- පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය
● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග
● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්
● නාමල් රාජපක්ෂගෙන් ළඟදීම ප්‍රශ්න කිරීමේ සූදානමක්
● එස්.ටී.එෆ්. හිටපු ප්‍රධානී වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගන්න එපා කියයි
● නොමළ සාරාව මරා දැමුවාට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොක්කෙකුත් ළඟදීම අත්අඩංගුවට Sri Lanka Latest News
- දිනේෂ් ෂාෆ්ටර් මරණය – විමර්ශන තවමත් අතර මග
- ලලිත් – කුගන් අතුරුදන්වීම – ගෝඨාභයට මාර්ගගත ක්‍රමයට යාපන අධිකරණයට සාක්ෂි දීමට සිදුව ඇත
- මහබැංකු බැඳුම්කර වංචාව
හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒම අසාර්ථක වේ - නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රනියම් රවින්ද්‍රනාත් පැහැරගෙන අතුරුදන් කිරීම
නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් සමග ගෝලබාලයන් 10ක් අත්අඩංගුවට
මහාචාර්යවරයාගේ සිරුර දැමූ ඇළ පාර සොයාගනී
වැලිකන්දෙන් වධකාගාරයකුත් සොයාගාගනී - මාධ්‍යවේදී තාරකී ඝාතනය
දෙමළ දේශපාලන පක්ෂයක නායකයෙක් කොටුවන හැඩ - වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩිතැබීම
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් කණ්ඩායමකට නඩු
අණ දුන් බව කියන දේශපාලන බලවතා තාම නිදැල්ලේ
නැවත පණදුන් මග නැවතුණු විමර්ශන
සිය පියා ජනාධිපති ධුරයේ රැඳී සිටියදී 2006 වසරේ දෙසැම්බර් 14 වැනිදා නාවික හමුදාවට බැඳුණු යෝෂිත රාජපක්ෂ ලුතිනන්වරයෙක් ලෙස බි්‍රතාන්‍ය නාවික හමුදාවේ පුහුණුවට ගිය හැටි අල්ලස් කොමිසමෙන් සොයයි. ලබන 16 වැනිදා ප්‍රකාශයක් ගන්න පැමිණෙන්නැයි දැනුම් දීමකුත් කරයි.
රුපියල් මිලියන 73.4කට අධික වටිනාකමක් ඇති දේපළ උපයාගත් හැටි කියන්න ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ සිද්ධියට යෝෂිතට නඩු පිට නඩු වැටේ.
නීත්‍යනුකූලව උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පත් ලෙස තිබීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට කොළඹ මහාධිකරණයේ නඩු පැවරේ.
පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිය ගිණුමකට රුපියල් මිලියන 17ක් බැරකිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණයෙන් හෝමාගම මහාධිකරණය යෝෂිත රාජපක්ෂට නීතිපති නඩු පවරයි.
ක්‍රිෂ් සමාගමෙන් රගර් ප්‍රවර්ධනය ගත් බව කියන රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශුද්ධිකරණයෙන් නාමල් රාජපක්ෂට එරෙහි සාක්ෂි විභාගය ජූලි 07 සිට ඇරඹේ.
මල්වානේ ඉඩම මගේ නෙමෙයි කියා ආණ්ඩු බලය ඇතිවිට නඩු රැසකින් ගැලවුණත් නඩු පෝලිමක්ම දැන් බැසිල් රාජපක්ෂ පස්සේ එයි. නඩු දෙකකට වරෙන්තු. ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයකුත් ගන්න හදයි.
අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් භාවිත කරමින් මාතර, එළියකන්ද පාරේ පිහිටි ‘බ්‍රවුන්ස් හිල්’ නමැති ප්‍රදේශයෙන් අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමේ නඩුවට බැසිල්ට මුල්ම වරෙන්තුව.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන්කර තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක්, එහි නියමිත ප්‍රවර්ධන කටයුතුවලට නොයොදා 2014 වසරේ පැවති ඌව පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ටීෂර්ට් 12,000ක් මිලදී ගැනීමට වැයකරමින් රජයට මූල්‍ය අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙනුත් බැසිල්ට වරෙන්තුවක්.
‘සිරිලිය සවිය’ ගැන ශිරන්තිගෙන් ප්‍රශ්න කරයි. ළඟදීම නඩු පැවරීමේ සූදානමක්.
‘සිරිලිය සවිය’ ගිණුමේ තිබූ රුපියල් මිලියන 35ක මුදලක් භාවිත කරමින් කොළඹින් ශිරන්ති රාජපක්ෂ ගේ නමින් මිලදීගත් ඉඩමක් සහිත නිවස ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඇයව කැඳවා පැය 04ක් ගැන ප්‍රශ්න කරයි.
