-දිනේෂ් කැබිනට්ටුවට යැවූ ලියුම -සජිත් කියපු දේ ආණ්ඩුව අන්තිමේ පිළිගනී – සීබී දැක්ක රටට සුබ ලකුණු -කාදිනල් හිමි දැඩි ස්ථාවරයක -බුලත් කොළය එළියට ගනී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යවශ්‍ය ආහාර සේවා පවත්වාගෙන යාම සදහා පසුගිය සතියේ පළමු වතාවට මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති රෙගුාසි පැනවීමට පියවර ගත්තේය. ජනතාවට අවශ්‍ය සහල්, සීනි, පරිප්පු වැනී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙන්දන් විසින් සගවාගෙන තිබීම වැඵැක්වීම සදහා මෙම පියවර ගෙන ඇති බව ආණ්ඩුවේ මතය වී තිබේ. ජනාධිපතිවරයාගේ මෙම හදිසි නීතිය පැනවීම ඒ අවස්ථාවේදී කෙතරම්ත් ආන්දෝලනාත්මක වීද කියනවා නම් විදෙස් මාධ්‍ය පවා එය ලොකු ප්‍රවෘත්තියක් ලෙස ප්‍රචාරය කිරීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය.
ජනපතිගේ හදිසියට විපක්ෂයම විරෝධයක
කෙසේවෙතත් ආහාර තොග සගවා ගැනීම වැළැක්වීම සදහා හදිසි නීතිය පැනවූ බව ආණ්ඩුව කියා සිටියද විපක්ෂය නම් පවසන්නේ මෙම හදිසි නීතිය පැනවීම විපක්ෂය මර්දනය කිරීමේ අරමුණින් පනවා ඇති බවකි. ඉදිරියේදී ආණ්ඩුවට එරෙහිව සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් විරෝධතා පැන නැගීම නොවැළැක්විය හැකි බවත්, ඊට එරෙහිව ක්‍රියාත්මක වීම සදහා මෙසේ හදිසි නීති පැනවීම සිදු කොට ඇති බවත් විපක්ෂයේ මතය වී තිබේ. ඒ නිසා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ල මේ වනවිට තීන්දු කොට ඇත්තේ ඊට එරෙහි වීමටය. ඒ අනුව සඳුදා (06) දින පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු දිනයේදී මෙම හදිසි නීති රෙගුලාසි විවාදයට ගැනීමට නියමිත අතර, සමස්ත විපක්ෂය ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආණ්ඩුව භාණ්ඩ මිල පාලනය කිරීමට බව කියමින් හදිසි නීතිය ගෙන එන බව කියා සිටියත්, ආණ්ඩුවේ සැබෑ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රට, ඒකාධිපතිත්වයකට යොමුකරමින් අත්තනෝමතික ලෙස මානව හිමිකම්වලට පවා අභියෝග කිරීමට බවකි. ආණ්ඩුවට බඩු මිල අඩුකිරීමේ සැබෑ වුවමනාවක් ඇත්නම් එය පාරිභෝගික පනත හරහා සිදුකළ හැකි බවද විපක්ෂනායකවරයා සිය නිවේදනයේ සඳහන් කොට ඇත.
ඒ සම්බන්ධයෙන් මෙම තීරය, සමගි ජන බලවේගයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ සඳුදා දින පැවැත්වෙන විවාදයේදී හදිසි නීති රෙගුලාසිවලට එරෙහිව ඡන්දය භාවිත කිරීමට පක්ෂය තීන්දු කරනු ඇති බවකි.
සදුදා පාර්ලිමේන්තුවේ විපක්ෂය එකතු වෙයි!
එමෙන්ම ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණද මේ වන විටත් සිය විරෝධය පළකිරීමට පියවර ගෙන ඇති අතර, එම පක්ෂයද පෙන්වා දී ඇත්තේ හදිසි නීතිය පැනවීමට කටයුතු කිරීම හරහා ඉදිරියේදී ආණ්ඩුව තමන්ට එරෙහිව එල්ල විය හැකි ජනතා විරෝධය මර්දනය කිරීමට පියවර ගනු ඇතැයි කියාය. මීට අමතරව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින්, ජනාධිපතිවරයා සිදුකර ඇති මෙම ක්‍රියාව හෙළාදැකීමට පියවර ගෙන තිබිණි.
එපමණක් නොව සුමන්තිරන් මහතා පෙන්වා දී තිබුණේ මහජන ආරක්ෂක ආඥා පනත ක්‍රියාවට නැංවිය යුත්තේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැනනැඟුණු මොහොතක බවය.
මේ සම්බන්ධයෙන් මෙම තීරය’ කළ විමසීමකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා සඳහන් කර සිටියේ මෙම තීරණ හරහා රට භයානක තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බවත්, දෙමළ ජාතික සන්ධානය ප්‍රතිපත්තියක් ලෙස හදිසි නීතියට එරෙහි බවත්ය. ඒ අනුව සඳුදා දිනයේදී දෙමළ ජාතික සන්ධානය ඊට එරෙහිව ඡන්දය භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවත් ඒ මහතා කියා සිටියේය.
