මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීමට අදාළව රටට අවාසිදායක කිසිදු ගිවිසුමකට ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙස තමන් අත්සන් නොතබන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
බලශක්ති අමාත්‍යාංශයේ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීම 2028 වසර දක්වා අමෙරිකානු සමාගමකට ලබාදීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැනීමට බාධාවක් වන බවය.
මාධ්‍යවේදියා – ඔබතුමා මන්නාරම් ද්‍රෝණියෙන් ගෑස් ලබාගැනීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. මේ අතර ගෑස් සැපයීම අමෙරිකානු සමාගමකට පැවරීම තුළ ඔබතුමාගේ වැඩපිළිවෙලට මොනවගේ බාධාවන් ඇතිවෙන්න පුළුවන්ද ?
“නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම ට ගෑස් සැපයීම ආරම්භ වෙන්නේ 2023 සිට වසර පහකට. ඒ කියන්නේ 2023 – 2028 දක්වා තමයි ඒ අය ගෑස් සපයන්නේ. අපි හිතනවා මේ අවුරුද්දේ අග වෙද්දි වෙන්දේසිය පැවැත්වුවහොත් එතැන සිට වසර 3ක දී අපේ රටේ ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. ඒ කියන්නේ 2022 සිට ගත්තොත් 2025 සිට අපිට ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. හැබැයි අපේ විදුලි බලාගාරවලට ගෑස් සැපයීම 2028 දක්වා අමෙරිකානු සමාගමකට ලබාදීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැණීමට විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට බාධකයක් ලෙස බලශක්ති අමාත්‍යවරයා ලෙස මම දකිනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වුණ සෑම අවස්ථාවක දීම අපේ අමාත්‍යාංශයට එය බලපාන ආකාරය පිළිබඳ අපි ලිඛිතව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීලා තියෙන්නේ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ යුගදනවි බලාගාරයේ සියයට 40ක් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දීම නෙමෙයි. ශ්‍රී ලංකාවේ ගෑස් සැපයිමේ ඒකාධිකාරය 2023 සිට වසර 5කට අමෙරිකානු සමාගමකට හිමිවීම, ඒ වගේම ටෙන්ඩරයක් ක්‍රියාත්මක වෙමින් තිබිය දී ගෑස් විෂය ගැන දන්න අය ඉන්නේ අපේ අමාත්‍යාංශයේ නමුත් නමුත් ගිවිසුම්වලට එළඹුණු කිසිම කමිටුවක අපේ අමාත්‍යාංශ නියෝජිතයෝ සිටියේ නෑ. අපි අමාත්‍යාංශය පැත්තෙන් විෂය දන්න අය හැටියට මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට නිරීක්ෂණ දෙකක් ලබාදීලා තියෙනවා. තව නිරීක්ෂණයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මම දන්නේ නෑ ගෑස් ගිවිසුම කොච්චර කල් සාකච්ඡා කරා ද කියලා. දවසින් දෙකින් බොහෝ ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් වෙනවා. උන් කොන්දේසි ඉදිරිපත් කරනවා, අපි එකඟ වෙනවා, ගිවිසුම ගහනවා. අපේ රටට අවාසිදායක ගිවිසුමකට මම නම් අත්සන් කරන්නේ නෑ.” යනුවෙන් ගම්මන්පිල අමාත්‍යවරයා සදහන් කර සිටියේය.
කෙසේවෙතත් අප වෙබ් අඩවිය මීට පෙර අමාත්‍යවරයා ගිවිසුමේ වාසි දැක්වූ පුවත වාර්තා කළ අයුරු!
ගම්මන්පිල බ්ලූම්බර්ග්ට අමෙරිකන් ගිවිසුමේ වාසි කියයි!
එක්සත් ජනපද සමාගමක් වන නිව් ෆෝට්‍රස් බලශක්ති සමාගම විසින් ළඟදීම එල්එන්ජී පහසුකම් ආරම්භ කිරීමෙන් පසු අඩුම මිල ගණන් යටතේ බලශක්තිය ලබා ගත හැකි බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඔහු මේ අදහස ප්‍රකාශ කළේ බ්ලූම්බර්ග් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
2023 දී එල්එන්ජී බලාගාරය ආරම්භ කරන විට වාර්තාගත ලෙස ගෑස් මිල පහත වැටෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව ගම්මන්පිල පැවසීය.
බ්ලූම්බර්ග් වාර්තාවකින් කියැවුණේ ආසියානු රටවල් බොහොමයක් ප්‍රථම වතාවට එල්එන්ජී වෙත හැරීම හෝ මිලදී ගැනීම් වේගවත් කරන නවතම රට ශ්‍රී ලංකාව බවයි.
ගල් අඟුරු සහ තෙල් වැනි අපිරිසිදු පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට රජයන් උත්සාහ කිරීම හේතුවෙන් මහාද්වීපයේ ඉල්ලුම වෙනත් ඕනෑම තැනකට වඩා වේගයෙන් ඉහළ යමින් පවතී.
පර්යන්තය ක්‍රියාත්මක කරන නිව් ෆෝර්ට්‍රෙස්, ද්‍රව ඉන්ධන නැවත වායුව බවට පත් කිරීම සඳහා 15% ක අතිරේක මුදලක් අය කරන බව ඔහු පැවසීය.
බ්ලූම්බර්ග් ලිපිය මෙතැනින්…