කතරගම මැණික් ගඟ අසබඩ රක්ෂිතයේ ඉදිකළ ආන්දෝලනාත්මක මිලියන 40යේ නිවස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරා ගනී. ගෝඨාභය සහ යෝෂිතගෙනුත් ප්‍රශ්න කරයි. විදුලි බිලේ ඇති ජී. රාජපක්ෂ යනු තමන් නොවේ යැයි ගෝඨාභය කියයි. අයිතිකරුවෙක් නොමැති එම දේපළ අපවත්වී වදාළ කිරිවෙහෙර නාහිමි ආචාර්ය අලුත්වැව සෝරත හිමි හැදූ එකක් බව කියා විමර්ශන අවසන් කෙරේ.
මාධ්‍යවේදීන්ට කළ පහරදීම් සහ ඝාතන සම්බන්ධයෙන් යටපත් කළ විමර්ශන සහ නඩු වේගවත් කෙරේ. පහරදීම්, පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ ඝාතනය කිරීම් පිටුපස සිටි හමුදාවේ සහ හමුදා බුද්ධි අංශවල පිරිසක් ගැන අනාවරණයක්. එකම තැනකින් ඒ සියල්ල මෙහෙයවූ බවට තොරතුරු.
මින්නේරිය කඳවුරෙන් 2019 සහ 2020 කාලයේදී ගිනිඅවි පැන්නූ විමර්ශනවලට නැවත පණ දෙයි. ටී 56 අවි 73ක් පන්නා පාතාලයට බෙදූ හැටි අනාවරණ කරගනී. යුද හමුදා මේජර්වරයෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට. තව පිරිසක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇස ගසාගෙන සිටී. යහපාලන ආණ්ඩුව සමයේදී දේශපාලනඥයන් සමග ඉතා කිට්ටුවෙන් සිටි රටම දන්නා නිළියකගේ නිවසක්ද ගිනිඅවි සොයා සෝදිසි කරයි.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් කිහිප දෙනෙක් පස්සේ අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පන්නයි. රාජපක්ෂවරුන්‍ගේ සමීපතමයෙක් වූ මිද්දෙණිය කජ්ජාගේ අබිරහස් ඝාතනයක් සමග තාජුඩීන් ඝාතනයේ සැඟවුණු රහස් රැසක් එළියට.
2006 වසරේදී යුක්රේනයෙන් මිග්-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 7.8කට අධික රජයේ මුදල් වංචා කිරීම සහ මූල්‍ය විශුද්ධිකරණය සම්බන්ධයෙන් පවතින නඩුවට පණ දෙයි. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මරණය පිටුපස ඇත්තේද මිග් ගනුදෙනුව හෙළිකිරීම බව පෙනීයයි. මිග් ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයෙක් වන්නේ මහින්ද රාජපක්ෂගේ ඥාති සහෝදරයෙක් වූ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගයි. ගෝඨාභය රාජපක්ෂ එකල ආරක්ෂක ලේකම්වරයාව සිටි බැවින් ඔහුටද චෝදනා එල්ලවිය. ඔහු ජනාධිපති ධුරයට පත්වීමත් සමග ජනපති මුක්තියේ පිහිටෙන් වැඩේ ගොඩදා ගත්තේය. 2022 දී ඔහු ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග එම මුක්තිය අහෝසි විය. නැවතත් ගෝඨාභයට මිග් ගනුදෙනු සිද්ධියෙන් බේරීමට ඉඩක් නැත. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන දැන් නැවත වැඩ අල්ලා ඇති බැවිනි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් යානා 10ක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක කොමිස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශන කාලයක් තිස්සේ තිබුණේ යට ගසාය. එය නැවත හාරා අවුස්සා එළියට ගන්නේ වත්මන් ආණ්ඩුවයි. මේ සම්බන්ධයෙන් ඍජුවම චෝදනා එල්ල වන්නේ රාජපක්ෂවරුන්ටය.
මෙම වංචාවේ ප්‍රධාන සැකකරු වන්නේ මෙම වංචාව සිදුවූ බව කියන 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිටි ප්‍රධාන විධායක නිලධාරීන් කපිල චන්ද්‍රසේනය. අල්ලස් කොමිසම හමුවේ ඔහු කර ඇති පාපෝච්ඡාරණය අනුව කොමිස් මුදලින් රුපියල් මිලියන 60ක් ලබාදුන්නේ යැයි කියන්නේ මහින්ද රාජපක්ෂ අතටය. තවත් මිලියන 20ක් ලබාදුන්නේ යැයි කියන්නේ එවක සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාව සිටි ප්‍රියංකර ජයරත්නටය. ඒ හැරුණු කොට චමල් රාජපක්ෂගේ පුතෙක් වන ශමීන්ද්‍ර රාජපක්ෂටත් කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලිටත් චෝදනා එල්ලවී ඇත. ශමින්ද්‍ර එකල ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.
