තිස්ස ජනනායක මහත්තයා ඇතුලුව බොහෝමයක් අය කරළියට ආවෙ ගිය අවුරුද්දෙ ජනාධිපතිවරණයත් එක්ක. ඒ වෙලාවෙ පක්ෂ විපක්ෂ බේදයක් නැතිව බොහෝ දෙනෙක් ඒ ඒ පක්ෂ වෙනුවෙන් කඬේ ගියා. ඒ කඬේ යාම ඇතුළෙ එක එක පන්නයේ හේතු තිබුණා. සමහරු කඬේ ගියේ සල්ලිවලට. සමහරු කඬේ ගියේ දේශපාලකයන්ට ආදරේට. සමහර වෙලාවට පරම්පරාවෙ ඉඳලා හම්බුණ බූදලයක් වගේ පරිස්සං කරන අපි කොළ නිල්, රතු කියන ගොංකම හින්දා. මේ මොන විදියට ගත්තත් මිනිස්සු කඬේ ගියා. මම මේ කියන්නෙ තිස්ස මහත්තයා කඬේ ගියා කියන්න නෙමේ. මිනිස්සුන්ගෙ හැටි එහෙමයි. නියම කාලය ආවිට කල්ල මරේය කියා හිතන සමහරු දේශපාලකයන් වෙනුවෙන් අත මෙහෙවර පා මෙහෙවර හැකි උපරිම සිදු කනවා. හැබැයි දේශපාලකයෝ ඔය ඔක්කොම පැත්තක දමා උන්දලාගේ ගමන යයි. එහෙව් වෙලාවට අර වන්දිභට්ටකම් කළ අයට වෙන්නේ අහසට දත නියවාගෙන බලා ඉන්න.
තිස්ස ජනනායක කියන්නේම හොඳ ගුරුවරයෙක්. දරුවන් ලක්ෂ ගණනකගේ ඇහැ පෑදූ කෙනෙක්. ඔහු මුලු රටේම ප්‍රකටයි. මේ වෙන කොට ඔහු ඉන්නේ එතන. ඒ නිසාම තිස්ස සර් යම් සමාජ බලවේගයක් බවට පත්වුණා. ඔහු සිවිල් බලයක් ගොඩ නගා ගත්තා. මේකට ප්‍රධාන වශයෙන් ම බලපෑවේ තිස්ස සර්ගේ යූ ටියුබ් නාලිකාව. ඒක නැගලා යන වැඩක් වුණා කාලයත් එක්ක. තිස්ස සර් සමාජ ආර්ථික දේශපාලනික කාරණා ගැන මාර පැහැදිලි කිරීම් කළා. ශුද්ධ ජාන ගැන එහෙම තිස්ස සර්ගෙ පැහැදිලි කිරීම නැගලම ගියා. ඒක තවත් ටියුෂන් ගුරුවරු එක්ක පටලා ගත්තම වඩාත් රසවත් වුණා. ඵක්‍ක් ගිවිසුම ගැනත් ඉතාම හොඳ පැහැදිලි කිරීම් ඒ කාලෙ ඇහුණා. රට දෙකට කඩන හැටි එහෙමත් සමහරු ඒ කතා උපුටා දක්වමින් කිව්වා. මේවා ඇහෙන කොට ඇස්වල කඳුළු පිරුණා සමහර උදවියගෙ. හැබැයි කැලණි නයා ගැන නං තිස්ස සර් පැහැදිළි කළේ මෙහෙම.
මේ නයා ගැන වචනයක් දෙකක් කිව්ව ගමන් කාට වුණත් මතක් වෙනවා. ඇත්තටම ඒ ගැන මම කියනවට වඩා ප්‍රසිද්ධ පුද්ගලික පන්ති ගුරුවරයාගේ වචන වලින්ම ඒක කියන්න හිතුවෙ. මුවා පස්සෙ එලවපු තිස්සගෙන් පස්සෙ, මෙයා මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙන්න මේ කතාවත් හේතුවක් වුණා. එයා කියනවා මෙහෙම,
“කැලණියට නාගයෙක් ධාතු අරගෙන ඇවිල්ලා දැක්කෙ නැද්ද? ඒ ගෙනාපු මනුස්සයා තෙමීගෙන ආවෙ ගඟට ගිහිල්ලා. ගඟ දෙබෑ වෙලා නාගයෙක් ඇවිල්ලා කරඬුවකින් ධාතු ගෙනල්ලා දෙනවා. ඊට පස්සෙ මූ ඒ නයාව අල්ලලා කොකා කෝලා බෝතලේකට දාලා. අච්චර කරඬුවක් කටින් ගෙනාපු නාගයව, අච්චර අර පුංචි බෝතලේකට දාපු හැටි මම මේ කල්පනා කරන්නෙ. ඊට පස්සෙ ඔය ගඟ දෙබෑ කරගෙන කැලණි ගඟ මැද්දෙන් මතුවෙන්න පුළුවන් නාගයට බෝතලේ පලාගෙන යන්න බෑ. ඊ ළඟට ඒ ගෙනල්ලා දුන්න ධාතු කරඬුව තියෙනවනෙ, ඒක ගෙනල්ලා තියෙන්නෙ නාග ලෝකෙන් හරිද? හැබැයි ඒකෙ මේඞ් ඉන් චයිනා කියලා ගහලා තියෙනවා.”

මේ වචන මේ විදියටම ඔප්පු කරන්ඩ පුළුවන්. උන්දලා දන්න කියන අය. ඒ නිසා අපි ඕවා කිව්වා නම් වැරදියි. මේ කියන විදියට නං ඒ නයා ආපු කතාව බොරුවක් වගේ. විශේෂයෙන්ම මෙන්න මේ කොටස අස්සෙ තියෙන්නෙ පුදුම වංචාවක් වගේ.
