පාන්දර පිනි මල් පිපෙනා ජාමයේ ඉස්කෝලෙ යන ගුරුවරු හැන්දෑ කළුවරේ ගේ දොරවලට පැමිණෙනා තැන් ඕනෑ හැටියේ තියෙනවා. ඉරේ ගින්නෙ පිච්චි පිච්චි පන්ති කාමරවල උගුර ලේ රහ වෙනකල් කෑගහන ගුරුවරු ඉන්නවා.
“උදේ වරුවෙ විතර නෙ…!!!”
හුඟ දෙනෙක් කියන්නෙ ඒක. ඇත්තටම ගුරුවරයෙක්ගෙ වැඩකරන කාලය පැය හයයි. ඒ කියන්නෙ හතයි තිහේ ඉඳලා හවස එකයි තිහ වෙනකල්. හැබැයි කාටවත් තේරෙන්නෙ නෑ, මේ මිනිස්සු පැය හයක් වැඩ කරනවා. සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක්ට වඩා මේ වැඩකරන කාලය අඩුවෙලා තියෙන්නෙ පැය දෙකයි. ගුරුවරු ඉස්කෝලෙ අන්තිම බෙල් එකෙන් පස්සෙ ගෙදර දුවන්නෙ ඉස්කෝලෙත් කරේ තියාගෙන. රාත්‍රිය පහන් වෙනකල් ඉස්කෝලෙ වැඩ කරන ගුරුවරු ඉන්නවා. ඒත් ඒ ඕටී එකකට නෙමේ. අදත් ඉස්කෝලෙ විවිධ තරගවලට ළමයි ටික සූම් එකෙන් හරි දාගන්න දඟලන හුඟාක් ගුරුවරු ගැන අපි දන්නවා.
අන්න ඒ මිනිසුන් තමන්ට හම්බ වෙන වැටුප ගැන අපි හොයන්න හිතුවා. මේ ඒ ලිවීම, පහළ තියෙන්නෙ ලංකාවෙ දැනට ක්‍රියාත්ම මූලික වැටුප් පිළිබඳ අප ලබාගත් උපුටනයක්. ඒ සැකසුම විරාජ් එම්. නානායක්කාරගේ යැයි අපි විශ්වාස කරනවා.
රජය විසින් ගෙන ආ අවසාන වැටුප් චක්‍රලේඛය වන රා.ප.ච 3/2016 අනුව රාජ්‍ය සේවයේ පහළම තනතුර වන ප්‍රාථමික ශ්‍රේණියේ ශිල්පීය නොවන කම්කරුවකුට හිමි PL 01 වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප රුපියල් 24,250/=ක්. වැටුප් වර්ධක ඇත්තේ රුපියල් 250/= × 10, 270/=×10, 300/= ×10 හා 330/= × 12 වශයෙන්.
වසර 40ක සේවයකින් පසු උපයාගත හැකි උපරිම වැටුප රුපියල් 36420/=ක්.
ද්විතීයික ශ්‍රේණියේ තනතුරක් වන කළමනාකරණ සේවා නිලධාරී ශ්‍රේණියේ MN 02 වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප රුපියල් 27140/= ක්. වැටුප් වර්ධක ඇත්තේ රුපියල් 300/= × 10,350/= × 11,495/= × 10 හා 660/= × 10 වශයෙන්. එම වැටුප් වර්ධක උපයාගැනීමට ඔවුන් 2 ශ්‍රේණිය, 1 ශ්‍රේණිය යන විභාග මෙන්ම අනුරූපව කාර්යක්ෂමතා කඩඉම් විභාග සමත්විය යුතුයි. ඒ අනුව වසර 40ක උපරිම සේවා කාලයකින් පසු උපයාගත හැකි උපරිම වැටුප රුපියල් 45,540/= ක්.
ආශ්‍රිත නිලධාරීන් ගණයට ගැණෙන උපාධිධාරීන් ඍජුවම බඳවාගන්නා සංවර්ධන නිලධාරී සේවයේ MN 04 වැටුප් පරිමාණය අනුව ඔවුන්ගේ මූලික ආරම්භක වැටුප රුපියල් 31490/=ක්. රුපියල් 445/= × 10, 660/= × 11,730/= × 10,750/= × 5 යනාදී ලෙසින් වාර්ෂික වැටුප් වර්ධක උපයා ගනිමින් අවශ්‍ය කාර්යක්ෂමතා කඩඉම් සමත් වෙමින්, III, II හා 1 ශ්‍රේණිවලට පැමිණෙමින් වසර 35ක උපරිම සේවා කාලයක් තුළ, ඔවුන්ට රුපියල් 54,250/=ක මූලික වැටුපක් දක්වා පැමිණීමට හැකියි.
