ගේම් තියෙනවා එක එක ජාතියෙ. මිනිස්සු විකුණනවා විකිණෙනවා. ඒක තමයි විදිය. ඒකෙ හරියක් වරදක් හොයන්න බෑ. දැන් මේ ලංකාවම ගේම් එකක්. ඒ නිසා මේ අකුරු පරිස්සමට කියවගන්න. සමහර වෙලාවට ගේම් ලස්සනට පේන්න ගන්නවා. ඊට පස්සෙ අකුරු කැත වෙනවා. ගේම්කාරයො “මරු” වෙන්න වෙන්න ඒ ගේම් එකට එරෙහි වෙන එක ගොන් පාට් එකක් වෙනවා. ඒ නිසා මේ ගේම් අස්සෙ කරක් ගැහිල්ලත් ගේමක්.
මොකද මිනිස්සුන්ගෙ හුස්ම අස්සෙ ගේමක් ගහගන්න එකෙක්ට අපිට ගේමක් ගහන එක නතිං. ඒ නිසාම අපි මේ ගමන යන්නෙ බොහෝම පරිස්සමට. ඒ නිසා මේ කතාවල අගමුල අපෙන් අහන්න එපා. මොකද අපිට එහෙමයි කියලා කියන්න බෑ සමහර දේක වැඩිදුර විස්තර මොනවාවත්ම.
කෙළින්ම බහිමු කතාවට. සමහර වෙලාවට ජීව විද්‍යාත්මක ප්‍රශ්න, සමහර බෙහෙත් හේත් ප්‍රශ්න, සමහර වෙලාවට මානසික ප්‍රශ්න. මේ මොනවම හරි බලපාල සමහරුන්ට දරුවො ලැබෙන්නෙ නෑ. ඒක කාලයත් එක්ක ටිකක් වැඩි වෙලා. මේ වෙනකොට තමන්ට දරු සම්පත් නෑ කියලා බරපතළ අපහසුතාවට පත් වුණ පවුල් විශාල ප්‍රමාණයක් ඉන්නවා. හරියට පරීක්ෂණයක් කළොත් එහෙම ලැයිස්තුවක්ම ඔබටත් හොයාගන්න පුළුවන්. ඒක ඒ තරම්ම ලේසියි. ඔබේ අහල පහළත් දන්න කියන පවුල්වලත් එහෙම වෙන්න පුළුවන්. සමහර විට ඔබේ පවුලේ වෙන්න පුළුවන්. තවත් සමහර විටක ඒ ප්‍රශ්නය ඔබේ වෙන්නත් පුළුවන් .
ඒක මේ ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නය නෙමෙයි. ඒත් ඔබ කියාවි තුවාලෙ තියෙන කෙනානෙ තුවාලෙ වේදනාව දන්නෙ කියලා. ඒත් ඇත්තටම මේ ලෝකෙ බැඳීම් වැඩි වෙන තරමටයි ප්‍රශ්න වැඩි.

කොහොම නමුත් අපි මේ උත්සහ කරන්නෙ ඒකට උත්තර දෙන්න නෙමෙයි. ඒත් ප්‍රශ්න අලුත් මූණකින් එන එක නතර කරන්න. මොකද ඔබට ප්‍රශ්නයක් තියෙන කොට ඒ ප්‍රශ්න අස්සෙ ඔබව හිරකරලා ගේමක් ගහන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. ඒ අයට ඔබව කොටු කරගන්න හරිම ලේසියි. මොකද යකඩයක් වුණත් රත්වුණාම තලන්න පුළුවන්.
දරුවො නැති අයට දරුවො හදාගන්න දෙන්න කැමති අයව හොයාගන්න උදව් කරන්න අය ඉන්නවා. එහෙම ඉන්න අය අතරෙ මෙන්න ඒකටත් ඒජන්සි සෙල්ලමක් පටන් අරගෙන. මේ ඒජන්සිය තියෙන තැන වැඩක් නෑ. ඒක හොයා ගන්න එක අඳුන ගන්න එක ඔයාලගෙ වැඩක්. මොකද මේ ආයතනවල නම් ගම් කියන්න අපිට බෑ.
