මෙම අතිශය රමණීය, සුන්දර බිම්කඩ මෙයට වසර 200කට පමණ ඉහතදී ගොඩනැඟුණේ මිනිසාගේම මානසික සුවය පතාය. ඉංග්‍රීසි ජාතික පාලන සමයේදී එකල ලංකාවේ සිටි කීර්තිමත්, දක්‍ෂ ආණ්ඩුකාරයකු වන ශ්‍රීමත් හෙන්රි ජෝර්ජ් වෝඩ් (1777 – 1860) විසින් මෙම බිම්කඩ නිර්මාණය කිරීමට කටයුතු කළේ 1856 වසරේදීය. සැතපුමක් නොහොත් කිලෝමීටර් 1.6ක පමණ දීර්ඝ බිම්කඩක් ඒ සඳහා සකස් කෙරුණේ කොළඹ ගාලුමුවදොර සාගරයත්, ගාලුපාරත් අතරය. හෙන්රි වෝඩ් සුදු ආණ්ඩුකාරවරයා එවිට ප්‍රකාශ කර සිටියේ, මෙම බිම්කඩ විවේක වේලාවන්වලදී මිනිසුන්ගේ ඇවිදීම, අශ්වයන් පැදීම සහ විවිධ ක්‍රීඩා කිරීම් සඳහා භාවිත කිරීමට කටයුතු කළ හැකි බැව්ය. මෙම අපූරු හරිත තෝතැන්න ඉපැරැණි ගාලුමුවදොර හෝටලයේ සිට කොටුව ප්‍රදීපාගාරය දෙසට එක එල්ලේ දිවෙන බිම්කඩකි.
එදා මෙලෙස නිමවූ බිම්කඩ ‘ගාලුමුවදොර පිටිය’ නොහොත් ඉංග්‍රීසි බසින් ‘Galle Face Green’ ලෙසින් සඳහන් කෙරිණි. මෙහි ඇති නිර්ව්‍යාජ ආකර්ෂණීයත්වය වන්නේ ගාලුමුවදොර හෝටලයේ සිට ප්‍රදීපාගාරය දෙසට බැලූ කල දිස්වෙන මනරම් නිල්වන් සාගරයයි. එසේම එතැන සිට යමෙකු දෙපයින් ඉදිරියට ඇවිද යනවා නම් ඒ තැනැත්තාගේ එක් පසෙකට වන්නට දිගු දසුනක් දිස්වන්නේ නිල්වන් සාගරයයි. එසේම ගලා එන සිසිල් පවන් රැලි එම බිම්කඩේ අවසානය දක්වාම අඩුවක් නැත. මේ ගතසිත සනසන බිම්කඩ ඔබට දායාද වී තිබුණේ මෙයට හරියටම වසර 06කට පමණ ඉහතදීය. එනම් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරයා 1856දී එය නිර්මාණය කර 2014 වසර දක්වාම ඔබට ඒ දායාදය හිමිවී තිබුණේය.

මේ අතිශය සුන්දර, ස්වාභාවික බිම්කඩ 2014 වසරේදී සොරාගත්තේ කා විසින්ද? එය සැබෑ ලෙසම අතිශය ශෝකාන්තයකි. එසේම මහා ඛේදාන්තයකි. රටක් දියුණුවට පියවර තබන යම් මෙහෙවරක් යැයි යමෙකු විසින් මේ ශෝකාන්තය අර්ථකථනය කළත්, එහි සැබෑ විනාශය දැකීමට බුද්ධිමතුන්ට සහ පරිසරයට ආදරය කළ මිනිසුන්ට හැකි විය. ‘කොළඹ වරාය නගරය’ නොහොත් ඉංග්‍රීසි බසින් කියා සිටි ‘කලම්බෝ පෝට් සිටි’ (Colombo Portcity) යන රට කලඹවන ‘ගිනි ජාලාව’ මෙම බිම්කඩට කඩාගෙන වැටුණේ 2014 වසරේදීය. මෙම සුන්දර බිම්කඩෙහි තිබුණු සුන්දරත්වය අද දක්නට නැත. මෙම බිම්කඩ ආශ්‍රිත දිගු මුහුදු තීරයේ විශාල ප්‍රදේශයක් පුරා අද දිස්වන්නේ වැලි කඳු සහ පස් කඳුය. එදා දුටු සුන්දරත්වය අද මෙම ඓතිහාසික බිම්කඩෙහි නැත. ගාලුමුවදොර හෝටලයේ සිට යම් කෙටි දුරක් පමණක් යනතෙක් යම් සුන්දරත්වයක් රැඳී තිබුණද ඉන් ඔබ්බට වන්නට එනම් ප්‍රදීපාගාරය සහ වරාය චෛත්‍යය දෙසට තෙක්ම තැනින් තැන ඇත්තේ වැලි සහ පස් කඳුය. මහා සාගරය හාරා ලබාගත් වැලි ටොන් ලක්‍ෂ ගණනාවක් මගින් සාගර ප්‍රදේශය ගොඩකර ඇත්තේ වරාය නගරය ඉදිකිරීම සඳහාය. මෙතෙක් එහි කිසිදු නගරයක සලකුණක්වත් දැකිය නොහැකි අතර, විශාල වැලි තලාවක් පමණක් දක්නට හැකිය.