මෙම වංචාවේ හැම රහසක්ම දන්නා කපිල චන්ද්‍රෙස්න සියදිවි හානිකර ගත්තද රටින් පලාගොස් සිටින ශමින්ද්‍රටත්, නියෝමාලිටත් බේරිල්ලක් නැත. දැනට ඔවුන්ට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර අවසන්ය. ඉදිරියේදී එම වරෙන්තුව ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයක් බවට පත්වෙමින් ඔවුන් දෙදෙනා මෙරටට රැගෙන ඒම අල්ලස් කොමිසමේ අපේක්ෂාවයි. ඒ අතර මහින්ද රාජපක්ෂගෙන් ද අල්ලස් කොමිසම ප්‍රශ්න කරනු ලැබුවේ මෙම වංචාවට ඔහුගේ සම්බන්ධයක් ගැන චන්ද්‍රසේන මියයන්නට පෙර කර තිබූ ප්‍රකාශයක් මුල්කරගෙනය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයෙක් වන නිශාන්ත වික්‍රමසිංහ අවස්ථා දෙකකදීම වත්මන් රජය යටතේ අත්අඩංගුවට ගත්තේය. ඒ ඔහු සභාපතිවරයාව සිටි වකවානුවේ රටේ ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙනුවෙන් ගුවන් ගමන් මාර්ගයක් අත්තනෝමතිකව වෙනස් කර රජයට ඩොලර් දහස් ගණනක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් සහ 2014 වසරේ මැතිවරණ ව්‍යාපාරයට රජයේ මුදල් රුපියල් මිලියන 1.25ක් අවභාවිත කිරීම සම්බන්ධයෙනි. 2025 ජුනි 27 වැනිදා මුලින්ම අත්අඩංගුවට ගත් ඔහු ජූලි 15 වැනිදා ඇප මත නිදහස් විය. දෙවැනි වර ඔහුව අත්අඩංගුවට ගන්නේ 2026 මාර්තු 24දාය. ඒ, ඉන්ධන බිල්පත් වංචාවක් සම්බන්ධයෙනි. ඇප මත මේ වනවිට සිටින ඔහු මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ ඥාති සහෝදරයෙකි.
2008 – 2009 කාලවකවානුවේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව තරුණයන් 11ක් කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් වූ’විමර්ශනද මෙතෙක් පැවැතියේ ඉබි ගමනින්ය. දැන් නැවතත් ඒ සම්බන්ධයෙන් විමර්ශනවලට පණ ලැබී ඇත්තේ නීතිපති උපදෙස් මත පසුගිය කාලයේ මුදාහැර සිටි හිටපු නාවික හමුදාපතිවරයෙක් වන රවීන්ද්‍ර විජේගුණවර්ධන නැවත සැකකරුවෙක් ලෙස නම්කරමිනි.
ගෝඨාභය පාලන සමයේදී රසායනික පොහොර එක රැයින් තහනම් කරමින් චීනයේ ‘කිංඩාඕ සීවින් බයෝටෙක්’ සමාගමෙන් ගෙන්වන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක අසූචි පොහොර නැව සම්බන්ධයෙන් වූ විමර්ශනයක් රට තුළ සිදුවන්නේ දැන්ය. මෙරටට නොලැබුණු පොහොර තොගයක් සම්බන්ධයෙන් ගෙවූ ඒ මුදල සම්බන්ධයෙන් ඇත්තේ ආන්දෝලනාත්මක තත්ත්වයකි. වත්මන් රජය යටතේ විමර්ශන ආරම්භ කරමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගත්තේය. මේ ගැන එවකට කෘෂිකර්ම ඇමැතිවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍රගෙන් ප්‍රකාශ සටහන්කර ගත්තේය. ඉදිරියේදී ඔවුන් දෙදෙනාට චීන අසූචි පොහොර සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුකරයට මුහුණ දීමට සිදුවනු නියතය.
වත්මන් ආණ්ඩුව බලයට එනතුරු රාජපක්ෂවරුන්ගේ වත්කම් සොයන්නට තරම් එඩිතර නොවීය. වගකිවයුතු ආයතනවල නිලධාරීන්ට ඒ ගැන සොයා බලන්නට උනන්දුවක් පවා නොවීය. දැන් ඒ හැමෝගේම වත්කම් සොයා බලන්නට පටන්ගෙන හමාරය. ඒ අනුව මහින්ද රාජපක්ෂගේ පවා වත්කම් සොයන්න අල්ලස් කොමිසම පියවර ගෙන හමාරය. ඒවායේ ප්‍රතිඵලද තවත් මාසයක් දෙකක් යන විට බලාගත හැකිය.
