මරණීය දඬුවම නියමව දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින යහපත් පැවැත්මක් සහිත සිරකරුවන් නිදහස් කර හැරීමේ යෝජනාවක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දී ඇති බව අද (07) මාධ්‍ය වාර්තා කොට තිබේ.
සංවිධානාත්මක අපරාධ, මත්කුඩු ජාවාරම් හා ස්ත්‍රී දූෂණ වැනි බරපතල ගනයේ අපරාධවලට සම්බන්ධ නොමැති සිරකරුවන්ට එම සමාව ලබාදීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.
එම සිරකරුවන් නිදහස්කර හැරිම සම්බන්ධයෙන් සලකා බැලීමට පත් කරන කමිටුව මඟින් නිර්දේශ කරන නිශ්චිත කාලයක් සිරගතව සිටින හා එම කාලයේ යහපත් දිවි පැවැත්මකින් යුතුව කටයුතු කළ සිරකරුවන් එසේ නිදහස් කර හැරීමට අවධානය යොමුව තිබේ.
මරණීය දඬුවම නියම සිරකරුවන්ගේ එම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පරිවර්තනය කර ඉන්පසුව ඔවුන්ව එසේ නිදහස් කර හැරීමට අවධානය යොමුව ඇති බවට වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් විමසීමේදී බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියා සිටියේ විවිධ චෝදනා සම්බන්ධයෙන් මරණීය දඬුවමට ලක්වූවන් දහසක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර වල රඳවා තිබෙන බවය.
කෙසේවෙතත් මෙම පුවත පළවීමත් සමග මරණීය දණ්ඩනය හිමිව සිටින කුමන සිරකරුවන් නිදහස් කරන්නේද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ.