කොළඹ වරාය නගරය නොහොත් අද මුළුමහත් රටම හොඳින් හඳුනන ‘පෝට් සිටි’ යන්නෙහි සැබෑ යථාර්ථය එය වෙයි. අද ඔබට ලියා තබන මෙම ලිපියෙහි පෙරගමනට එම යථාර්ථය ආවර්ජනය කිරීම අතිශය වැදගත්ය. ‘පෝට් සිටි’ හදන්නට පටන්ගත් දවසේ සිටම මේතාක් දක්වා එය තුළින් විවිධ ගිනි ජාලාවන් මතුවන්නට විය. ඒවා බොහොමයක තතු එකල අපට අසන්නට ලැබිණි. අද මේ දිනවල නැවැත මතුවී ඇත්තේ තවත් අලුත්ම පෝට් සිටි ගිනි කෙළියකි. පසුගිය සතියක් පුරාම මෙම ගිනි කෙළිය ඇවිළි, ඇවිළී තිබෙන්නේ එය ලෙහෙසියෙන් නිවෙන හැඩක් පෙන්නුම් නොකරමිනි. කුමක්ද මෙලෙස දිගහැරෙන මහා අර්බුදය? මෙය නම් පෝට්සිටි පනත් කෙටුම්පතයි. මෙය තවත් ආකාරයකින් හඳුන්වනු ලබන්නේ ‘වරාය නගර’ ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එයට එරෙහිව පාර්ශ්ව කිහිපයක් තමන්ගේ දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන ලදී. එසේම එම තත්ත්වය එතැනින් නොනැවතී දැන් එම හබය ශ්‍රේෂ්ඨාධිකරණය වෙතටද ගොස් ඇත. ‘පෝට් සිටි’ යනු චීනය විසින් සිදුකරනු ලබන ව්‍යාපෘතියකි.
වරාය නගර (පෝට් සිටි) කොමිෂන් සභාව පිහිටුවීම පිළිබඳව වූ පනත ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය සංකල්පයට බලවත් ලෙස පටහැනි යැයිද, එමගින් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ චීනයේම බලතල ඇති වෙනම නගරයක් බිහිවන්නේ යැයිද, මෙයට එරෙහි පාර්ශ්ව හඬනඟන්නට විය. එම පාර්ශ්ව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
මේ ආකාරයට හෙට අනිද්දාම ශ්‍රී ලංකාවේ වටිනා භූමිභාගයක් ‘චීන මකරා’ විසින් ගිල ගනියිද? චීනයේ බලය සහ ශක්තිය වන්නේ රතු මකරාය. මේ වන විට මෙම චීන මකරා විසින් ලෝකයේ රටවල් රාශියකදී තම බලය විවිධාකාරයෙන් තහවුරු කරගෙන ඇත. ඒ අනුව ඉදිරි කාලයකදී චීනය විසින් අපගේ අගනගරයේ ඉදිකරනු ලබන කොළඹ වරාය නගරයේ බලයද තහවුරු කරගන්නේද? කෙසේ හෝ පසුගියදා චීන මකරා ලකලැහැස්ති වූයේ එවැන්නක් කරන්නටය. දැනට එය මඳකට ප්‍රමාද වී ඇත.