දූෂණ වංචා සහ අක්‍රමිකතා එල්ලවී අත්අඩංගුවට පත්ව ඇප මත මේ වනවිට රාජපක්ෂවරු 03 දෙනෙක් හිටපු ජනපතිවරයෙක් ඇතුළු හිටපු ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු රැසක් සිටිති. ඒ අය මෙසේය.
- නාමල් රාජපක්ෂ
- යෝෂිත රාජපක්ෂ
- බැසිල් රාජපක්ෂ
- ජොන්ස්ටන් ප්‍රනාන්දු
- විමල් වීරවංශ
- චාමර සම්පත්
- රනිල් වික්‍රමසිංහ
- මර්වින් සිල්වා
- කෙහෙළිය රඹුක්වැල්ල
- ප්‍රසන්න රණවීර
- සජින් ද වාස් ගුණවර්ධන
- සතීසවම් වියාලේන්ද්‍රන්
- රාමනාදන් අර්චුනා
- හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
- රාජිත සේනාරත්න
- මනූෂ නානායක්කර
- ප්‍රේමලාල් ජයසේකර
- ප්‍රසන්න රණතුංග
- ශෂීන්ද්‍ර රාජපක්ෂ
(දකුණු පළාත් මහ ඇමැතිවරයෙක් වූ ශාන් විජයලාල්ද ඉකුත් සතියේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තේය. මේ වනවිට ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය)
දූෂණ, වංචා, ඝාතන, පැහැරගැනීම් ඇතුළු වත්කම් සම්බන්ධයෙන් ජනපතිවරු තුන්දෙනෙක් ගැනත් පුළුල් විමර්ශන
- රනිල් වික්‍රමසිංහ
- මහින්ද රාජපක්ෂ
- ගෝඨාභය රාජපක්ෂ
අනුරගේ ආණ්ඩු සමයේදී නඩු ඉක්මන් වී වංචා දූෂණ සම්බන්ධයෙන් හිරේ ගිය හිටපු දේශපාලන බලවත්තු
- හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ බරපතළ වැඩ ඇතිව අවුරුදු 25යි
- හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු බරපතළ වැඩ ඇතිව අවුරුදු 25යි
- හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන බරපතළ වැඩ ඇතිව වසර 16යි
- උතුරුමැද හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් බරපතළ වැඩ ඇතිව වසර 16යි
- එස්.එම්. රංජිත්ගේ පුද්ගලික ලේකම් හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රෙස්නගේ බිරිඳ බරපතළ වැඩ ඇතිව වසර 16යි
- හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ බරපතළ වැඩ ඇතිව වසර 02යි
- හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත බරපතළ වැඩ ඇතිව වසර පහමාරයි
- හිටපු ඇමැති ඒ.එච්.එම්. ෆවුසි බරපතළ වැඩ ඇතිව වසර 02යි. එම දඬුවම වසර 10කට අත්හිටුවයි
වත්මන් ආණ්ඩුව බලයට ආවේම දූෂණය වංචාව පිටුදකින බව කියමිනි. ඒ අතර රාජපක්ෂ ආණ්ඩුව සමයේදී සිදුවූ අපරාධ ගොන්නක් ගැනම කියමින් ඔවුන් රට හමුවේ කියාපාන්නට වූයේ තමන් බලයට ආ සැණින් ඒ සෑම අපරාධයක් සම්බන්ධයෙන්ම විමර්ශන පවත්වා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනවිත් දඬුවම් පමුණුවන බවය.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්ව වැඩි කලක් යන්නට මත්තෙන් මැතිවරණ වේදිකාවේ කීවා සේම ඔහු ඒ වගකීම පොලිසියට පවරනු ලැබීය.
ශ්‍රී ලංකා පොලිසිය නිල වශයෙන් රට හමුවේ තැබුවේ ආන්දෝලනයට තුඩුදුන් ප්‍රධාන සිදුවීම් 07ක් සම්බන්ධයෙන් කඩිනමින් නැවත විමර්ශන පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය හරහා පොලිස්පතිවරයාට නියෝගයක් ලැබී ඇති බවය. ඒ වන විට පොලිස්පති ධුරයේ ප්‍රියන්ත වීරසූරිය මහතා සිටියේ වැඩ බලමිනි.
පොලිසියට පැවරුණු එකී විමර්ශන අතර ඉහළින්ම තිබුණේ 2019 වසරේ පාස්කු ඉරුදින එල්ල වූ අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනයයි. ඒ වනවිටත් එකී විමර්ශන පැවත්වෙමින් තිබුණේ ඇල්මැරුණු ස්වභාවයෙනි. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසු රටින් පලාගියේ යැයි කියැවුණු සාරා ජෙස්මින් පවා මියගිය බවට වූ රස පරීක්ෂක වාර්තාද ඒ වනවිට එළියට දමා තිබුණේ බොහෝ දේවල් සඟවමිනි. ඒ හැම දෙයක්ම සිදුවෙමින් තිබුණේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ මහමොළකරු මෙන්ම කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කරගැනීමට බව දැන් කියැවෙන අලුත්ම විමර්ශන තොරතුරුවලින් සහ කතාබහවලින්ද පැහැදිලිය.