ඒ අනුව සඳුදා දිනයේදී බොහෝ දුරට විපක්ෂය සියලු පක්ෂ හදිසි නීති රෙගුලාසි බලපැවැත්වීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුවට එරෙහිව ඡන්දය භාවිත කරනු ඇති බවත්, ඉදිරියේදී ඊට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යොමුවනු ඇති බවත් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
ඩලස්-බන්දුල කැබිනට්ටුවට නෑ…
කොවිඩ් අර්බුදය මැද මේ වන විට ආණ්ඩුවට මුහුණදීමට සිදුව ඇති බරපතළම අර්බූදය වී ඇත්තේ ආර්ථික අර්බුදයය. ආර්ථික අර්බුදය කෙතරම් බරපතළ වීද යත් උග්‍ර ඩොලර් හිඟයකට ආණ්ඩුව මුහුණදී සිටීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ආනයනය කිරීමේ ගැටලුවකට ආණ්ඩුව මේ වනවිට මුහුණපා සිටින ආකාරයක් දැකගන්නට ඇත.
මෙතෙක් කල් මෙම ආර්ථික අර්බුදය ආණ්ඩුව ඇතුළේ ප්‍රසිද්ධියේ නොකියවුණද පසුගිය සතියේ මේ ආර්ථික අර්බුදයේ තරම පළමුවරට එළියට ආවේය. ඒ, ඉකුත් සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. අමාත්‍යවරුන් කිහිප දෙනකුම කොරෝනා වැලඳී සිටීම සහ නිරෝධායනය වීම හේතු කොටගෙන මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේද සූම් තාක්ෂණය ඔස්සේය. කොරෝනා ආසාදිත වීම හේතුවෙන් බන්දුල ගුණවර්ධන හා නිරෝධායනය වීම හේතුවෙන් ඩලස් අලප්පෙරුම යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වී සිටියේ නැත.
බැසිල් කැපිල්ල අරඹයි
එහිදී පවත්නා ආර්ථික අර්බුදයේ තරම කැබිනට් මණ්ඩලයට පැහැදිලි කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය. පළමුවෙන්ම අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට පෙන්වා දුන්නේ මුල්‍ය අර්බුදය හේතුවෙන් රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට සිදුව ඇති බවකි.
“කොරෝනා වසංගතය හින්දා අපේක්ෂිත ආදායම බරපතළ කඩාවැටීමකට මුහුණදීලයි තියෙන්නේ. ඒ හින්දා මේ අවුරුද්දේ පුනරාවර්තන වියදම් පවා පියවා ගන්න බැරි තත්ත්වයකට ඇවිත් තියෙන්නේ. අපි මේ අවුරුද්දේ පුනරාවර්තන වියදම් විදියට කෝටි 269,300ක් වෙන් කළා. හැබැයි එන්නත් ගෙන්වීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට කරපු වියදම්, සහනාධාර දීම් ඇතුළු කටයුතු නිසා පුනරාවර්තන වියදම් තවත් වැඩිවෙන්න පුළුවන්. මේ හින්දා අපිට ආණ්ඩුවේ වියදම් දැඩි ලෙස සීමා කරන්න සිද්ධ වේවි. දැනට ප්‍රතිපාදන වෙන් කරලා තිබුණත් ආරම්භ කරලා නැති කිසිම ව්‍යාපෘතියක් ආරම්භ කරන්න එපා. එහෙම ආරම්භ නොකරපු ව්‍යාපෘති, මිලදී ගැනීම්, ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් ආදිය සියල්ල අත්හිටුවන්න කියලා මම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දුන්නා…” යැයි කී බැසිල්, ආණ්ඩුවේ සියලු බඳවාගැනීම් සඳහාද සීමා පැනවීමට සිදුවන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය.
බදවාගැනීම් සියල්ල නවත්වයි
“සේවක බඳවාගැනීම්වලට මූලික කටයුතු සිදුකරලා මෙතෙක් පත්වීම් ලිපි නිකුත් නොකළ තනතුරු සඳහා බඳවාගැනීම් සියල්ල නවත්තන්න කියලා මම උපදෙස් දුන්නා. ඒ වගේම සුබසාධන කටයුතුත් අත්‍යාවශ්‍ය පුද්ගලයන්ටම විතරක් සීමා කරන්න අපට සිද්ධ වෙනවා…” යනුවෙන් බැසිල් සඳන් කර සිටියේය.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය මගින් මේ වන විට තවත් නිර්දේශ කිහිපයක්ම අමාත්‍යාංශ නිලධාරීන් වෙත ලබාදී ඇති බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ අතර අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය මත ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් යනාදිය නැවත සමාලෝචනය කර සේවයේ සත්‍ය වශයෙන්ම නිරත වන නිලධාරීන්ට පමණක් ගෙවීමටද මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර ඇත.
එමෙන්ම තම ආයතනවල චක්‍රීය ක්‍රමයකට කැඳවීමේදී ඔවුන්ට පැමිණීමට අදාළව ගෙවනු ලබන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමා වන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එමෙන්ම වියදම් සීමා කිරීමෙන් ඉතිරි කරගත හැකි අරමුදල් ප්‍රමාණය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙසද මුදල් අමාත්‍යාංශය සියලු ලේකම්වරුන්ට දැනුම්දීමක් කර තිබේ.