චීනය විසින් ලෝකයේ පාලනය කරනු ලබන භූමිභාගයන් මොනවාද? එසේම ඒවා තුළ චීන පරිපාලනය තම බලතල කෙසේ හසුරුවා ගන්නේද? චීනය මෙසේ තම පූර්ණ පරිපාලනත්ව යටතේ තිබෙන ප්‍රධානතම දේශයන් දෙකක් වෙයි. මෙයින් ප්‍රධානතම රාජ්‍යය වන්නේ හොන්ග් කොන්ග් දේශයයි. චීනය විසින් මෙලෙස පාලනය කරනු ලබන විදෙස් භූමිභාගයන් හඳුන්වන්නේ ‘චීනයේ විශේෂ ප්‍රාන්ත ප්‍රදේශ’ Special Administrative Regions of China ලෙසිනි. මා දැන් ඔබට ප්‍රකාශ කළ ආකාරයට මෙවැනි රාජ්‍ය අතරින් ප්‍රධාන තැන ගන්නේ ‘හොන්ග් කොන්ග්’ (Hong Kong) දේශයයි. චීන මහජන සමූහාණ්ඩුවේ මධ්‍යම ජනතා රජය Central People’s Government of People’s Republic of China විසින් ‘හොන්ග් කොන්ග්’ දේශයේ පූර්ණ පරිපාලනත්වය සිදුකරනු ලබයි. මෙහිදී මෙම දේශයේ පූර්ණ විධායක නායකයා වන්නේද වත්මන් චීන ජනාධිපති වන ෂී ජින් පින්ය. ඔහුට අමතරව රට තුළ පරිපාලන කටයුතු අධීක්‍ෂණය සඳහා ප්‍රධාන විධායකයකු (Chief Executive) පත්කර ඇත. ෂී ජින් පින් ජනාධිපතිවරයාට පෙර සිටි ජනාධිපතිවරුද හොන්ග් කොන්ග් දේශයේ රාජ්‍ය පාලකයෝ වූහ. මෙම දේශය ගැන අප කාලයක් පුරා අසා තිබුණද, අප නිරන්තරයෙන්ම සිතුවේ මෙය වෙනම පරිපාලනයක් ඇති රටක් ලෙසිනි. එසේත් නැතිනම් ස්වාධීන රාජ්‍ය තන්ත්‍රයක් ඇති රටක් ලෙසිනි. එහෙත් එය වැරැදිය. එම දේශයේ සම්පූර්ණ අයිතිකරුවා වන්නේ චීනයයි. චීනය යනු ලෝකයේ හතරවැනියට විශාලතම රට වන අතර, එය තනි භූමිකඩක් පුරා විසිරෙන රාජ්‍යයකි. එහෙත් හොන්ග් කොන්ග් යනු සම්පූර්ණයෙන්ම මුහුදින් වටවූ දූපතකි. එය චීනයේ දකුණු ප්‍රදේශයට වන්නට පිහිටා ඇත.
අද වර්තමානයේ රතු මකරාගේ පූර්ණ අයිතිය සහ පාලනය යටතේ තිබෙන හොන්ග් කොන්ග් දේශය ගැන කරුණු අධ්‍යයනය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. මෙම දූපත් රාජ්‍යය ඉතාමත් කුඩා එකක් වන අතර, එහි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1,104 (වර්ග සැතපුම් 426ක්) පමණ වෙයි. මුළු රටෙහිම වාසය කරන ජනතාවගේ ප්‍රමාණය ලක්‍ෂ 75ක් (මිලියන 7.5ක්) පමණක් වන අතර, එයට ලෝකයේ රට රටවල විවිධ ජාතීන් වර්ග රැසක් අයත් වෙති. චීනයේ බොහෝ විට සිටින්නේ චීන ජාතිකයන් පමණක් වුවත්, මෙම දේශයෙහි විවිධ ජාතීන් වර්ග රැසක් රටවැසියන් ලෙස වාසය කරති. එයට ප්‍රධාන හේතුව වන්නේ එම දේශය තුළ බහුලව සිදුකෙරෙන වෙළෙඳ සහ ව්‍යාපාරික කටයුතු හේතුවෙනි. තවද මෙම කුඩා භූමිභාගයක් තුළ ඇති සුවිශාල, අහස උසට නැඟුණු සුපිරි ගොඩනැඟිලි අති විශාල ප්‍රමාණයකි. එම දසුන් විටෙක අදහාගත නොහැකි තරමට පුදුමසහගත වෙයි. එසේම ලෝකයේ බොහෝ ජනාශ්‍රිත දේශයන් අතරින් මෙම දූපත් රාජ්‍යයද ප්‍රධාන තැනක් ගනියි. කෙසේ වෙතත් මෙහි බහුතරයක් වෙසෙන ජනතාව චීන ජාතික ජනයා වන අතර, තවත් විවිධ ජාතීන් වර්ග 10ක් පමණ එහි වෙසෙති.