එකී විමර්ශන ඔස්සේ දැන් හොඳ හොඳ කතා දවස ගානේ එළියට එමින් ඇත්තේ වැඩි කල් යන්නට මත්තෙන් පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාර මාලාවේ මහ මොළකරු ඇතුළු කුමන්ත්‍රණකරුවන් රට හමුවේ අනාවරණ වනු ඇතැයි විශ්වාසයන්ද සමගිනි.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ චරිතයක් වන සාරා ජෙස්මින් මියගිය බවට වූ’ඩී.එන්.ඒ. වාර්තාවද ලෝක බොරුවක් බවට දැන් පත්ව හමාරය. එම ඩී.එන්.ඒ. වාර්තාව එළියට ආ හැටි ගැනද ඇත්තේ සුවිශේෂ විමර්ශනයකි. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි කල් යන්නට මත්තෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේද කිහිප දෙනෙක් නීතිය හමුවට ගෙන එනු ඇත. ඒ සාරා මැරුණු බවට වූ ඩී.එන්.ඒ. වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රශ්නගතව ඇති බැවිනි. අඩුම තරමින් රස පරීක්ෂක කාර්යාලයේ එම ඩී.එන්.ඒ. වාර්තාවට පදනම් වූ ජෛව සාම්පල පවා සොයාගන්නට නැත. ඒ සෙසු සාම්පල සියල්ලක්ම ඒ විදිහටම තිබෙන පසුබිමකය.
පාස්කු ඉරිදා එල්ලවූ’ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව සයින්දු මරුදුහි නිවසකදී සිදුවූ පිපුරුම්වලින් මියගිය අය අතර සාරා ජෙස්මින් නොමැති බව ඩී.එන්.ඒ වාර්තා දෙකකින්ම තහවුරු වී තිබියදීත් මළ සිරුරු ගොඩගෙන තුන්වැනි ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කළ යුතු බවට දැඩි මතයක් ඉදිරිපත් කළේ යැයි කියැවෙන්නේ සුරේෂ් සලේය. ඒ ගෝඨාභය ආණ්ඩුවේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස සිටි වකවානුවේදීය. ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී එවක සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ඔහු මෙන්ම එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකරන ලෙසට කර තිබුණේ දැඩි බලපෑමකි.
මේ වනවිට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටින සී.ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඒ සියල්ලක්ම කියා ඇති බව සඳහන්ය. ඒ කටට එන පළියට නොව, පොලිස් සේවයේ නිරතව සිටියදී ඔහු ඒ සම්බන්ධනේ තැබූ සටහන්ද සමගිනි. ආරක්ෂක මණ්ඩලයේදී ඒ සම්බන්ධයෙන් කළ බලපෑම් ගැන පවා ඔහු සටහන් තබා තිබී ඇත. ඒ දේවල් අද ප්‍රබල සාක්ෂි බවට පත්ව ඇත්තේ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශන යට ගැසීමටත් නොමග යැවීමටත් උත්සාහ දැරූවන්ට වැඩ වරදිමිනි. බොහෝ දෙනකුට හිරේ විලංගුවේ වැටෙන තරමට එම සටහන් බලපා ඇති බව සඳහන්ය.
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාව හා බැඳුණු මහමොළකරු හඹායමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් මුලින්ම කොටුකර ගන්නේ හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේය. මෙතෙක් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉහළම නිලධාරියා වන්නේද ඔහුය.