දිනේෂ්ගෙන් කැබ්නට්ටුවට ලියුමක්
කෙසේවෙතත් බැසිල්ගේ මෙම දැනුම්දීමෙන් පසු කැබිනට් රැස්වීමේ අවධානය යොමු වූයේ ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය පිළිබඳවය. එහිදී විමල් ඇතුළු ගුරු ප්‍රශ්නය විසඳීම සඳහා පත්කර තිබූ කැබිනට් අනුකාරක කමිටුවේ සිටින ඇමැතිවරුන් වූ ඩලස්, ප්‍රසන්න සිය විසඳුම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.
මෙහිදී නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විශේෂ ලිපියක් කැබිනට් මණ්ඩලය වෙත යොමුකර තිබුණි. ඒ, ගුරු වැටුප් විෂමතා ගැටලුව විසඳීමට පත්කර තිබූ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ගැන තම ස්ථාවරය පැහැදිලි කරමිනි. අමාත්‍ය මණ්ඩලයේදී මේ විෂය කතා කිරීමේදී දිනේෂ් කියා සිටියේ, “මේ අනු කමිටු වාර්තාව පිළිගෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කළ යුතුයි” යනුවෙනි.
“ඊට අදාළ මුදල් ප්‍රතිපාදන ලබාගන්න මුදල් අමාත්‍යංශයේ එකඟතාව ගැනීමත් අවශ්‍යයි…” ඇමැති දිනේෂ් සිය ලිපියේ කරුණු පැහැදිලි කරද්දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එවා තිබු ලිපියකුත් අමාත්‍ය මණ්ඩලයට ලැබී තිබිණ. ඒ අනුව මුදල් වෙන් කරන්න මුදල් ඇමතිවරයා එකඟ වී තිබිණි. ඒ ගැන ඔහු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීත් ප්‍රකාශ කළේය. ඒ වගේම අයවැයේදී විසඳුම ලබාදෙන තුරු සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාසවලදී රු. 5000/= බැගින් ගුරු විදුහල්පතිවරුන්ට ගෙවීමටත් මුදල් අමත්‍යවරයා කළ විශේෂ යෝජනාවත් අමාත්‍ය මණ්ඩලය විශේෂ ඇගයීමකට ලක් කළේය.
එමෙන්ම “මීළඟ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශ ස්ථිරව ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර පළමු පියවර ක්‍රියාත්මක කළ යුතුයි…” යනුවෙන් ඇමති දිනේෂ් කියද්දී අනු කමිටුවේ අනෙක් නිර්දේශ ගැන කුමක් කරන්නේද යන්න අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු විය. “අමාත්‍යංශයෙන් විශේෂ කමිටුවක් පත් කරලා හය මාසයක් තුළ ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන්…” දිනේෂ් පිළිතුරු දුන්නේය.
එහෙත් සංවෘත සේවාවක් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාව කැබිනට් මණ්ඩලයේදී ටික වෙලාවක් පැවතිණි. ඊට හේතු වී තිබුණේ ඒ වනවිටත් මේ ගැන ආරංචි වී තිබූ ගුරු සංගම් අතරද සංවෘත සේවය ගැන මතුව ඇති වී ඇති මතභේද අමාත්‍යවරුන් වෙතද දැනගන්නට ලැබී තිබුණ බැවිනි. මීට අමතරව විවිධ තර්ක විවාද මතුවූයේ වර්ජනය කරන ගුරු සංගම් මෙම අනු කමිටු නිර්දේශ පිළිගනීද යන්නයි. “දීර්ඝ කාලයක් නොවිසඳී තිබු ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීම වගේම, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන සිතා, දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතා, ගුරු පරම්පරාව මෙය පිළිගනීවි…” යන්න දිනේෂ්ගේ විශ්වාසය විය.
ජනපති හදිසිය ගැන කැබිනට්ටුවට ඉගියක් දෙයි
ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූයේ මේ දිනවල මතුව පවතින සහල් සහ සීනි හිඟය පිළිබවත්, ඒවායේ මිල ගණන් අසීමිතව ඉහළ යෑම පිළිබඳවත්ය. මෙහිදී ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටිමින් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වනු දැකගත හැකිවීම විශේෂ සිදුවීමක් විය.
“හාල් හංගලා. සීනි හංගලා. අපි මේවා ගේද්දි බදු සහන දුන්නේ එහෙම හංගගෙන ඉඳලා වැඩි මිලට විකුණන්න නෙවෙයි. ඒ නිසා අද හවසට මම ඒ ගැන තීන්දුවක් ගන්නවා….” යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියත්, ගැනීමට නියමිත තීන්දුව ජනාධිපතිවරයා ඒ මොහොතේ කැබිනට් මණ්ඩලයට කියා සිටියේ නැත. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහල් සහ සීනි මිල පාලනය කිරීම සඳහා හදිසි නීති රෙගුලාසි යටතේ අතශ්‍යාවශ සේවා කොමසාරිස්වරයකු යටතට ඒ සියල්ල පත් කිරීමට සැලසුම් කර ඇති බවක් ඒ වන විටත් ඇමැතිවරුන්ට කනින් කොණින් ආරංචි ලැබී තිබිණි.