හොන්ග් කොන්ග් යනු කුමන ඈත ඉතිහාසයක් තිබුණු දේශයක්ද? කෙසේ වෙතත් එහිදී පෙනී යන්නේ එම දේශය ඉතා ඈත අතීතයේදී චීනයට අයිතිවාසිකම් තිබුණු බිම්කඩක් ලෙසටය. එහෙත් එම තත්ත්වය පැවැත ඇත්තේ 1841 පමණ කාලයක් දක්වා වන අතර, ඉන් පසුව 1844 ජනවාරි 26 වැනිදා මෙම දූපත මහා බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) යටත්විජිතයක් බවට පත්විය. කෙසේ හෝ ඉන්පසුව මෙය එංගලන්තයේ මහරැජින සහ චීනයේ අධිරාජයා අතර ඇති ගිවිසුමක් හරහා මහා බි්‍රතාන්‍ය විසින් පරිපාලනය කරන ලදී. කෙසේ හෝ මෙලෙස ඇරැඹි එංගලන්ත පාලනය වසර 156ක් පුරා නොකඩවා පැවැතිණි. ඉන්පසුව 1997 ජූලි මාසයේ 01 වැනිදා එංගලන්තය විසින් මෙම හොන්ග් කොන්ග් දේශයට නිදහස ලබාදී චීනය වෙත පවරන ලදී. එනම් දැනට වසර 24ක් පුරා චීනයේ පූර්ණ පරිපාලනය යටතේ පවතියි. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ චීනයට බොහෝ වෙනස් වූ පරිපාලනයක් මෙහි තිබීමය. එයට ප්‍රධානතම නිදසුන නම් චීනයේ මුදල් ඒකකය ‘යුආන්’ වුවත්, හොන්ග් කොන්ග් මුදල් ඒකකය ‘හොන්ග්කොන්ග් ඩොලරය’ වෙයි.

මේ ආකාරයට චීනයේ වත්මන් ජනාධිපති ෂි ජින් පින් විසින් මෙම දූපත් රාජ්‍යයේ පරිපාලනය ඉතා වෙනස් ක්‍රම රටාවක් හරහා සිදුකරනු ලබයි. එනම් ඔහු විසින් දැනට හොන්ග්කොන්ග් දේශයේ පරිපාලනය සඳහා පත්කර සිටින්නේ චීන ජාතික කාන්තාවකි. ඇය දැනට 63 වැනි වියෙහි පසුවන කැරි ලෑම් (Carry Lam) වන අතර, ඇය හොන්ග් කොන්ග් හි සිව්වැනි ප්‍රධාන විධායකයා වෙයි. ඇයගේ අනෙක් විශේෂත්වය වන්නේ ඇය චීන පුරවැසිභාවය මෙන්ම බි්‍රතාන්‍ය පුරවැසිභාවයද දැරීමය. චීනයේ පරිපාලනය මෙම දූපත තුළ තිබුණත්, සාමාජිකයන් 36 දෙනකුගෙන් යුත් පාර්ලිමේන්තු කොංග්‍රස් මණ්ඩලයක්ද මෙරට තුළ ඇත. එයට අමතරව තවත් රාජ්‍ය නියෝජිතයන් 203ක දේශපාලන මණ්ඩලයක්ද වෙති. ඒ ආකාරයට චීනයෙන් පරිබාහිර වූ පාලන තන්ත්‍රයක් රට තුළ ඇත. ඒ කුමන රටාවක් තිබුණද ඒ සියල්ලම චීනයේ ප්‍රධාන රතු මකරා වන ජනාධිපති ෂී ජින් පින්ගේ අණසකට යටත් විය යුතුය. හොන්ග් කොන්ග් දේශයෙහි ඇති සුවිශේෂත්වය වන්නේ එය ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් ලෙසට වැජඹීමය. ලෝකයේ රටවල් රැසක් අතරින් එය ප්‍රමුඛස්ථානයක සිටියි.
