ඕනෑම ජන්මියකුට අයහපතක් ඇති වන කාල, එහෙමත් නැත්නම් අපල කාල ගණනාවක් ගැන ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. මේ අතරින් සෙනසුරුගේ විවිධ අපල සම්බන්ධයෙන් විශාල පිරිසක් උනන්දු වෙනවා. ඒ වගේම සෙනසුරු අපලයට විශාල පිරිසක් බය වෙනවා. තැති ගන්නවා. ඒ වගේම සෙනසුරුගේ ගමන ගැනත් හැම කෙනෙක්ම වගේ උනන්දු වෙන්නේ සෙනසුරු ඒරාෂ්ටක අපල නිසාමයි. ජ්‍යොතිෂය ගැන දන්න ඕනෑම කෙනෙක් සෙනසුරුගේ ඒරාෂ්ටක අපලයට බියක් දක්වනවා. ඒකටත් හේතු රාශියක් තිබෙනවා. සෙනසුරු ඒරාෂ්ටකයක් ලැබුවාම රජකු වුණත් රජකම අහිමි වී පාරට වැටෙන බවටත් මතයක් තිබෙනවා. ඊළඟට සෙනසුරු ඒරාෂ්ටක අපල කාලවලදී ිසිද්ධ වෙන විවිධ අසුබපල විපාක ගැන ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා.
ඒ අනුව සෙනසුරු අපල කාලවලදී දිළිඳු බවට පත්වීම, ශරීරය අවලස්සන වීම, ශරීර ශක්තිය, චිත්ත ශක්තිය හීනවීම, ධන හානි වීම, හිතවතුන්ගේ, ඥාතීන්ගේ පවා වැඩකටයුතු ප්‍රමාද වීම, තැනට සමීප පිරිස් හිටි හැටියේ දුරස් වීම, දඬුවම්වලට ලක්වීම, රෝග පීඩා ඇති වීම ආදිය සෙනසුරු අපල කාලවලදී මුහුණ දීමට සිදුවන ගැටලුවලින් කිහිපයක්.
සෙනසුරු ග්‍රහයා ලග්න රාශිය ඊට කලින් රාශිය (12 වැන්න සහ) ඊට පසු රාශිය (එනම් 2 වැන්න) අතර ගමන් කරන වසර 7 1/2ක කාලය ලග්න ඒරාෂ්ටකයක් ලෙසයි හඳුන්වන්නේ. යම් ලෙසකට චන්ද්‍රයා කේන්දරයේ 2, 3, 4 භාවයක සිටියොත් අපල කාලය තවත් දීර්ඝ වෙනවා. එයට හේතුව තමයි ඕනෑම කේන්දරයක සිටින රාශිය. ඊට කලින් රාශිය වගේම ඊට පසු රාශිය හරහා සෙනසුරු ගමන් කරන වසර 7 1/2ක කාලයත් ඒරාෂ්ටක හැටියටයි සලකන්නේ.
මීට අමතරව ලග්න භාවයෙන් 8 වැන්න හරහා සෙනසුරු ගමන් කරන කාලයක් අෂ්ටම ඒරාෂ්ටක කාලයක් ලෙසිනුයි හඳුන්වන්නේ. තවද සඳුගෙන් 8 වැන්න හරහා සෙනසුරු ගමන් කරන කාලය චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකයක් ලෙසද හඳුන්වනවා.
කෙනෙක් උපදින අවස්ථාවේ ලග්න රාශියක් තමන් උපදින ස්ථානයේ සිට නියම නැඟෙනහිර ක්‍ෂිතජයේ මතු වී තිබුණු අංශ කලා ගණන ලග්න ස්ථුමය ලෙස හඳුන්වනවා. සෙනසුරුගේ ඒරාෂ්ටකයට ගොදුරු වූ කෙනෙක් තමන්ගේ ලග්න ස්ථුමය මගින් සෙනසුරුද ගමන් ගන්නා මොහොත දැනගෙන ගොඩක් පරෙස්සම් වෙන්න ඕනෑ. ඒ තමයි අපලයේ උපරිම අවස්ථාව. තමන් උපදින රාශියේ සඳු ඉදිරියට ගොස් තිබුණු අංශක කලා ගණන චන්ද්‍ර ස්ථුමය ලෙසින් දක්වනවා. ජන්ම ඒරාෂ්ටකයට ගොදුරුව සිටි කෙනකුගේ අපලයේ උපරිම අවස්ථාව චන්ද්‍ර ස්ඵුටය හරහා සෙනසුරු ගමන් කරන වෙලාවයි. ඒ අයත් ගොඩාක් පරෙස්සම් වෙන්න ඕනෑ.