එවක සිිටි පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක ලේකම්වරයාව සිටි හේමසිරි ප්‍රනාන්දුට එල්ලවී ඇත්තේ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමේ චෝදනා මිස ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීමක් ගැන නොවේ. ඒ අනුව අලුත් විමර්ශන තත්ත්වයන්ට අනුව සුරේෂ් සලේගෙන් පසු තවත් පිරිසක් එක පෝලිමට නීතිය හමුවට ගෙන ඒමට නියමිතය. ඒ දේවල් සිදුවන්නේ පිළිවෙළකටය. ලැබෙන සාක්ෂි මතය. ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට පියවර ගෙන ඇත්තේ ඒ අනුවය. ඒ මෙම විමර්ශනයේදී ගෝඨාභය රාජපක්ෂ ද වැදගත් චරිතයක් බවට පත්ව ඇති බැවිනි. ඒ ගැන ඉදිරියේදී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරනු ඇත. ඒ සඳහා ඔහුව මෙරට තුළ රඳවා ගැනීම සඳහා විදෙස් ගමන් තහනමක් පැනවීමට කටයුතු කළ බව පැහැදිලිය. ඒ ඇතැම් විට මේ විමර්ශන අස්සේ ගෝඨාභය රාජපක්ෂ විදෙස්ගත වුවහොත් ඔහුගේ සහෝදරයා වන බැසිල් රාජපක්ෂ මෙන් අල්ලා ගැනීමට නොහැකි වනු ඇතැයි සැක කරමින් විය හැකිය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අංශ ප්‍රධානී සලේ අත්අඩංගුවට ගෙන මේ කරන විමර්ශන සියල්ලක්ම පෙළගැසී ඇත්තේ හඹායන මහමොළකරු පස්සේය. මේ හැම දෙයකටම මගපෑදෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු විමර්ශන කණ්ඩායමක් ප්‍රංශයට ගොස් ප්‍රබල සාක්ෂිකරුවකු මුණගැසීමත් සමගිනි. ඔහු වෙන කිසිවෙක් නොව, එල්.ටී.ටී.ඊ.යේ හිටපු සන්නද්ධ නායකයෙක් මෙන්ම නැගෙනහිර පළාතේ හිටපු මහඇමැති සිවනේෂ තුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ හිටපු ලේකම් අසාද් මවුලානාය.
මේ වනවිට රටින් පලාගොස් යුරෝපීය රටක දේශපාලන රැකවරණය ලබමින් සිටින ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබාදීමට ඔහු රැඳී සිටින රටේ සිට ප්‍රංශයට ගෙන ආවේ යැයි කියන්නේ පිල්ලෙයාන්ගේ කණ්ඩායම විසින් වෙඩිතබා මරාදැමූ දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුතෙකු විසිනි. මේ ගමන සංවිධාන වන්නේ ප්‍රංශයේ ලියෝන් නුවරදී ඉකුත් පෙබරවාරි අග පැවැති ජාත්‍යන්තර පොලිස් සමුළුවකටද සහභාගි වීමට ශානි ඇතුළු කණ්ඩායම යන අතරතුරදීය. පොලිස් සමුළුව පෙන්වා ශානි ඇතුළු පිරිසක් ප්‍රංශයට ගිය සැබෑ අරමුණ වූයේ අසාද් මවුලානා මුණගැසීමය.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මහමොළකරු සොයා කරනු ලබන පරීක්ෂණ උඩුයටිකුරු වන්නේ ඒත් සමගිනි. නැගෙනහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා පවා මේ වනවිට අධිකරණයේ පිහිට පතා ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරන විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඔහුවද අත්අඩංගුවට ගැනීමේ අවදානමක් මතුවී ඇති බැවිනි. ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අත්අඩංගුවට පත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසය. ඒ කොයි මොහොතකදී හෝ තමාව අත්අඩංගුවට ගනු ඇතැයි සැකයක් වරුණ ජයසුන්දරට පැනනැගී ඇති බැවිනි.
පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන් මෙන්ම මහමොළකරු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එසේ විමර්ශන පවත්වන අතරතුර වත්මන් ආණ්ඩුව පොලිසියට ලබාදුන් තවත් ඉලක්කයක් වූයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී අබිරහස් ලෙස මරණයට පත් වූ ජනශක්ති රක්ෂණ සමාගමේ ප්‍රධානියෙක් වූ දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය ගැන වූ විමර්ශනයයි.
ඒ පෙර ආණ්ඩු සමයේදී කුමන හෝ හේතුවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම මරණය සියදිවි හානිකර ගැනීමක් බවට පත්කිරීමට කළ උත්සාහයත් අධිකරණය විසින් එය එසේ නොවන බවටත් එය අපරාධයක් බවටත් නිගමනයකර තිබීම හේතුවෙනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එදා ඔහුගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බව කියන විට දිනේෂ් ශාෆ්ටර්ගේ පවුලේ උදවිය ඊට එරෙහිව සටන් කළේය. එසේ නොවන්නට එම මරණය සියදිවි හානිකර ගැනීමක් සේ සලකා සියල්ල එතැනින් හමාර කරනු ඇත. දැන් එම මරණය පත්ව ඇත්තේ නොවිසඳුණු මරණයක් බවටය. එම මරණයේ අබිරහස විසඳන්නට ආණ්ඩුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් විමර්ශකයන්ට ඉලක්කයක් ලබාදී ඇතත් තවමත් ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවධානයක් යොමුවී ඇති බවක් නම් දැනගන්නට නම් නැත. ඒ නිසාම දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය කාලයේ වැලිතලාව අතරේ වැළලී යන්නට ඇති ඉඩකඩ බොහෝය.
ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ’විමර්ශනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආණ්ඩුව ලබාදුන් සුවිශේෂ විමර්ශන 07 අතර ඇති විමර්ශනයකි. 2011 වසරේ දෙසැම්බර් 09 වැනිදා යාපනයේදී අතුරුදන් කෙරෙන ඔවුන් මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනෙකි. ඔවුන්ගේ අතුරුදන්වීම දේශපාලනය හා බැඳුණු ආරක්ෂක අංශයේ ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් බව එකල කියැවිණි. එහි සැකයන් විවිධ පාර්ශ්වයන්ට එල්ලවී ඇතත් ඒ ගැන නිසි විමර්ශනයක් පසුගිය කාලය පුරා සිදු නොවීය.
යහපාලන ආණ්ඩුව පැවැති සමයේදී ඒ ගැන සොයන්නට විවිධ පාර්ශ්ව සහ පොලිසිය උනන්දුවක් දැක්වුවත් ගෝඨාභය රාජපක්ෂ ජනපති වීමත් සමග ඒ හැම දේකටම තැබෙන්නේ නැවතීමේ තිතය. එම අතුරුදන් වීම සිදුවන විට රටේ ආරක්ෂක ලේකම්වරයාව සිටියේ ගෝඨාභය රාජපක්ෂය. ඒ නිසාම ඔහුගෙන් ප්‍රකාශ ගැනීමට මෙන්ම සාක්ෂි ගැනීමට අධිකරණයට කැඳවීමට ගත් උත්සාහයන් රැසක්ම පසුගිය කාලය පුරාවටම දේශපාලන බලය හමුවේ අසාර්ථක වී තිබිණි. එහෙත් දැන් එසේ නැත. අධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂට සාක්ෂි ලබාදීමටත් සිදුව හමාරය. යාපනය අධිකරණයට ගොස් සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ඔහුට ඇති ආරක්ෂක හේතුවක් මත වීඩියෝ තාක්ෂණයෙන් ඔහුට එම අවස්ථාව ලැබී ඇත. ඒ යැයි කියා තවමත් ලලිත් කුගන්ට වූ දෙයක් සොයාගෙන නැත. ඒ සම්බන්ධයෙන් වූ’විමර්ශනවල නිමාවක් කවදා දකින්නට ලැබේදැයි කියාද පැහැදිලි නැත.
යහපාලන ආණ්ඩුව සමයේදී සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාව ලෙස සැලකෙන මහබැංකු බැඳුම්කර වංචාව ගැන විමර්ශනද කඩිනම් කරන ලෙස බලයට පත්වූ සැණින් ආණ්ඩුව විසින් පොලිසියට ලබාදුන් ඉලක්කයකි. එම විමර්ශනයේ සාර්ථකත්වය බැඳී ඇත්තේ එවක සිටි මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සමගිනි. ඔහු නොමැතිව ඉදිරි විමර්ශනයක් නැති තරම්ය. සිංගප්පූරුවේ සිටින බව කියන ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට කළ හැකි බොහෝ දේවල් කළත් ඒ සියල්ලක්ම මේ වනවිට පත්ව ඇත්තේ ගඟට කැපූ ඉනි බවටය. අඩුම තරමින් අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් ගත් ආකාරයටවත් අර්ජුන මහේන්ද්‍රන්‍ගෙන් ප්‍රකාශයක් ගැනීමට හැකියාවක් ලැබී නැත.
ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලද මාධ්‍යවේදියෙක් වන ඩී.පී. සිවරාම් නොහොත් තාරකී ඝාතනය වන්නේ 2005 වසරේදීය. පැහැර ගැනීමට ලක්වූ තාරකි මරා සිරුර දමාගොස් තිබුණේ පාර්ලිමේන්තු සංකීර්ණය පේන නොපෙනෙන දියවන්නා ඔය අයිනේය. එදා මෙම ඝාතනය ගැන විමර්ශන පවත්වනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි. එහි ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ සරත් ලූගොඩය. එම ඝාතනයේ අලගිය මුලගිය තැන් සියල්ලක්ම කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හෙළිකරගත්තද ඉදිරි විමර්ශනවලට එල්ලවී තිබුණේ දැඩි බාධාය. ඒ නිසාම විමර්ශනවල අවසානයක් දක්නට නොවීය. එකල පැවති රාජපක්ෂ ආණ්ඩුවට හිතවත් උතුරේ ක්‍රියාත්මක වූ සන්නද්ධ දේශපාලන කණ්ඩායමක් මෙම අපරාධය සිදුකළ බව එකල අනාවරණය වී තිබුණි. මහරගම පිහිටි එම කණ්ඩායමේ නිවසක් ගැනද තොරතුරු හෙළිවිය. මෙම අපරාධය ගැනත් සොයන ලෙස ආණ්ඩුව විසින් පොලිසියට භාරකර ඇතත් එම විමර්ශනයද තවමත් ඇත්තේ පෙර පැවති තැනේමය.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස සේවයේ නිරතව සිටියදී 2006 වසරේදී පැහැරගැනීමට ලක්ව අතුරුදන්වූ මහාචාර්ය සිවසුබ්‍රනියම් රවින්ද්‍රනාත් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුකරමින් ඇත. ඒ ආණ්ඩුව විසින් පොලිසියට භාරදුන් විශේෂ විමර්ශන අතර එම අතුරුදන්වීමද ඇති බැවිනි.