සීබී දැක්ක රටට සුබ ලකුණු
මේ සියල්ල සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍ය සී.බී. රත්නායක විසින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත විශේෂ ස්තුතියක් පිරිනැමීමට කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ ලංකා ඉතිහාසයේ පළමු වතාවට පැරාලිම්පික් තරගාවලියකදී ලංකාවට රන් පදක්කමක් දිනාගැනීම සම්බන්ධයෙනි. එය රටට සුබ ලකුණක් බව කී සී.බී. තවත් සුබ ලකුණක් පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමටද කටයුතු කළේය.
“අද හෙල්ල විසිකිරීමෙන් ලංකාවට රන් පදක්කමක් දිනාගන්න හැකියාව ලැබී තිබෙනවා. මම ස්තුතිවන්ත වෙනවා නාමල් රාජපක්ෂ අමාත්‍යතුමාට. ඔබතුමාගේ මඟ පෙන්වීම යටතේ මෙවන් ජයග්‍රහණයක් රටට හිමිකර ගැනීමට හැකි වීම පිළිබඳව. ඒක රටට සුබ ලකුණක්. ඒ වගේම තවත් සුබ ලකුණක් අද දැනගන්න ලැබුණා. ඒ තමයි පින්නවල නිවුන් අලි පැටවුන් දෙදෙනකු ලැබීම. මේවා සාමාන්‍යයෙන් රටක සුබ ලකුණු විදියටයි සලකන්නේ. අපි මොනවා කළත් අවලාද නගන පිරිසක් රට ඇතුළෙ ඉන්නවා. රජ කාලෙත් මෙහෙම පිරිසක් හිටියා. ඒ නිසා අපි ඒ අයට අවලාද නගන්න ඉඩ දීලා අපේ රාජකාරි ටික කරගෙන යමු. අපි සාංඝික මිනිස්සු. අපි හරියට වැඩ කළොත් සොබාදහමත් අපිව ආරක්ෂා කරාවි…” යන්න එහිදී සී.බී. කැබිනට්ටුවට කියා සිටි කරුණ විය.
බැසිල් ගම්මන්පිල එක්ක යාලු වෙලා..
ඉන් අනතුරුව ගම්මන්පිලට ජනාධිපතිවරයාගේත්, බැසිල්ගේත් විශේෂ ස්තුතියක් හිමිවීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය. ඒ, ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්දීය තෙල් ටැංකි ලංකාවට යළි පවරා ගැනීම සඳහා ගම්මන්පිල දියත් කර ඇති මෙහෙයුම සම්බන්ධයෙනි. එහිදී ජනාධිපතිවරයා ගම්මන්පිලට වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාවට ගොස් එහි බලධාරීන් සමග මේ පිළිබඳ සාකච්ඡා කොට ලංකාවට වාසි සහගත ලෙස ගිවිසුම වෙනස් කරවාගැනීමට පියවර ගන්නා ලෙසය.
මේ ආකාරයට පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වූයේ රාත්‍රී 8.30ට පමණය.
යළි කරළියට එන පාස්කු ප්‍රහාරය
යහපාලන ආණ්ඩුව පෙරළා දැමීම සඳහා එවකදී විපක්ෂය භාවිත කළ ප්‍රධානම සටන් පාඨ දෙක වූයේ පාස්කු ප්‍රහාරයත්, බැඳුම්කර වංචාවත්ය. එකල විපක්ෂය කියා සිටියේ තමන් බලයට පත්වූ සැණින් මහ බැංකු වංචාවට සම්බන්ධ සියලු දෙනාත්, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවනුත් සොයා, ඔවුන්ගේ තරාතිරම නොබලා දඬුවම් දීමට පියවර ගන්නවා යැයි කියාය. නමුත් ජනාධිපතිවරයා බලයට පත්ව මේ වන විට වසර එකහමාරකට අධික කාලයක් ගතවී ඇතත් මහ බැංකු වංචාව සම්බන්ධයෙන් සක්‍රීය විමර්ශනයක් සිදුකෙරෙන පාටක් පෙනෙන්නේ නැත. එදා මහ බැංකු වංචාවට සම්බන්ධ බවට නම් ගම් සහිතව අනාවරණ කළ පිරිස් අදටත් කිසිදු ගැටලුවකින් තොරව දේශපාලනයේ නිරත වෙමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ.
කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එහි තත්ත්වය බැඳුම්කර සිදුවීමට වඩා තරමක් වෙනස් ආකාරයක් දැකගන්නට ඇත. මන්ද යත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය කට හොල්ලන ආකාරයක් දැකගන්නට නැතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව විශාල මෙහෙයුමක් දියත් කර තිබීම ඊට හේතුව වී තිබේ. වත්මන් ආණ්ඩුව බලයට ආ දා සිට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව දිගින් දිගටම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් රටට අනාවරණ කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කළහ. ඒ වෙනුවෙන් ඍජුව පෙනී සිටියහ. ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වූහ. මාධ්‍ය නිවේදන නිකුත් කළහ. අවසානයේ මේ කිසිවකින්වත් සාධාරණය ඉටු නොවන ආකාරයක් දැකගන්නට ලැබුණු බැවින් ජාත්‍යන්තරය ඉදිරියට යෑමට පවා කතෝලික සභාව පියවර ගත්හ.
මානව හිමිකම් මණ්ඩලයටත් යයිද?
