ලෝකාරම්භයේ පටන් ගතවූ
අවුරුදු මිලියන ගණනාකට
පසුව ඇරඹී සත්ව සන්තතියෙන්
මානවයා නිර්මාණය වීමටද තවත්
වසර දහස් ගණනාවක්ම ගෙවී
ගියේය. පෘථිවියේ ජන්මය පිළිබඳ
මත තුනකි.
නැබ්‍යුලාවකින් උපත සිදුවී
යැයි එක් මතයකි. දූවිලි වලාවකින්
බව තවත් මතයකි. සූර්යාගෙ
න් බිඳී වෙන්වූ කොටසක් බව
බොහෝ දුරට පිළිගැනෙන මතය
වී තිබේ. ඔය කවර අන්දමේ
සිද්ධාන්තයකින් හෝ පෘථිවිය
ඇතිවුවත් එදා මෙදාතුර මහවැසි
වැටේ. ඒ හාම විදුලිය කෙටේ.
මේඝ ගර්ජනාද නැඟේ. අඳුර
නැසීමට සූර්යයා පායයි. ඔහු
බැසගිය පසු යළි අඳුර වැටේ.
විදුලි සර, හෙණ ගුලි වැදී එදාත්
ගස් කොළන් බිඳ වැටුණේය. මහා
හස්ති රාජයෝ (ඩයිනෝසෝර්
වැනි) ඔත් තැනම මියගියෝය.
චණ්ඩ මාරුතය ගස් ගල්
පෙරළුවේය. ආදි මානවයාට මේ
සියල්ලෙන්ම ඇතිවූයේ භීතිය සහ
කුහුලය. හෙණ හඬට විදුලියට
බියපත් මානව පෝතකයෝ
මවගේ ඇකයට තුරුලු වූහ. යම්
හෙයකින් බියකරු සතකුගේ
ළංවීමකදී මව පවුල් සංස්ථාවේ
ශක්තිවන්තයා වූ පුරුෂයාගෙන්
පිළිසරණ පැතුවාය.
එය මානව වංශකතාවේ
සමාජ පද්ධතියේ සුරක්‍ෂිතභාවයේ
විකාශය නම් වූවේය. ඒ
පෙනෙන අතුරු ආන්තරාවලට
පමණි. එහෙත් නොපෙනෙන
බලවේගවලින් (විදුලිය, හෙණ
සර, මේඝ ගර්ජනා) මිදෙන්නේ
කෙසේ දැයි ඔවුහු සිතන්නට වූහ.
ඒ කාර්යයන් පසුපස අදිසි මහා
බලසම්පන්නයකු ඇති බව ඔවුහු
තීරණය කළහ. ඒ දේව සංකල්පයේ
මුල් බීජය විය. එයද දලු අතු
ඉතිලා වැඩුණේය.
මානවයාට උදව් උපකාරකරන්නන් දෙවිවරුන් ලෙසට
පසු කලෙක තැකිණි. අයහපත
සදන්නෝ යක්‍ෂ රාක්‍ෂ භූත
පෙරේත පිසාච කුම්භාණ්ඩ ආදී
මෙකී නොකී සත්ව ගණයට
වැටුණෝය.
ඉන් පසු මානවයෝම
ඔවුන්ට රාජකාරිද පවරා දුන්හ.
කෘෂිකර්මයට අධිපති සූර්යයාය.
වර්ෂාවට වැස්ස වලාහකයාය. ගව වසංගත ගොපලු යක්‍ෂයා නිසාය.
(ඇතැම් ප්‍රදේශයක මංගර දෙවියන්
ලෙසද හඳුන්වති) සරම්ප පැපොල
ආදිය පත්තිනි අම්මාට අයිති
ලෙඩය. ඇතැම් පළාතක ඒ ව්‍යාධි
වඳුරු යක්‍ෂණී නිසා ඇතිවන්නක්
බවද අපේ රටේ ගම්මු කියති.
මේ අටුවා ටීකා ටිප්පණි,
චූර්ණිකා, ගැටපද වන්නම් කීවේ
අලුතින්ම දේවතාවියක් උපත ලද්දී
යැයි කීමටය. (උපත ලද්දී යැයි
කියනවාට වඩා උපදවනු ලද්දී යැයි
කීම නිවැරදි විය හැකිය. මන්ද
දෙවියන් උපද්දවනු ලබන්නේ මිනිසුන්ගේ චිත්තාභ්‍යන්තරයේ
බැවිනි.)