“අච්චර කරඬුවක් කටින් ගෙනාපු නාගයව, අච්චර අර පුංචි බෝතලේකට දාපු හැටි මම මේ කල්ප්නා කරන්නෙ”
“ඔය ගඟ දෙබෑ කරගෙන කැලණි ගඟ මැද්දෙන් මතුවෙන්න පුළුවන් නාගයට බෝතලේ පලාගෙන යන්න බෑ”
“ගෙනල්ලා දුන්න ධාතු කරඬුව තියෙනවනෙ, ඒක ගෙනල්ලා තියෙන්නෙ නාග ලෝකෙන් හරිද? ඒකෙ මේඞ් ඉන් චයිනා කියලා ගහලා තියෙනවා.”
හැබැයි දැන්නම් අපිට ඒ පරණ රාජකාරිය දකින්න ලැබෙන්නේ නෑ. එහෙන් මෙහෙන් ප්‍රශ්න මතු වෙනකොට ඒ වෙනුවෙන් වීඩියෝ දාන තිස්ස සර්ව අපි බලාගෙන ඉන්නවා. හැබැයි ඒ වෙනුවෙන් අලුතින් වීඩියෝවක් නිකුත් වෙන්නේ නෑ. රටේ දේශපාලනික වශයෙන් අර්බුද නිර්මාණය වෙනකොට තිස්ස සර්ලා වචනයක් කියන්නේ නෑ. හැබැයි ඉස්සරනම් මේ වගේ පුංචි දෙයක් වෙච්ච ගමන් ටක් ගාලා ඒ ගැන ශිෂ්‍යයින්ට පැහැදිලි කරලා වීඩියෝවක් යූ ටියුබ් එකට දාලා ඒ ගැන රටටත් පැහැදිලි කරන්න තිස්ස සර්ලා අමතක කළේ නෑ. දැන් මේ අලුත්ම නාඩගම වෙච්ච පැණි ප්‍රශ්නෙදිවත් තිස්ස සර් වචනයක් කියන්නේ නෑ. මේ පැණි අර්බුදය රට පුරාම පැතිරෙමින් යනකොට මේක මහා විකාරයක් බවට පත් වෙනකොට ඒ ගැන අදහස් කියන්න මේ අයට බලයක් නැද්ද? නැත්නම් ඒ ගැන කියන්න එපා කියලද තියෙන්නේ? අපිට ප්‍රශ්නයක්. ඒ වගේම මේ වෙනකොට නැගෙනහිර ජැටිය විකුණලා දාලා. මේ වගේ ප්‍රශ්නවලදී ඉස්සරනම් තිස්ස සර් ටක් ගාලා ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා අදහස ඉදිරිපත් කරනවා.
මේ විදිහට රට පුරා වෙන විවිධ ප්‍රශ්නවලදී විවිධ වශයෙන් ඔවුන් අදහස් ඉදිරිපත් කරනවා අපි දැක්කා. ඒ වගේම මහර බන්ධනාගාර සිද්ධිය, මහර බන්ධනාගාර සිද්ධියේදී රැඳවියන් මියයන ආකාරය, ඔවුන් සම්බන්ධව සිද්ධ කරපු පර්යේෂණයේ සාධාරණ අසාධාරණ බව ගැන, ඒ වගේම ඒ මරණවලට වගකිවයුත්තේ කවුද කියන එක, ඔවුන් සටන් කළේ, අරගල කළේ මොනවා වෙනුවෙන්ද කියන එක, අපි දැන් මේ වෙනකොට රට වෙනුවෙන් කතා කළ යුතු මාතෘකා බවට පත් වෙලා. රටේ ඕන තරම් ප්‍රශ්න තියෙනවා. කොවිඞ් අර්බුදය නිසා රටේ ආර්ථිකය කඩා වැටෙනවා. ඒ වගේම කොවිඞ්වලට එරෙහිව අපේ රටේ නිවැරැදි තීන්දු තීරණ ගත්තද කියන එක සම්බන්ධව කතා කළ යුතු තත්වයක තියෙනවා. ඒ වගේම කොවිඞ් මරණ සම්බන්ධව ගන්නා පියවර, ඒ මරණවලදී ඔවුන්ගේ අවසන් කටයුතු සිද්ධ කරන ආකාරය ගැන විවිධ තර්ක විතර්ක මතු වෙමින් එනවා. හැමෝටම එක නීතියක් වෙනුවෙන් බලයට පැමිණි පාලකයෝ තමන්ට ස්වාධීන අයිතියක් ඉල්ලපු පාර්ශවයේ කෙනෙක්වම රටේ අධිකරණ ඇමති කළාට පස්සේ තව දුරටත් ඒ ගැන කතා කරලා වැඩක් නෑ කියලා ශුද්ධ ජාන ගැන කතා කරපු කෙනෙක්ට හිතෙනවද දන්නෙත් නෑ. හැබැයි එහෙම නැතුව චැනල් එකේ ස්විච් එක වෙන කෙනෙක් ඕෆ් කරලද කියලත් අපිට සමහර වෙලාවට ප්‍රශ්නයක් තියෙනවා. කොහොම නමුත් තිස්ස සර්ට සමාජ වගකීමක් තියෙනවාය කියලා අපිට හිතෙනවා. ආයෙත් එන්න සර්. අපි බලාගෙන ඉන්නවා. කොහොමත් ලංකාවේ බොහෝ දේ වෙනස් කළේ තිස්සලා කියන එක අපිට මිහිඳු හාමුදුරුවන්ගේ කතාවේ නම් මතකයි.
ජීවන පහන් තිළිණ