හැබැයි අපි මේ සිදුවීමට අදාළ ෆේස්බුක් ගිණුම අස්සෙ ටිකක් කරක් ගහලා බැලුවා. මේ සටහන දැක්කෙ ඊට පස්සෙ. මේ සටහනට අදාළ කතාව සීයට සීයක්ම එහෙම පිටින්ම උපුටා ගැනීමක්. වගකීම් සියල්ල අදාළ ෆේස්බුක් ගිණුම සතුයි.
“හිතවතුනි, අවසන ගර්භාශ දේවෝත්තමයාගෙ සියලු කෙළි එතෙකින් නිමාවට පත් විය”
“කෝ උබලා මොනාද කරේ ඌව කෝ ඇරෙස්ට් කොළාද?” අහපු උන්ට දැන් දෙන්නට උත්තරයකි.
පුරවැසියන් ලෙස සිහිනෙන්වත් සැක නොකළ බිලිඳු ජාවරමක් ගැන අවදිව සිටින ඇසින් බලා මා ඇතුළු බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තමන්ගෙ පුරවැසි වගකීම නිසිලෙස ඉටුකොට තිබුණෙ බොහෝ කලකට පෙරය.
තිබුණේ හුදෙක් නෛතික පමාවකි. මීට කලින් වතාවෙ මේ ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට ළමාරක්ශක අධිකාරියෙ විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත්ව ගියත් ඔහු සිය නිවසේ නොසිට පළා ගියේය. ඉන්පසු මුදලට ගිජු නීති සහයෙන් පොලිසීයට ගොස් වැඬේ ෂේප් කරගත්තේ අඩුම තරමේ එක විනාඩියක් හෝ කූරු නොගැනය. නමුත් කිසිවෙක් නොවේ උත්සහය අත් හැර දැමුවෙ.

ඊයේ හවස් භාගයේ ඔහු විශේශ පොලිස් ඒකකයක් මගින් කළ විශේෂ වැටලිමකින් අත්අඩංගුවට පත් විය. ඒ සාක්කි සාධක අතටම අල්ලා බෙල්ල මුලින් කොටු කරගත් මෙහෙයුමකිනි.
අද උසාවියට ඉදිරිපත් කරන CSC Nation Lanka අධිපති මංජුල උක්වත්ත කොටු කරගැනීමෙ මෙහෙයුම පිටුපස එකී නොකී නම් ගම් කිව හැකි නොහැකි බොහෝ දෙනා සිටිති.
ඒ සියලුදෙනාට මගෙ හදපිරි ගෞරවාචාරය පුදනතුරේ ඔබගෙන් ඉල්ලා සිටිමට ඇත්තේ දීප්තිමත් පිටකවර දැමු බොහෝ පොත්වල ඇතුළාන්තය ඔබ හිතන තරම් සොඳුරු නැත. කරුණාකර සමාජය දෙස අවදි උන දෑසින් බලන්න.
මේ සොඳුරු ලෝකයේ රකුසන් ඉන්නෙ වෙස්වලාගෙනය. මේ කොටු කරගත්තෙ ලංකා ඉතිහාසයෙ මෙතෙක් හසුකරගත් විශාලතම ළදරු ජාවරම්වලින් එකකි.
“චාන්‍යා”
මේ සටහන තිබුණෙ අදාළ පුද්ගලයාගේ නමින් පවත්වාගෙන ෆේස්බුක් ගිණුමකට ඈඳලා පළකරලා. ඊට යටින් සටහන් කරලා තිබුණ නම තමයි මේ සමග තියෙන්නෙ.
ඔහුගෙ ගිණුමෙ හැම තැනම තියෙන්නෙ කරුණාව දයාව මෛත්‍රිය දෝරෙ ගලපු සටහන්.
“පණ දෙන්නම් කියා ආදරේ කරලා යම් හෙයකින් කුසට දරුවෙක් ආවාම ගබ්සා කරපං නැත්තම් තෝවයි බඬේ ඉන්න එකාවයි දෙන්නාම මරලා දානවා කීවාම අවිවාහක පෙම්වතියක් හෙවත් ගර්භණියක් කුමක් නම් කරන්නද, සමහර අය කියන්නේ තෝ අවලමියක් වේසාවියක් වටේ ගිය වනචරියක් කියාය.