ඇය ඉපදී හෝ උපද්දවා
හෝ ඇත්තේ ඉන්දියාවේය. නමින්
“කොරෝනා දේවිය”යි.
ඇගේ ජන්ම භූමියද අපේ රටට
සියලු මහ fදා්ස කඩාපාත්වෙන
ඉන්දියාවේ තමිල්නාඩුවෙනි. ඇය
දැනට වැඩවාසය කරනු ලබතැයි
කියවෙන්නේ “කොයිම්බතූර්
ප්‍රදේශයේ දේවස්ථානයක හෙවත් කෝවිලකය. එහි පූජකවරයා
(කුරුක්කල්) ශිවලිංගේෂ්වර් ය.
ඔහුගේ මතය අනුව කොරා්නා
වසංගතය මර්දනය කිරීමට
වෛදා්‍යවරුන්ට නොහැකිය.
එහෙත් කොරෝනා දේවියට නම්
හැකිය. ඒ සඳහා දින හතළිස් අටක්
නොකඩවා පූජාවක්ද මේ දිනවල
පැවැත්වේ.
කෝවිල වසා තිබුණද පිටත
සිට පඬුරු දැමිය හැකිය.
දැනට වසර එකසිය පනහකට
පමණ පෙර ඉන්දියාව පුරා
මහාමාරිය පැතිරෙන්නට පටන්
ගත් අවස්ථාවේදී ද “මහාමාරි මාරි
අම්මාන්” නමැති දේවතාවියකට
ඉදිකළ (කැප කළ) මේ අන්දමේම
දේවාලයක්ද වර්තමාන කොරෝනා
දේවිය වැඩවසන ස්ථානය
ආසන්නයේම පිහිටා තිබේ.
මේ වනවිට ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල කොරෝනා දේවියට
පූජෝපහාර පැවැත්වෙමින්
වසංගතයෙන් තමන් ආරක්‍ෂා
කරදෙන ලෙසට කන්නලව්
කෙරේ. ඇසෑමය, කේරලය, බිහාර
ආදී ප්‍රදේශ මේ සඳහා විශේෂය.
ගිලෙන්නට යන මිනිසා පිදුරු
ගහෙත් එල්ලෙන බවද දෙවියන්
සිහිවෙන්නේ ලෙඩ දුක් පැමිණි විට
කියන සිංහල ගැමි ප්‍රස්තාව පිරුළු
මෙහි දී සඳහන් කරනු වටී.
ඇතැම් දෙවිවරුන් එකම
රටක එකම ස්වරූපයෙන්(හැඩ
රුවින්) යුක්ත වේ. එහෙත්
එකම දේවතාවා රට රටවලදී
වෙනත් වෙනත් හැඩතලවලින්ද
නිර්මාණය කෙරේ. ඇතැම් විට
කාලානුරූපවද, බැතිමතුන් අනුවද
ඒ ඒ දේවතාවාගේ රූපකාය
වෙනස් වේ. මහා බ්‍රහ්මයාට
ඈත අතීතයේ දී මුහුණු තුනක්
තිබුණේය. වර්තමානය වන විට
තනි මුහුණකි.
ඉන්දියාවේ තමිල්නාඩුවේ
කොයිම්බතූර් ප්‍රදේශයේ සහ
කේරළයේ යන පරිදි කොරෝනා
දේවිය ස්ථාන දෙකක ස්ථාන
ගත කෙරී තිබේ. කොයිම්බතූර්
කෝවිලේ දේවියට ඇත්තේ අත්
දෙකක් පමණක් වුවත් කේරළයේ
කොරෝනා දේවියට අත් දහයකි.
කොයිම්බතූර් දේවිය හිසේ පැළැඳි
ජපමාලය මුහුණ වටා ගොස්
පහතට වැටේ. ඇගේ එක් අතක
ත්‍රීශූලයකි. එහෙත් කේරළයේ
කොරෝනා දේවියගේ එක් අතක
මිනිස් හිසකි. සෙසු අත්වල විවිධ
වර්ගයේ ආයුධ එල්ලී තිබේ.
එපමණක් නොව ඇගේ දිව
නිකටින් පහළට එල්ලී තිබේ. එය
තද ලේ පාටය.