ක්ෂේත්‍රගත නිලධාරීන් ලෙස සැලකෙන කම්කරු නිලධාරී, සමාජ සේවා නිලධාරී වැනි උපාධි සුදුසුකම් සහිතව තරග විභාගයක සමතුන් අතරින් බඳවාගන්නා MN 05 වැටුප් හිමි නිලධාරීන්ගේ ආරම්භක වැටුප රුපියල් 34,605/=ක්. රුපියල් 660/= × 10,755/= × 11 හා 930/= × 15 ලෙස වාර්ෂික වැටුප් වර්ධක ලබාගනිමින්, කාර්යක්ෂමතා කඩඉම් සමත්වෙමින් දෙවැනි හා පළමුවැනි ශ්‍රේණිවලට උසස් වන ඔවුන්ට වර්තමාන වැටුප් ව්‍යුහය අනුව වසර 36ක සේවා කාලයකින් පසු රුපියල් 64,460/=ක උපරිම මූලික වැටුපක් ලබාගැනීමට හැකියි.
ඒ වගේම අතුරු වෛද්‍ය සේවාවන් ලෙස ගන්නා වෛද්‍ය රසායනාගාර කාර්මික නිලධාරීන්, විකිරණවේදීන්, භෞත චිකිත්සකවරුන් වැනි නිලධාරීන් හට හිමි MT 05 වැටුප් පරිමාණය අනුව රුපියල් 31735/=ක මූලික වැටුපක්, රුපියල් 445/= × 10, 660/= × 11, 730/= × 10 හා 750/= × 10 ලෙස වාර්ෂික වැටුප් වර්ධක උපයා ගනිමින්, වසර 40ක සේවා කාලයකින් පසු රුපියල් 58,146/=ක උපරිම වැටුපක්ලබාගැනීමට හැකියි .
ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 ශ්‍රේණියේ GE 1 වැටුප් පරිමාණය අනුව ආරම්භක වැටුප රුපියල් 27,740/=ක් වන අතර, වැටුප් වර්ධක අගයයන් රුපියල් . 300/= × 6, 380/= × 7 හා 445/= × 2 ලෙස වෙනවා . ඔවුන් ගුරු සේවයේ 2 පන්තියට නොගියේ නම්, වසර 23 ක සේවයෙන් පසු3- 1A ශ්‍රේණියේ උපරිම වැටුප රුපියල් 36,205/= වුණත්, ඔවුන් ගුරු සේවයේ 2 ශ්‍රේණියට අන්තර්ග්‍රහණය වීමෙන් පසු, 2-ii ශ්‍රේණියේ GE 2 වැටුප් පරිමාණය අනුව, ආරම්භක වැටුප රුපියල් 33,300/= ලෙසත්, වැටුප් වර්ධක අගයයන් රුපියල් 495/= × 5, 680/= × 5,825/= × 7 හා 2,335/= × 20 ලෙස වසර 38ක සේවයකින් පසු උපරිම වැටුප රුපියල් 71,650/=ක් ලබාගත හැකියි.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ GE 4 වැටුප් පරිමාණය අනුව ආරම්භක වැටුප වන විදුහල්පති 111 ආරම්භක වැටුප රුපියල් 35,280/=, විදුහල්පති 2 ශ්‍රේණියේ ආරම්භක වැටුප රුපියල් 40,040/= ලෙස හා විදුහල්පති 1 ශ්‍රේණියට ගිය පසු මුල්ම වැටුප රුපියල් 46,325/= ලෙස පවතිනවා . වැටුප් වර්ධක අගයයන් රුපියල් 680/= × 7, 825/= × 6, 1,335/= × 11 හා 1,659/= × 14 ලෙස පවත්නා අතර, විදුහල්පති සේවයේ වසර 38ක සේවා කාලයකින් පසු උපරිම වැටුප් පියවර වන්නේ රුපියල් 82,775/=ක්.
