපතල ව්‍යසනයකට ලක්ව ඇති බව කුරුඳු ගොවීන් අනාවරණය කරනු ලැබීය. ඔවුන් පවසා සිටියේ ආණ්ඩුවේ පොහොර තහනම් කිරීමේ ප්‍රතිපත්තිය හේතුකොටගෙන තමන් බලවත් අසීරුතාවයකට පත්ව ඇති බවයි.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, හිටපු මන්ත්‍රීවරුන් වන බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, විජයපාල හෙට්ටිආරච්චි ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙන්ම ප්‍රදේශයේ කුරුදු ගොවීන් රැසක් ද එක්ව සිටියහ.
