කොයිම්බතූර් කොරෝනා
දේවියගේ රූපකාය පාර්වතියගේ
හෙවත් කාලි අම්මාගේ (මෑණි) එක්
“අවතාරයක්” වන “දුර්ගා”දේවියගේ
රූපකායට බොහෝ සෙයින්
සමානය. කෙටියෙන් කියතහොත්
දුර්ගාගේ “කාබන් ”පිටපතක්
වැන්න. දුර්ගා දේවිය
“දුර්ගා දෙවඟන”
ලෙසින්ද නම්
කෙරේ.
දුර්ගාගේ
සෑම ප්‍රතිමාවක්ම නිර්මාණය කර
ඇත්තේ මිනිස් හිසක්ද පාගාගෙ
නය. ඒ, ඇය මරාදමන ලද
ප්‍රචණ්ඩකාරී දරුණු අසුරයකුගේ
හිසය.
ඇතැමුන් කාලි අම්මා
ලෙසින් හැඳින්වුවත් අයෙක් “
කාලි යක්‍ෂණී”යැයිද කියති. ඒ,
ඇගේ බිහිසුණ ස්වරූපය නිසාය.
කරුණාබරිත පාර්වති මාතාව එවන්
අවතාරයක් (ස්වරූපයක්) ගන්නේ
දරුණු මිනිසුන්ට දඬුවම් දීමට
යැයිද කියති.
හින්දූන් කියන “අවතාරයත්”
අපේ උදවිය කියන “
අවතාරයත්”අතර තේරුම අහසට
පොළොව මෙන් එනිනෙකට
විරුද්ධය. අපේ අවතාරය යන
වචනයේ තේරුම භූතාත්මයක්
හෙවත් අමනුෂ්‍ය සත්වයෙකි.
එහෙත් හින්දූන්ගේ අවතාරයේ
තේරුම වෙනත් ස්වරූපයක්
ගැනීමය.
විෂ්ණු දෙවියන් දස
අවතාරයකින් පෙනී සිටින බව
කියන්නේ මත්ස්‍ය (මාළු) කුර්ම
(ඉදිබු) සහ වරාහ (උරු) ආදී
වශයෙන් වෙනත් ස්වරූප ගන්නා
බැවිනි. මුම්බායේ දී කොරෝනා
යක්‍ෂයෙකි. ඔහුගේ නම අසුරය.
හින්දුවරු තම පරම සතුරා
හඳුන්වනු ලබන්නේ “අසුර”නමිනි.
දුර්ගා දෙවඟන මරාදමන ලද්දේද
මේ අසුරයාය. කොරෝනා
වසංගතය පැවැති දෙදහස්
විස්සේදී “මුම්බායෝ” කොරෝනා
අසුරයාගේ පිළිරුවක් (පඹයකු)
ඔසවාගෙන වීදි සංචාරය කරමින්
අවසනැ පුළුස්සා දැම්මෝය.
යාපනේ ප්‍රදේශයේද “
කොරෝනා දේවිය” සැමරීමට
යන කතාවක් යාපනේ සිටින
මගේ මිතුරකුගෙන් අසන්නට
නොලැබුණාද නොවේ.
උත්තරීතර සත්වයකු ලෙස
සැලකෙන ගවයාගේ වසුරු
(ගොම) පුළුස්සා “පරහද” ලෙසින්
නම්කර භාරතීයයෝ නළලේ තවරා
(ගා) ගනිති. ඔවුහු ශරීර සුරක්‍ෂිතතා
උදෙසා “ගෝ මුත්‍රද” පානය
කරන්නෝය.
අපේ රටේ ඇතැම්හුද
කරන්නන් වාලේ කරන්නෝ වෙති.
ඊට රාජ (දේශපාලන) අනුග්‍රහද
නො අඩුව ලැබේ. පසුගිය සමයේ
‘ධම්මික පැණිය’ උදාහරණ වේ.
අපේ රටේ උත්තරීතර සත්වයා
මනුස්සයාය. ඉන්දියාවේ රටාවම
අපේ රටේත් ක්‍රියාත්මක වන්නට
ගියහොත් කොහෙන් කොහෙන්
කෙළවර වේදැයි කියන්නට නම්
තවමත් කල් වැඩිය.
චන්ද්‍රසේන මාරසිංහ










