නෝනාවරුනි, මහත්වරුනි,
මේ වතාවෙ කියන්නෙ ඔබටය. හුදී මහජනතාවටය. ඒ වෙන කියන්නවත්, අහන්නවත් කිසිවෙක් නැතැයි ලියුම්කරු හිතන නිසාය. නමුත් මා මේ කතාව ඔබට කිව යුතුමය. එසේ නොකියා හිඳීමෙන් මගේ හදවතට විශාල බරක් උසුලාගෙන ඉන්නට සිදුවනු ඇත. මේ අතිශය භයානක දින කිහිපයකි. කොවිඩ් මාරයා ඔබද මමද වටකොට අවසන්ය. කොයි වෙලේ කවුරු මියයාදැයි අපි නොදනිමු. මරණය කලබලයේ පැමිණ කිසිවකු රැගෙන ගිය බව පමණක් හදිසියේම දැනගන්නට ලැබේ. එවන් හැන්දෑවක හුදෙකලා වූ නිවෙසක තමන්ගේ හතර පස් දෙනා සමග කූඩු වී සිටියා නම් මේ කතාව මේ තරම් භයානක ලෙස නොදැනෙනු ඇත. නමුත් ඔබ ඉන්නේ එක්කෝ බස් එකේය. නැතිනම් කෝච්චියේය. තෙරපෙමින්, සිරවෙමින්, මාස්ක් සකසමින් දැන් ඔබ රැකියාවට යා යුතුය. ඔබ කොයි තරම් ඔබේ දරුවන්ටත් මවුපියන්ටත්, ඔබේ පවුලටත් අවැසි මුත්, ශ්‍රී ලංකා රජය ඔබට රැකියාවට එන්නැයි නියම කර අවසන්ය. දිනකට දෙවරක් ඔබ ජීවිතය පරදුවට තබා රැකියාවට පැමිණිය යුතුය. ඔබ සේම මමද මේ අසිරිමත් දේශය තුළ අසරණය. ඔබ රැකියාවට පැමිණීම අනිවාර්ය කළ පණිවුඩය මගේ ජංගම දුරකතනයට එද්දීම තවත් පණිවුඩයක් ආවේය. ඒ කොළඹ ජාතික රෝහල සම්පූර්ණයෙන්ම රෝගීන්ගෙන් පිරීගොස් ඇති බවට වූ පණිවුඩයයි. එකකින් කියන්නේ සියල්ලෝම රැකියාවට පැමිණිය යුතු බවකි. අනෙක රෝහල් පිරීගිය කතාවකි. විය යුතුව තිබුණේ රෝහල් හිස් වූ පසු රැකියා ස්ථාන විවෘත වීමය. ජනතාව පොදු ප්‍රවාහන සේවා වෙතට පැමිණීමය. නමුත් සෞඛ්‍ය අංශ සියලු මට්ටම්වල සිට රට අතිශය අවදානම් මට්ටමකට ඇතැයි කියන මොහොතක, බස් රථවල යන එන ඔබ දුක්විය යුත්තේ කොවිඩ් සමග යන මෙවන් රටක ඉපදෙන්නට සිදුවීම ගැනය.
දොස්තර මහත්තයෙක් පහුගිය දිනෙක අපූරු කතාවක් කීවේය. ඒ බස්වල කෝච්චිවල තෙරපෙමින් ගොස් අපට චෝදනා නොකරන ලෙසය. කිසිවෙක් බස්වල කෝච්චිවල තෙරපෙමින් යන්නේ විනෝදයට නොවන වග ඒ දොස්තර මහත්තයාට කවුරුන් හෝ තේරුම් බේරුම් කර දිය යුතුය. යාන්තම් කොරිඩෝවල නිදියමින් පැදුරු කෑල්ලකට වී දුක් විඳින කොවිඩ් රෝගීන්ද පෙනෙනු ඇත්තේ ඔබට වද දෙන්නට පැමිණියා වාගේය. මිනිසුන්ගේ දුක නොදන්නා නිලධාරීන් ඉහළ තනතුරුවලට යෑම අපේ අවාසනාවයි. මේ කතාවල අගදී දැනෙන්නේ එහෙමය. ඒ නිසාම ඔබට අප මේ මොහොතේ අනාරක්ෂිත බව නැවත මතක් කරදිය යුතුය. මේ ලිපිය ලියනා මොහොත වන විට රත්නපුර රෝහල රතු නිවේදන නිකුත් කර අවසන්ය. ඒ තවදුරටත් රෝගීන් ඇතුළත් කරගත නොහැකි තත්ත්වයකට පැමිණීමත් සමගය. සමහර විට ඔබ මේ ලිපිය කියවන මොහොත වන විට තත්ත්වය වෙනස්ව තිබිය හැකිය. නමුත් මේ ලියන මොහොත වෙද්දී රත්නපුර රෝහලේ අසාධ්‍ය රෝගීන්ට හැර වෙනත් කිසිවකුට ඉඩ ලබාදිය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී අවසන්ය.
ඒත් සමගම ඊළඟට මෙවැනිම ආරංචියක් ආවේ කරාපිටිය ශික්ෂණ රෝහල පැත්තෙන්ය. ඒ රත්නපුර රෝහලේ ඇතිවූ තත්ත්වයටම සමාන තත්ත්වයක් ගැනය. මේ ලියන මොහොත වන විට කරාපිටිය රෝහලද රතු නිවේදන නිකුත් කර අවසන්ය. කරාපිටිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තවදුරටත් අසාධ්‍ය රෝගීන් නොවන රෝගීන් වෙනුවෙන් සිය රෝහලේ පහසුකම් සැපයීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවය.
