ලෝකයේ රටවල් 195 අතරින් මළකදන් මතින් දේශපාලනය කරන එකම රට ශ්‍රි ලංකාව බවත්, මෙපමණ විනාශයක් ලොවට සිදුව පැවතියදී කොරෝනා පිළිබද එකම නඩුව ලංකාවෙන් ගොනු කර ඇති බවත් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිදුවන සමස්ථ කොරෝනා මරණවලට වගකිව යුතු බවට චෝදනා කරමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් නඩුකරයක් ගොනු කිරීම පිළිකුල් සහගත ක්‍රියාවක් බවකි.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.
මේ වන විට ලොව පුරා රටවල් 195ක ජනතාව කොරෝනා වසංගත අභියෝගයට මුහුණ දෙමින් සිටියි .සමස්ත ආසාදිතයින් ගණන ලක්ෂ 1,800කට වැඩිය. මේ දක්වා ලොව පුරා සිදු වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,510,000කට වැඩි අතර මේ මොහොතේදීත් එය අවසන්ව නැත.
රටවල් 195ක කොරෝනා ව්‍යාප්ත වන විට කොරෝනා පිළිබඳ එකම නඩුව ශ්‍රි ලංකාවෙන් ගොනුකර ඇත. ඒ බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිදුවන සමස්ථ කොරෝනා මරණවලට වගකිව යුතු බවට චෝදනා කරමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසිනි.
උන්වහන්සේගේ දේශපාලන පදනම සමස්ථ රටම හදුනන අතර මෙවැනි ව්‍යසනකාරි අවස්ථාවකදීත් පහත් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සහ දැරීම ඉතාම නින්දිත ක්‍රියාවකි. ලෝකයේ රටවල් 195 අතරින් මළකදන් මතින් දේශපාලනය කරන එකම රට ශ්‍රි ලංකාව බව උන්වහන්සේ උදෘත කර ලෝකයට ප්‍රදර්ශනය කර ඇත. මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක අහිංසක දුප්පත් ජනතාව පවා තම ජාතික වගකීම අවබෝධ කරගෙන පාට පක්ෂ භේදයකින් තොරව කටයුතු කරන මොහොතක පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකළ මෙම නිර්ලජ්ජිත ක්‍රියාව ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
ව්‍යාසනකාරී අභියෝගය ජයගෙන වැදගත් දේශපාලනයක යෙදෙමු.
පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම
ආණ්ඩු පක්ෂය