ශ්‍රී ලංකා පරිපාලන සේවය, ගණකාධිකාරි සේවය, ඉන්ජිනේරු සේවය යනාදිය හා සමගාමී විධායක ගණයේ සේවාවක් වන අධ්‍යාපන පරිපාලන සේවයේ වැටුප් පරිමාණය වන SL 01 වැටුප් පරිමාණය අනුව ආරම්භක වැටුප රුපියල් 47,615/=ක් වන අතර, එහි වැටුප් වර්ධක අගයයන් රුපියල් 1,335/= × 10, 1630/= × 8 හා 2170/= × 17සේ දැක්විය හැකියි. වසර 36ක උපරිම සේවා කාලයකින් අනතුරුව ඔවුන්ගේ උපරිම වැටුප රුපියල් 110,895/= පමණ වෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්හට SL 02 වැටුප් පරිමාණය හිමි අතර, රුපියල් 52,955/ ක ආරම්භක මූලික වැටුපක් හා රුපියල් 1,345/= × 3,1345/= × 7,1630/= × 2 හා 2,170/= × 16 යනාදී ලෙසින් වැටුප් වර්ධක උපයාගනිමින්, කාර්යක්ෂමතා කඩඉම් සමත් වෙමින්, Priliminary, MO-2 yd හා MO-1 ලෙස උසස් වෙමින්, වසර 29ක සේවා කාලයකින් ඔවුන්ට රුපියල් 204,355/=ක උපරිම මූලික වැටුපක් ලබාගැනීමට හැකියි.”
මේ ආකාරයෙන් මූලික වැටුප් ගැන සඳහනක් තිබුණත් එහි යම් ගැටලුවක් තියෙනවා. ඒ තමයි අතිකාල ගෙවීම්.
“ගුරුවරු වගේ නෙමේ නෙ, එයාලා ගොඩක් වෙලා වැඩනෙ…” කියන බොහෝ අයට අමතක වෙන්නෙ මේ කාරණාව. සාමාන්‍යයෙන් දොස්තර කෙනෙක් අතිකාල පැය එකසිය හැටක් හෝ එකසිය අසූවක් වැඩකරනවා. හැබැයි ඔවුන් අතරින් සීමාවාසික දොස්තර කෙනෙක්ට නිවාඩුවක් ලැබෙන්නෙ ඉතා කලාතුරකින්. ඒ නිසා ඔවුන්ට අපට චෝදනා කරන්න බෑ. ඒ මිනිස්සු විශාල වැටුපක් ලබන්නෙ විශාල වෙහෙසක් වෙලා. ඒත් ගුරුවරු බොහෝ විට තමන්ගෙ සේවයට කිසිම අමතර ගෙවීමක් නොලබන අය. අපි ඒ කාරණාව කිසිසේත්ම අමතක නොකළ යුතුයි.
අපි මේ සමග අමුණන්නෙ ලෝකයෙ රටවල ගුරුවරු සඳහා වැටුප් ලබාදෙන ආකාරය, පිළිබඳ පළවූ ෆේස්බුක් පෝස්ටුවක වූ සඳහනක්.
චෙක් ජනරජය රු. 360,000
ප්‍රංශය රු. 670,000
පින්ලන්තය රු. 710,000
ඔස්ටේ්‍රලියාව රු. 900,000
දකුණු කොරියාව රු. 940,000
ඇමෙරිකාව රු. 950,000
ජර්මනිය. රු. 1230,000
ලක්ෂම්බර්ග් රු. 1760,000
හැබැයි ශ්‍රී ලංකාවෙ…?
ඒකට උත්තරය ඔබම හොයාගන්න. මේ ලිපියත් එක්ක ගුරු විදුහල්පති පේ ෂීට් කීපයක් පළකරන්න හිතුවා. ඒ ඔබට බලාගන්න. අපි මේ ලිපිය හරහා කිසිවෙක්ට කරන ගෙවීම් වැඩියි කියන්නෙ නෑ. ඒත් ගුරුවරුන්ගෙ වැටුප් සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න. මේ වැටුප් ගැටුම සන්සිඳේවිද නැද්ද කියන එක අපි දන්නෙ නෑ. ඒත් ඒ ගැන නොහිතා මේ ගැන බලන්නකො නිකමට…!!!