එසේම කොළඹ ජාතික රෝහලේ තත්ත්වයද එන්න එන්නම නරක අතට හැරෙනා බව නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි. එහි ‘කොවිඩ්’ ප්‍රතිකාර සඳහා වෙන්කර ඇති කොටස් සම්පූර්ණයෙන්ම රෝගීන්ගෙන් පිරීගොස් අවසන්වී ඇති අතර සාමාන්‍ය වාට්ටුවලින් කොටසක් ‘කොවිඩ්’ රෝගීන්ට ලබාදෙන තත්ත්වයට පත්ව තිබේ. මේ ලියන මොහොත වන විට ජාතික රෝහල් කාර්ය මණ්ඩලය පවා දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබේ.
රාගම ශික්ෂණ රෝහලේ තත්ත්වයද මීට වඩා වෙනස් නැත. එහි කොවිඩ් සඳහා වෙන් කළ වාට්ටුවල සාමාන්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි රෝගීන් මේ වන විට ප්‍රතිකාර ලබයි. රාගම රෝහලේ කාර්ය මණ්ඩලයටද කොවිඩ් රෝගයට ගොදුරු වීම නිසා ඔවුන්ද පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකටය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ තත්ත්වයද ඒකමය. මේ වන විට අනුරාධපුර රෝහලේද සියලුම ඇඳන් පිරී අවසන්ය. ඒ අනුව තත්ත්වය නරක අතට හැරෙනා විට අනුරාධපුරයටද රතු නිවේදන නිකුත් කරන්නට සිදුවනු ඇත.
නාගොඩ රෝහල සම්පූර්ණයෙන්ම පිරීගිය බවට වූ ආරංචිය ආවේය. ඒ නිසාම රෝහල් පරිශ්‍රයේ තාවකාලික කූඩාරම් ඉදිකොට ප්‍රතිකාර කරන තත්ත්වයට පත්ව ඇතැයි පුවත්පත් වාර්තා කළේ පහුගිය හතර වැනිදාය.
“කළුබෝවිල රෝහල, පාන්දර 1.20 යි.
වාට්ටු ඉඩ මදිව එළිමහනටත් රෝගීන් යොමු කරල…. එක ඇඳක අසාධ්‍ය රෝගීන් තුන් දෙනෙක්… රෝගීන් ක්ලාන්ත වෙලා වැටෙනව… ඔක්ෂිජන් ප්‍රමාණවත් නැති තරම්… කාර්ය මණ්ඩලය අඩු නිසා ඉතාම අපහසු තත්වයක්… ඒ වගේම පාන්දර 1.20ටත් රෝහලට ඇතුළුවෙන රෝගීන්ගෙ දිග පෝලිම්… දැන් මෙහෙත් ඉන්දියාවෙ දිල්ලියට වූ අන්ත දුක්ඛිත තත්ත්වය මැවෙන ලකුණු තියෙන්නෙ. ඇත්ත තත්ත්වය අවබෝධ කරගැනීම තමන් සතුයි. හැකි උපරිම පරිස්සම් වෙන්න.”
යනුවෙන් වූ ෆේස්බුක් සටහනකි.
ද සොයිසා රෝහලේ ගැබිනි මවුවරුන් රෝගීවීම ආරම්භ වී තිබේ. අප මේ ලිපිය ලියන මොහොත වන විට කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් ප්‍රමාණය තිහකට වඩා වැඩි බව දැනගන්නට ලැබේ.
මෙසේ ගැබිනි මවුවරුන් සඳහාම වෙන්කර ඇති මුල්ලේරියාව රෝහලද පිරීගොස් පොරොත්තු ලේඛනයේ රෝගීන් බලා ඉන්න තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
රිජ්වේ ආර්යා ළමා රෝහළටද සීග්‍රයෙන් ළමා රෝගීන් පැමිණෙමින් සිටී. ඒ අනුව ළමා රෝහලද ඉතා ඉක්මනින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන තත්ත්වයට පත්වීම භයානකය.
කියන්නට කිසිවෙක් නැත. ඔබද මමද අනාරක්ෂිතය. සමහර විට ඔබ මෙය කියවන දිනය වන විට සියල්ල උඩු යටිකුරුව තිබිය හැකිය. නමුත් මේ ලියන මොහොත වන විට දිනකට රෝගීන් 94 දෙනෙක් මියයන තත්ත්වයට රට පත්ව තිබේ. ඒ සෑම විනාඩි 15කටම මරණයක් වාර්තා වන සේය. ඒ, ඔබත් මාත් සමග ජීවිතේ බෙදාගත් අහිංසකයන්ය. හෙට වෙනුවෙන් හිතන්නට කිසිවක් නැත. බලාපොරොත්තු නැත. එකම බලාපොරොත්තුව ජීවිතය පමණි. අනාරක්ෂිත මගී ප්‍රවාහන සේවයකින් හෙටද රැකියාවට යා නම් ඔබ සහ මම කුමක් කරමුද?
ජීවන පහන් තිළිණ -ප්‍රේමලාල් විජේරත්න -චන්දන පොන්නම්පෙරුම










