ක්‍රියාශීලී ජීවන රටාවකට තරුණ පරපුර හුරු කිරීම සඳහා කන්ටේනර් බහාලුම් භාවිත කර දිවයින පුරා එළිමහන් ව්‍යායාම් හා කායවර්ධන මධ්‍යස්ථාන (Container Based Cross – Fit Gym) 500ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
‘ජය ගමු’ යන තේමාව යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 625ක් වන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් වාර්ෂිකව 100,000කට ආසන්න පොදු මහජනතාවකට සහ ක්‍රීඩික ක්‍රීඩිකාවන් 5000කට පමණ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වනු ඇත.
මෙම කායවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ වගකීම ප්‍රාදේශීය මට්ටමින් යෞවන සමාජ හා ක්‍රීඩා සමාජ වෙත පැවරීමටත්, අවම වශයෙන් එක් පුහුණුකරුවෙකු යෙදවීමටත් අපේක්ෂා කරනු ලැබේ.
ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය 2021-2022 වර්ෂවලදී ක්‍රියාත්මක කිරීමටත්, 2021 වර්ෂය තුළදී දිවයින පුරා තෝරාගත් ස්ථාන 250ක් ආවරණය වන පරිදි බහාලුම් භාවිත කර එළිමහන් ව්‍යායාම් හා කායවර්ධන මධ්‍යස්ථාන ඉදි කිරීම පිණිසත්, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.