මීට සති දෙකකට ඉහතදී අප ඒ පිළිබඳ අති විශේෂ අනාවරණයක් කරමින් රාගම තේවත්ත පල්ලියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ ආකාරයත්, ඊට කතෝලික පියතුමන්ලා සහ විශේෂ නීතිඥ කණ්ඩායමක් සහභාගි වූ ආකාරයත් රටට අනාවරණ කළෙමු. එහිදී අප වැඩිදුරටත් කියා සිටියේ මෙහිදී පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල සැකසහිත තැන් පිළිබඳ සහ තවත් විශේෂ තොරතුරු රැගත් රහස් ලිපියක් කතෝලික සභාව විසින් වතිකානයේ අති උතුම් පාප්වහන්සේ වෙත යවා ඇති බවය. එම ලිපියට ඉක්මන් ප්‍රතිචාර දක්වන බව වතිකාන වෙබ් අඩවියේ පළකර තිබූ බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
කෙසේ වෙතත් මේ වන විට අදාළ ලිපිය පිළිබඳ විමර්ශනයක් සිදුකොට වතිකානය මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරි දින කිහිපය ඇතුළත තවත් විශේෂ ලිපියක් යොමුකිරීමට නියමිත බවද අපි එහිදී පළමු වරට අනාවරණ කර සිටියෙමු. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ පිළිබඳ සොයා බැලීමට කණ්ඩායමක් පත්කිරීමට පවා බලය ඇති බවත්, එම කණ්ඩායමට අවශ්‍ය විටක ලංකාවට පැමිණ එහි විමර්ශන කටයුතු දියත් කිරීමට හැකි බවත් අපි එහිදී පෙන්වා දුන්නෙමු.
මේ තත්ත්වය වාර්තා වීමත් සමග අභිනව විදේශ ලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ ජී.එල්. පීරිස් මහතා ඉදිරියේ අභියෝග කිහිපයක්ම පෙළගැසී අති ආකාරයක් දැකගන්නට තිබේ. ඉන් පළමුවැන්න වී ඇත්තේ ලබන 13 වැනිදා ආරම්භ වීමට නියමිත ජිනීවාහිදී පැවැත්වෙන මෙම රැස්වීමේ පළමු දිනයේදීම ලංකාව සම්බන්ධ මාතෘකාව සාකච්ඡාවට ගැනෙණු ඇති බවත්, මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ මහත්මිය ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් එහිදී කෙටි දේශනයක් කිරීමට නියමිත බවත් ආරංචිය. ඊට පිළිතුරු ලබා දීමට පසු අවස්ථාවකදී ලංකාවෙන් සහභාගි වන කණ්ඩායමට ඉඩ සැලසෙනු ඇත.
ජී.එල් වැඩ පටන් ගනී
දෙවැනි අභියෝගය වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ වතිකානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසෙන වාර්තාවය. මේ වාර්තාව ඉදිරිපත් වුවහොත් එය මේ අර්බුදකාරී මොහොතේ ලංකාවට අවාසිදායක විය හැකි බැවින් පසුගිය සතියේදී ජී.එල්. මීට අදාළ පියවර කිහිපයක් ගනු ලැබීය.
ඉන් පළමුවැන්න වූයේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මුණගැසීමට අවශ්‍ය බවට දැනුම් දෙමින් කාදිනල් හිමියන්ට ලිපියක් යොමු කිරීමය. දෙවැන්න වූයේ ලංකාවේ සිටින වතිකානයේ තානාපතිවරයා වන අති උතුම් බ්‍රයන් උගයිවේ රදගුරුතුමා මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට පියවර ගැනීමය. ඒ අනුව පසුගිය බදාදා (01) දිනයේ වතිකාන තානාපතිවරයා මුණගැසුණු ජී.එල්. පාස්කු ප්‍රහාරයේ වත්මන් තත්ත්වය පිළිබඳ උන්වහන්සේට පැහැදිලි කිරීමට පියවර ගත්තේය. එමෙන්ම ආණ්ඩුවේ වෑයම කෙසේ හෝ හැකි ඉක්මනින් ප්‍රහාරයට සම්බන්ධ පාර්ශ්ව නීතිය හමුවට රැගෙන ඒම බවද ජී.එල්. එහිදී වතිකානු තානාපතිවරයාට පැහැදිලි කර දුන්නේය. මෙහිදී වතිකානු තානාපතිවරයා විමර්ශන සම්බන්ධයෙන් මෙරට කතෝලික සභාව තරමක වික්ෂිප්තභාවයකින් සිටින බව ජී.එල්.ට පෙන්වා දුන් අතර, අදාළ විමර්ශන විනිවිදභාවයකින් යුතුව සිදුවිය යුතු බවද ජී.එල්.ට දැනුම්දී ඇති බවක් ආරංචිය.
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සිදුවීමක්ද පසුගිය සතියේ දැකගන්නට ලැබිණි. ඒ, අදාළ ප්‍රහාරයේ නඩු කටයුතු ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ සභාවකට පැවරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පියවර ගැනීමය. එයද බදාදා දිනයේදීම ප්‍රකාශයට පත්වීම විශේෂ සිදුවීමක් විය.