නැහැ CSC Nation Lanka අපි නම් එහෙම කියන්නේ නැහැ. අපිට මේ ජීවිත දෙකම වටිනවා ගර්භණීය අපිට උත්තරීතර අම්මෙක්, කවුරු මොනවා කීවත් අපි ඔබත් කුසේ ඉන්න කිරිසප්පයත් සුරකිනවා.
ඒ නිසා අනිසී ගැබ් ගැනීමක් නම් ඔබ නොබියව අප වෙත එන්න. අපි ඔබව සුරක්ෂිත කරලා ඔබටත් කිරිසප්පයාටත් ජීවිතයක් දෙනවා ඒකාන්තයි
“යූ.ඒ.එස්. මංජුල ලසන්ත උක්වත්ත”
අපි මේ සටහනත් සම්පූර්ණයෙන්ම උපුටා ගත්තා. හැබැයි ඒකෙ තිබුණ දුරකථන අංක කීපය පමණක් අයින් කළා.
“අවංකව යැයි ඇය විශ්වාස කළ ප්‍රේමය ඇගේ කුසට දරුවෙක් පිළිසිඳගත් දාසිට මගහැර ගියේය.
ඇය ඒ බව තමන්ගේ පවුලේ අම්මා, තාත්තා, සහොදර, සහෝදරීයන්ට පැවසූ පසූ, ඇය ගෙදරින් එලවා දැමීය.
ඇය උත්සාහ කළේ සියදිවි නසාගන්නටය.

ඒ ඉරණම වෙනස් කළේ අධ්‍යාත්මික සමාජයක් සදහා වන සමාජීය පරිවර්තනයක් සදහා වූ ජාතික ආයතනයේ සභාපති යූ ඒ එස් මංජුල ලසන්ත උක්වත්ත මහත්මායි, ඇයට ජීවිතය ආදරය සෙනෙහස ආරක්ෂාව ලැබීමෙන් පසු මීට දින කීපයකට මත්තෙන් පුත් කුමරෙකු බිහිකළේය. ඒ ජිවිත දෙකම අද ඉමහත් ඉහළින් සුරක්ෂිතය, පව්කාර ප්‍රේමවන්තයා ආගිය අතක් නැත. ඔහු මුල සිටම සැලසුම් කර තිබූණේ දරුවා ගබ්සා කරන්නටය.
ආදරයණීය කාන්තාවනී, ගබ්සා කරන්න හෝ සියදිවි නසාගන්න හෝ සිහිනයකුදූ සිතන්නට එපා. මොන ආකාරයට ගැබ්ගත්තත් ඔබ අපිට උත්තරීතර මාතෘත්වයෙන් පිදු ලැබූ මව්තුමියෙක්මයි, අපි හිතන්නේ එලෙසමයි, අපි ඔබේ ජීවිතයට හා ඔබේ කුසෙහි ඉන්න කිරිසප්පයට පණ සේ ආදරෙයි. අපි ඔබව තනිකරන්නේ නැහැ. ඔබට අවනම්බුවක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ, අනිවාර්යයෙන් ඔබව සුරකිනවා. ඔබට ජීවිතයක් දෙනවා. කතා කරන්න ඕනෑම ප්‍රශ්නයක්”
මේකත් එහෙමම එකක්. ආයතනයේ නම සහ තොරතුරු කීපයක් ඉවත් කරපු උපුටා දැක්වීමක්.
මේ මහත්තයා මීට වසරකට විතර කලින් හරිත ලෝකයක් වෙනුවෙන් හීන දැකපු කෙනෙක්. මේ හැම දරුවො ගැන හීනෙ දකින්න ගන්නෙ ඊට හුඟ කාලෙකට පස්සෙ වෙන්න පුළුවන්. සමහර විට මේවා ඔක්කොම එක පාරම ආපු සිතිවිලි වෙන්නත් බැරි නෑ. හැබැයි කොහොම නමුත් මේක නිවැරදි නීතිමය පසුබිමක නොවුණාය කියලයි කියන්නෙ. හැබැයි ඔහු මේ කිසිවක් රහසින් නොකළ බව නං ඔහුගෙ ෆෙස්බුක් ගිණුම බලන ඕනෑම කෙනෙක්ට පැහැදිලි වෙනවා.
ජීවන පහන් තිළිණ










