පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබලදීමේ චෝදනාවට දැනට ලංකාවේ ආරක්ෂක අංශ භාරයේ පසුවන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණයකින් අධි චෝදනා ගොනු කර තිබේ.
මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් හයිදු මොහොමඩ් යන තිදෙනාට එරෙහිව මෙසේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
ඊට හේතු වී ඇත්තේ අදාළ ප්‍රහාරයෙන් අමෙරිකානුවන් 5 දෙනකු මියගොස් තිබීමය.
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පෙන්වාදෙන්නේ අදාළ සැකකරුවන් තිදෙනා අයි.එස්.අයි.එස් සංවිධානයේ ආධාරකරුවන් බවය.
ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ එල්ල වූ පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීම, ආධාර අනුබල දීම සහ ආයුධ ලබාදීම සිදුකර ඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
ලෝකයේ ඕනෑම රටක සිටින අමෙරිකානුවන් ඉළක්ක කර ගනිමින් සිදුකරන ත්‍රස්ත ප්‍රහාරවලට අදාළව යුක්තිය ඉටු කිරීම සඳහා එම නඩු පැවරීම සිදුකරඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.