කාදිනල් හිමි ජී.එල්.ට සැර ලියුමක් එවයි
මේ සියල්ල අතරවාරයේ ජී.එල්. පීරිස් එවා ඇති ලිපියට දැක්විය යුතු ප්‍රතිචාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අගරදගුරු නිල නිවෙසේ පැවැත්විණි. ඊට තවත් පියතුමන්ලා කිහිප දෙනකු එක්ව සිටි අතර, ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වේලාවක් සාකච්ඡා වනු දැකගත හැකි විය. එම සාකච්ඡාවේදී යෝජනා කිහිපයක් ඉදිරිපත් වුවද බොහෝ දෙනා ඉදිරිපත් කළ කාරණයක් වූයේ මේ මොහොතේ ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමෙන් පලක් නොමැති බවයි. එම නිසා සාකච්ඡා පැවැත්විය යුතු නැති බවත්, එසේ සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය නම් ආණ්ඩුව පාර්ශ්වයෙන් කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු බවත් එහි සිටි බොහෝ දෙනෙක් පෙන්වා දුන්හ. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ එම කොන්දේසි ඇතුළත් කරමින් ලිපියක් ජී.එල්. වෙත යොමු කිරීමටය.
එම ලිපියෙන් කාදිනල් හිමිපාණන් අවධාරණය කොට තිබුණේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන විශ්වසනීයත්වයෙන් යුතුව සිදුවිය යුතු බවත්, අවංක චේතනාවෙන් යුතුව විනිවිදභාවයෙන් එය සිදුවිය යුතු බවත්ය. එමෙන්ම ජනාධිපති කොමිෂන් වාර්තාව මගින් සිදුකර ඇති නිර්දේශ වහාම ක්‍රියාත්මක කළ යුතු බවද පෙන්වා දුන් කාදිනල් හිමිපාණන් එසේ කිරීමෙන් අනතුරුව සාකච්ඡා සඳහා අවස්ථාව ලබාදිය හැකි බවද සිය ලිපිය මගින් ජී.එල්.ට දැනුම් දීමට පියවර ගෙන ඇත. ඒ හරහා කාදිනල් හිමිපාණන් ඍජුවම ජී.එල්.ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය.
පාස්කු ප්‍රහාර විමර්ශනය තිදෙනකුට
කෙසේ වෙතත් මේ සියල්ල අතරවාරයේ පාස්කු වාර්තාවේ නම සඳහන්ව ඇති හිටපු බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන්ද මේ වනවිට විශේෂ පුවතක් වාර්තා වී තිබේ. ඒ, නිලන්ත ජයවර්ධන මහතා රජයේ සාක්ෂිකරුවකු බවට පත්ව සාක්ෂි ලබාදීමට සූදානමින් සිටින පුවතය. ඒ අනුව ඉදිරියේදී ආරම්භ වීමට නියමිත ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගයේදී නිලන්ත රජයේ සාක්ෂිකරුවකු බවට පත්ව සාක්ෂි ලබාදෙන ආකාරය සියල්ලන්ටම දැකබලා ගත හැකි වනු ඇත.
මෛත්‍රී අලුත් ගමනකට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන අඩව්වකට සූදානම් වන බව මීට පෙර අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමට අපි කටයුතු කළෙමු. ඒ සියලු අවස්ථාවලදී අප පෙන්වා දුන්නේ ශ්‍රීලනිපය වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම සඳහා කල්යල් බලමින් සිටින බවකි. ඒ බව අවස්ථා කිහිපයකදීම විවිධ ප්‍රකාශ හා ඉඟි හරහා ආණ්ඩුවට ලබාදීමටත් ශ්‍රීලනිපය පියවර ගෙන තිබිණි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ඒ පිළිබඳ ඉඟි පළ කොට තිබුණේ වරක් දෙවරක් නොවේ. අවස්ථා ගණනාවකදීම මෛත්‍රි මේ පිළිබඳ ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඉඟි ලබාදීමට පියවර ගත්තේය.
සූදානම විස්මිත අවසන් පරිච්ජේදයටද
ඉකුත් අගෝස්තු 07 වැනිදා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබුණු සටහනකින් කියැවුණේ ‘සමහර පරිච්ඡේද දුක්බරයි. තවත් සමහරක් පරිච්ඡේද ත්‍රාසජනකයි. අභියෝගාත්මක පරිච්ඡේද නැතුවාම නොවේ. පරිණත ලේඛකයකුගේ අවසාන පරිච්ඡේදය විස්මිතය.’ යැයි කියාය.
මේ හරහා මෛත්‍රි ඉඟිකොට තිබුණේ තමන්ද විස්මිත අවසන් පරිච්ඡේදයකට සූදානමින් සිටින බව එය දුටු බොහෝ දෙනාගේ නිගමනය විය.
කෙසේ වෙතත් ශ්‍රීලනිපය වත්මන් ආණ්ඩුව පිහිටුවූදා සිටම ආණ්ඩුව ඇතුළේ සිරියේ එතරම් ප්‍රසාදයකින් නොවේ. ආරම්භයේ සිටම ඔවුන්ට ආණ්ඩුව සමග කිසියම් මතගැටුමක් තිබිණි. ආණ්ඩුව ගිවිසුම්ගත වූ පරිදි කටයුතු නොකිරීම ඊට ප්‍රධාන හේතුව විය. විශේෂයෙන්ම අමාත්‍ය ධුර ලබාදීමේදී ශ්‍රීලනිපයට පොරොන්දු වූ අමාත්‍ය ධුර ලබා නොදීමත්, මෛත්‍රිපාලට කිසිදු අමාත්‍ය ධුරයක් යෝජනා නොකිරීමත් මේ ගැටුමට මූලිකවම හේතුවී තිබිණි. පසුගිය කාලය පුරාම ශ්‍රීලනිපය මෙම කලකිරීම ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම්දී තිබුණත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඊට නිසි ප්‍රතිචාර ලැබෙන ආකාරයක් දැකගන්නට තිබුණේද නැත.