සමහර කේන්දරවල නම් ලග්න ස්ඵුටය චන්ද්‍ර ස්ඵුටය අංශක කලාවලින් සටහන් කරලා තියෙනවා. ඒත් සමහර කේන්දරවල එහෙම නැහැ. එවැනි අවස්ථාවල නවාංශක කේන්දරය ඇසුරෙන් අංශක 3යි කලා 20ක සීමාවක් තුළ ලග්න ස්ඵුටය සහ චන්ද්‍ර ස්ඵුටය සොයාගන්න පුළුවන්. මේ සඳහා උදාහරණයක් විදියට ඔබගේ ලග්නය ධනු නම් එහෙම නැත්නම් චන්ද්‍රයා ඉන්නේ ධනු රාශියේ නම් ඔබගේ ලග්න ස්ඵුටය සහ චන්ද්‍ර ස්ඵුටය පහත වගුවෙන් බලාගන්න පුළුවන්.
ධනු ලග්නය
නවාංශකය ලග්න ස්ඵුටය
අංශක කලා සිට අංශක කලා
මේෂ 00 00 සිට 03 20 දක්වා
වෘෂභ 03 20 සිට 06 40 දක්වා
මිථුන 06 40 සිට 10 00 දක්වා
කටක 10 00 සිට 13 20 දක්වා
සිංහ 13 20 සිf 16 40 දක්වා
කන්‍ය 16 40 සිට 20 00 දක්වා
තුලා 20 00 සිට 26 20 දක්වා
වෘශ්චික 23 20 සිට 26 40 දක්වා
ධනු 26 40 සිට 30 00 දක්වා
ඔබ ඉපදී ඇත්තේ ධනු රාශියේ මේෂ නවාංශකයෙන් නම් ඔබගේ ලග්න ස්ඵුටය ධනු රාශියේ අංශක 0යි කලා 20ත් අතර වෙනවා. එතකොට සෙනසුරු ග්‍රහයා රාශියේ මුල් අංශක 3 යි කලා 20 සීමාව පසුකරමින් ගමන් කරන දින ලිතෙන් බලාගන්න පුළුවන්. මේ කාලයේ ඔබ ඉතා හොඳින් පරෙස්සම් වෙන්න ඕනෑ. මොකද අනතුරුවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩියි. මේ විදියටම ඔබට චන්ද්‍ර ස්ඵුටය ගැනත් අදහසක් ගන්න පුළුවන්. ඔබගේ කේන්දරයේ චන්ද්‍රයා ධනු රාශියෙත් නවාංශක කේන්දරයේ වෘෂභ නවාංශකයේත් ඉන්නවා නම් චන්ද්‍ර ස්ඵුටය වන්නේ අංශක 03 කලා 20ත් අංශක 06යි කලා 40ත් අතර,
මේ විදියට බලද්දී ඒරාෂ්ටක අපල අපි කාටත් යෙදෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි වැදගත් වෙන්නේ අපි ප්‍රවේශම් වීමයි. ඊළඟට සෙනසුරු අපලවලට විෂ්ණු දෙවියන්ට පුදපූජා පැවැත්වීම කාක නිල් මැණික් ගලක් පැලඳීම, සෙනසුරාදා උදේම ගිතෙල් මිශ්‍ර කිරිබතක් කපුටන්ට දීම ආදී කටයුතු කරන්නට හැකි නම් වඩාත් හොඳයි. ඊළඟ කාරණය තමයි හැකි තරම් දැහැමින් ජීවිතය ගෙවීම එතකොටත් සෙනසුරු අපලය අවම වෙනවා.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර











