ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට බලය හිමි අම්පාර නගර සභාව, ජා ඇල ප්‍රාදේශීය සභාව සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන තුනෙහි අයවැය පරාජයට පත්ව ඇත.
අම්පාර නගර සභාව පොහොට්ටු මන්ත්‍රීවරුන් 9ක්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 4ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 3ක්, ජනතාව විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු සහ ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයකුගෙන් සමන්විත වන අතර පොහොට්ටු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුම තමන්ගේම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා එය පරාජයට පත්ව තිබේ.
එජාප මන්ත්‍රීවරුන් 3 දෙනෙකු අයවැයට පක්ෂ වෙද්දී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණු අතර විරුද්ධව ඡන්ද 12ක් සහ පක්ෂව ඡන්ද 6ක් වශයෙන් අම්පාර අයවැය පරාජයට පත්විණි.
මන්ත්‍රීවරුන් 47 දෙනෙකුගෙන් සමන්විත ජා ඇල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරුන් 23 දෙනෙකු අතරින් සිව් දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම නිසා එය ද පරාජයට පත්වී තිබිණි. එහිදී අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 18ක් පමණක් වන අතර විරුද්ධව 24ක් ලැබී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැවැන්තම පරාජය ලබා තිබුණේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැයෙනි. මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත එම සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කර තිබුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමණි.