සූම් සාකච්ජාවේදී ධම්මගෙන් යෝජනාවක්
මේ නිසාම පසුගිය කාලය පුරාම ශ්‍රීලනිපය ඇතුළේ පැවැති අභ්‍යන්තර සාකච්ඡාවලදී පක්ෂයේ ප්‍රධානීන් මෙන්ම ගම් මට්ටමේ නායකයන්ද පක්ෂ නායකත්වයට දැනුම්දී තිබුණේ වහාම විකල්ප ක්‍රියාමාර්ගයන්ට යොමුවිය යුතු යැයි කියාය. එය අවසන් වරට පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාවේදීද පැහැදිලිව දැකගන්නට ලැබිණි.
කොරෝනා වසංගතය හේතුවෙන් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වුණේ සූම් තාක්ෂණය ඔස්සේය. ඊට පක්ෂ නායකයා වශයෙන් මෛත්‍රිපාලද, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනාද, තවත් මධ්‍යම කාරක සභිකයන් රැසක්ද එක්ව සිටින ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කෙරුණේ තනි පක්ෂයක් වශයෙන් කටයුතු නොකොට ආණ්ඩුව ඇතුළේ සිටින අනෙකුත් පක්ෂ සමග ශ්‍රීලනිපය එකමුතුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවය. විශේෂයෙන් විමල් ඇතුළු කණ්ඩායම ආණ්ඩුව ඇතුළේ කැරැලිකාරයන්ගේ භූමිකාව නිරූපණය කරද්දී ශ්‍රීලනිපය පසෙකට වී සිටිය යුතු නැති බව මෙහිදී පෙන්වා දුන්නේ ආචාර්ය ධම්ම දිසානායකය. ධම්ම එහිදී පිරිසට පෙන්වා දුන්නේ ශ්‍රීලනිපය අනෙක් පක්ෂ සමග එකතුව වැඩ කළ යුතු යැයි කියාය.
විමල්ලගේ පස්සෙන් යන්න බෑ
“ශ්‍රීලනිපය ආණ්ඩුව ඇතුළෙ ඉන්න අනෙක් පක්ෂත් එක්ක දැන් එකතු වෙලා වැඩ කරන්න ඕනෙ. දැන් ආණ්ඩුව රට ලොක්ඩවුන් කරන්න ඕනෙ කියලා විමල්ලා ඇතුළු පක්ෂ 10ක් ආණ්ඩුවට ලියුමක් යවලා තිබුණා. ඒකට අපි අස්සන් කරල තිබුණෙ නෑ. අපි නිකම් ආණ්ඩුව ඇතුළෙ තනිවෙලා වගේ ඉන්නේ. ඒ විදියට නැතිව අපි ආණ්ඩුවේ දේවල්වලට සක්‍රීයව මැදිහත් වෙන්න ඕනෙ…” යනුවෙන් ධම්ම මධ්‍යම කාරක සභාවට පෙන්වා දෙද්දී ඊට පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකරය. දයාසිරි කියා සිටියේ තමන්ද එම සාකච්ඡාවලට සහභාගි වුවත් පක්ෂය පැත්තෙන් ආ ගැටලු හේතුවෙන් තමන් ඊට අස්සන් නොතැබූ බවකි.
දයාසිරි වෙච්ච දේ කියයි
“මමත් ඒ සාකච්ඡාවලට ගියා. හැබැයි මට අපේ පක්ෂය පැත්තෙන් ඒ සාකච්ඡාවලදි ප්‍රශ්න ගණනාවක්ම ආවා. ඒ නිසා පක්ෂයක් විදියට තීන්දුවක් අරගෙන මට යන්න කියනවා නම් මම ඒ සාකච්ඡාවලට සහභාගි වෙන්නම්…” යනුවෙන් දයාසිරි කියද්දී තවත් එක් සාමාජිකයෙක් කියා සිටියේ එවිට ශ්‍රීලනිපය විමල්ලා පසුපස යන පක්ෂයක් මට්ටමට වැටී ඇති බව රටට පෙනීම නොවැළැක්විය හැකි යැයි කියාය.
“ඒ විදියට විමල්ලා කැඳවන රැස්වීම්වලට යන්න ගියොත් අපේ පක්ෂය විමල්ලගේ පස්සෙන් යන පක්ෂයක් ගානට වැටෙනවා. මේ වෙලාවෙ අපි එහෙම නෙවෙයි කරන්න ඕනෙ. අපි ශ්‍රීලනිපය මූලික වෙලා සන්ධානයක් හදන්න පියවර ගන්න ඕනෙ…” යනුවෙන් එම මධ්‍යම කාරක සභා සාමාජිකයා කියද්දී ඊට සුදුසු යෝජනාව ඉදිරිපත් කළේ අමාත්‍ය මහින්ද අමරවීරය. අමරවීර කියා සිටියේ එසේ නම් මේ වන විට අක්‍රීයව පවතින එක්සත් ජනතා නිදහස් සන්ධානය යම් සකීය කිරීම සුදුසුම ක්‍රියාමාර්ගය යැයි කියාය.
බුලත් කොළය යළි එළියට
“ඉතින් අපි අලුත් සන්ධාන හදනවට වඩා අපේ පක්ෂයේ ප්‍රධානත්වයෙන් තියෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉස්සරහට ගමුකො. අලුත් සන්ධාන හදනවට වඩා ඒක හොඳයිනෙ. මොකද දැනට ආණ්ඩුවෙ ඉන්න ඔක්කොම පක්ෂ පහුගිය කාලෙ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතෙ වැඩ කරලා තියෙනවා…” යනුවෙන් අමරවීර කියද්දී සියලු දෙනාගේම එකඟතාව ඊට හිමි විය.
ඒ අනුව ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ වගකීම පැවරුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කරන මහින්ද අමරවීරටය.
මීට අමතරව පක්ෂයේ 70 වැනි සංවත්සරය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටත්, ඊට සමගාමීව දිවයින පුරා ලේ දන්දීමේ වැඩසටහන් සංවිධාන කිරීමටත් එහිදී තීන්දු විය.
සජිත් කියපු කතාව ඇමැති පිළිගනී – බෙහෙත ගේන්නත් අවසර
කොරෝනා ආසාදිතව කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට පත්වන රෝගීන්ට ලබාදෙන ඖෂධය හිඟවීම ගැන සජිත් පසුගිය දිනවලදී අවධානය යොමු කළේය. ඒ අතර කිසිදු රෝහලක එම ඖෂධය නොමැති වන විට සජිත්ගේ හිතවතුන් පමණක් නොව ඔහු නොදන්නා අය පවා ඔහුට කතාකරමින් එම ඖෂධය ලබාගත හැකි තැනක් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරන්න විය.
තමන්ට එන ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළ සජිත් පුද්ගලික රෝහල්වලට සම්බන්ධ තමුන්ගේ හිතවතුන් හරහා එම ඖෂධය සොයා දීමට කටයුතු කළේය. එතැනින් නොනැවතී පාර්ලිමේන්තුවේදීද ඖෂධ හිඟය ගැන අවධානය යොමු කරන්න විය.’
ඒ අතරම වෙනත් රටවල කොවිඩ් රෝගීන්ට ලබාදෙන ඖෂධ ගැනත් ඔහු අවධානයෙන් සිටියේය. ඇමරිකාවේ සිටින සිය හිතවත් වෛද්‍යවරුන්ට කතා කර ඔහු ඒ ගැන විමසා සිටියේය.
කොරෝනා ආසාදිතයන්’ සඳහා ජීවිතාරක්ෂක ඖෂධයක් ලෙස’ ලබාදෙන ‘රීජන් කොව්’ නම් ඖෂධය ගැන සජිත් කීවේ ඒ අනුවය. අදාළ ඖෂධයට ඇමෙරිකාවේ සහ එක්සත් රාජධානිය අනුමැතිය පවා හිමිව තිබුණි. මෙරට සෞඛ්‍ය විශේෂඥයන් පවා ඒ පිළිබඳ පවසා සිටියේ වහාම එම ඖෂධය ගැන සොයා බලන ලෙසය.
එහෙත් සජිත් කී දේ හරි බව පිළිගැනීමට ආණ්ඩුව මුලදී අදිමදි කළේය. කෙසේ හෝ පසුව එය පිළිගැනීමට ආණ්ඩුවට සිදුවිය.
මුලදී එම ඖෂධය ගෙන්වීමට ඖෂධ නියාමන අධිකාරිය අවසර නොදුන්නත් පසුව එයට අවසර දුන්නේය. ඒ ගැන සජිත් මන්ත‍්‍රීවරු සමග කතා කරමින් කීවේ ආණ්ඩුව ජනතාවගේ ජීවිත ගැන සිතනවා නම්, දෙයක් කියන්නේ කවුරුන්ද යන්න නොසිතා කුමක්ද කියන්නේ යන්න ගැන සිතා කටයුතු කළ යුතු බවය.
‘විපක්ෂයෙන් හුස්මක්’ කෝටි හත පනී
කොරෝනා ව්‍යාප්තියත් සමග ටික දිනකට නතර කර තිබූ ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහන පසුගිය සතියේදී යළිත් ආරම්භ කළේය. ඒ රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදෙමින්ය.
මේ වන විට එම වැඩසටහන හරහා රෝහල්වලට ලබාදී ඇති වෛද්‍ය උපකරණවල වටිනාකම රුපියල් කෝටි හත ඉක්මවා ගොස් තිබේ.
“සමගි ජන බලවේගය කියන්නේ සාම්ප‍්‍රදායික විපක්ෂයක් නෙමෙයි. ජනතාව ජීවත් කරවීම සදහා ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා…” සජිත් කීවේ පසුගිය සතියේදී රෝහල්වලට වෛද්‍ය උපකරණ බෙදාදෙන අතරවාරයේදීය.