2020 වසරේදී හොන්ග් කොන්ග් දේශයේ දේශීය දළ නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් බිලියන 439.459ක් වෙයි. එසේම පුදුමාකාර පුවත වන්නේ එරට ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 45,176ක් වීමය. මෙය ඉතා ඉහළ අගයක් වන අතර, එය ලෝකයේ 16 වැනි ස්ථානයටද හිමිකම් කියයි. එහිදී මතකයට නැඟෙන අනෙක් කනගාටුදායක පුවත වන්නේ, දැනට ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම වන්නේ ඇමෙරිකානු ඩොලර් 3,697ක් පමණක් වීමය. මෙය ලෝකයේ 113 වැනි ස්ථානයට වැටෙන අතර, හොන්ග් කොන්ග් දේශය සමග සංසන්දනය කිරීමේදී අහස හා පොළොව මෙනි. මේ අතරම අනෙක් සුවිශේෂී පුවත වන්නේ, චීනය විසින් හොන්ග්කොන්ග් පරිපාලනය ගෙන ගියත්, දැනට චීනයේ ඒකපුද්ගල ආදායම වන්නේ ඇමෙරිකානු ඩොලර් 11,819ක් පමණක් වීමය. කෙසේ හෝ මෙම දත්ත මගින් පෙනී යන්නේ, චීනය විසින් මෙම දූපත් රාජ්‍යය මහා ධනවත් රටක් ලෙසට පරිවර්තනය කර තිබීමය. හොන්ග් කොන්ග් දේශයේ ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ මූල්‍යමය සේවා, වෙළෙඳ, භාණ්ඩ හුවමාරුව සහ සංචාරක කර්මාන්තය වෙයි.
චීන රතු මකරාගේ සම්පූර්ණ බලතල යටතේ තිබෙන තවත් දේශයක් වන්නේ ‘මැකවෝ’ නොහොත් ‘මැකාවූ’ (Macau) රාජ්‍යයයි.

මෙයද චීනයේ රාජ්‍ය පරිපාලනය යටතේ තිබෙන වෙනම රටකි. මෙය පිහිටා තිබෙන්නේද චීනයේ දකුණු පසින් වන්නට වන අතර, හොන්ග් කොන්ග් සිට මැකාවෝ දක්වා සාගරය හරහා දුර ප්‍රමාණය කිලෝමීටර් 135ක් වෙයි. සාගර ආශ්‍රිත මැකාවෝ ඉතාමත් කුඩා දේශයක් වන අතර, එහි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 32.9ක් (වර්ග සැතපුම් 127ක්) පමණක් වෙයි. මෙහි ජනගහනය 6,80,000ක් වන අතර බහුතරය චීන ජාතිකයන්ය. මෙම ප්‍රදේශය ආදි කාලයක සිට චීනයට අයත්ව තිබුණද 1557 වසරේදී එය පෘතුගීසීන්ට බද්දට ලබාදෙන ලදී. පසුව එය නැවැත චීනයට ලබාගෙන ඇත්තේ 1999 වසරේදීය. මෙම කුඩා දේශයෙහි ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ, කැසිනෝ සූදු ව්‍යාපාරයයි. ඒ සඳහා අති සුපිරි කැසිනෝ ශාලා රාශියක් එහි ඇති අතර, කැසිනෝ ක්‍රීඩා කිරීම සඳහා ලෝකයේ නන් දෙසින් එහි සංචාරකයෝ පැමිණෙති. මෙම කුඩා දේශයෙහිද ඒකපුද්ගල ආදායම වන්නේ ඇමෙරිකානු ඩොලර් 38,769කි. එනම් එයද අතිශය ධනවත් රාජ්‍යයක් වන අතර, මේ සඳහාද පූර්ණ විධායක බලතල ඇත්තේ චීන ජනාධිපති ෂී ජින් පින් සතුවය.
මේ යන විදියට හෙට අනිද්දාම ‘පෝට් සිටි’යත් රතු මකරා ගිලියිද?
ප්‍රියන්ත හෙට්ටිගේ