2006 වසරේ දෙසැම්බර් 15 වැනිදා මහචාර්යවරයාව පැහැරගෙන ඇත්තේ පිල්ලෙයාන්ගේ කණ්ඩායම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන හමාරය. ඒ එම පැහැරගැනීමෙන් වසර 19කට පසුවය. එතෙක් කාලයක් එම විමර්ශනය තිබුණේ පැමිණිල්ලකට පමණක් සීමාවෙමිනි. 2025 වසරේ අප්‍රේල් 08 වැනිදා පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්නේ ඒ සම්බන්ධයෙනි. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට ඔහුගේ ඇති සම්බන්ධය ගැන කියැවෙන්නේ අනතුරුවය.
මහාචාර්යවරයාව පැහැරගෙන ගොස් රඳවා තබාගෙන ඇත්තේ වැලිකන්දේ පිහිටි කඳවුරකය. එය පිල්ලෙයාන් විසින් පවත්වාගෙන ගිය වධ කඳවුරකි. පිල්ලෙයාන්ගේ කණ්ඩායම කප්පම් නොගෙවූ ව්‍යාපාරිකයන් පැහැරගෙනැවිත් දෙතිස් මහා වධ බන්ධනයට ලක්ව ඇත්තේ එම කඳවුරේදීය. මහාචාර්යවරයාද එහි වධ විඳ අවසානයේදී මරාදමා ඇළකට සිරුර විසිකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැන් හෙළිකරගෙන හමාරය. ඒ පිල්‍ලෙයාන්ගේ කල්ලියේ සිටි දහ පහළොස් දෙනෙක්ද කොටුකර ගනිමිනි. ඒ අතර පිල්ලෙයාන්ගේ හැම රහසක් ගැනම දන්නා රියැදුරාද සිටීම විශේෂිතය. මේ සම්බන්ධයෙන් වූ විමර්ශන අවසන් කිරීමට දැන් ඇත්තේ මහාචාර්යවරයාගේ සිරුර සොයාගැනීමට පමණි. සිරුර දැමූ තැනද සොයාගෙන ඇතත් තවමත් එතැනින් ඇට කැබැල්ලක්වත් සොයාගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී නැත. මේ තත්ත්වය මත නඩුවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පැනනැගී ඇත්තේ ගැටලුවකි. ඊට ශානි අබේසේකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුහුණ දෙන හැටි ආණ්ඩුවද බලා සිටින බව පැහැදිලිය.
රනිල් ආණ්ඩුව සමයේදී රට තුළ දැඩි ආන්දෝලනයට තුඩුදුන් වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩිතැබීම ගැනද ආණ්ඩුවට තිබුණේ ලොකු උනන්දුවකි. ආණ්ඩුව ආ හැටියේම ඒ ගැන විමර්ශනද පැවරෙන්‍නේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. පාර්ලිමේන්තුව තුළද මේ ගැන විමර්ශනයක් පැවැති අතර දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති පුටුව අහිමි වන්නේද එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
දේශපාලන වුවමනාවකට පොලිසිය ගැසූ ගේමක් ලෙස එම වෙඩිතැබීම මේ වනවිට විමර්ශන ඔස්සේ අනාවරණ වී හමාරය. දේශබන්දු ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 08 දෙනෙක් අත්අඩංගුවට පවා ගන්‍නේ ඒ අනුවය. ඒ යැයි කියා තවමත් මේ ගේම පිටුපස සිටියේ යැයි කියන දේශපාලනඥයාට කිසිවක් සිදුව නැත.
අපේ ජනබල පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් උන්වහන්සේ බියගන්වා 2020 වසරේදී එම පක්ෂයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීම සම්බන්ධයෙන් සැකපිට අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගත්තේද වත්මන් ආණ්ඩුව බලයට ඒමෙන් අනතුරුවය. වේදිනිගම හිමියන් එහිදී දේශබන්දුගේ නමත් සමග වැලිගම සිදුවීමට නම කියැවෙන දේශපාලනඥයාගේ නමද කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ කියා තිබුණි. වැලිගම සිදුවීමට මෙන්ම වේදිනිගම හිමියන්ගේ පැහැරගැනීම ගැනීමේ විමර්ශනයේදී පවා එකී දේශපාලනඥයාගෙන් අඩුම තරමින් ප්‍රකාශයක්වත් ලබාගැනීමට පොලිසිය අදටත් එඩිතර වී නැත.
රුවන් වෙඩිවර්ධන










