දරුවෙකුගේ ජීවිතයේ පළමු වචනය, පළමු පියවර, පළමු සිහිනය හැඩගස්වන්නේ මවුපියන්. තමන්ගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් ජීවත් වූ ඒ මවුපියන් වයසට ගිය පසු ඔවුන් සිය අවසන් කාලය සතුටෙන් සැනසීමෙන් සහ ආදරයෙන් ගෙවිය යුතුයි. ඒත් හොරණ අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ පිහිටි ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ පසුගියදා සිදුවූ ඛේදවාචකය මුළු රටම සසල කළ සිදුවීමක් බවට පත්වුණා.Sri Lanka Latest News
තමන්ගේ දරුවන්ගෙන් අහිමි වූ උණුසුම, රැකවරණය සොයා එහි ආ වැඩිහිටියන් පිරිසකට අවසානයේ උරුම වුණේ ගිනිදැල්. ජීවිතයේ අවසන් කාලය නිහඬව නිදහසේ ගතකිරීමට බලාපොරොත්තු වූ මිනිසුන් 13 දෙනකුගේ ජීවිත එහිදී මිනිත්තු කිහිපයකින් නිමාවට පත්වුණා. තවත් පිරිසක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් මේ වනවිටත් රෝහලේ ඇඳන් මත වේදනා විඳිනවා.
මේ ඛේදවාචකය ගැන විවිධ අය විවිධ චෝදනා එල්ල කරන්නට වුණා. සමහරු කිව්වා සේවිකාව ගේට්ටුවල අගුළු දමා ගිය නිසා ජීවිත බේරාගන්න බැරි වුණා කියලා. තවත් සමහරු කිව්වා දම්වැල් දාලා බැඳලා තිබුණු නිසා බේරාගන්න බැරිවුණා කියලා. ඒ වගේම මේ වැඩිහිටි නිවාසයේ ආරක්ෂාව ගැනත් බොහෝ විවේචන එල්ල වුණා. මේ ආයතනය රජයේ ලියාපදිංචිය ලබාගෙන නැති බවද බලධාරීන් පවසා තිබුණා.
‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ පාලිකාව ඉන්ද්‍රානි ඒකනායක මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ මෙලෙසයි.
‘මේ අනතුර සිදුවන අවස්ථාවේ මමවත් ආයතන ප්‍රධානියාවත් හිටියේ නැහැ. හේතුව මීට කලින් සිදුවුණු මරණයක කටඋත්තර දෙන්න පොලිසියට ගිහින් හිටියේ. මම අපේ නේවාසිකයන්ට අවශ්‍ය බෙහෙත් ගන්න එළියට ගිහින් හිටියේ. මේ වෙලාවේ හිටියේ සේවකයන් දෙදෙනකු විතරයි. අපිට කෝල් එකක් ඇවිත් අපි එතැනට එනවිට ආයතනයට එන්නට බැරි තරමට එතැන ගිනිගොඩක් බවට පත්වෙලා. 2024 තමයි මේක පටන් ගන්නේ. අපි මේ ආයතනය මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දාලා ලියාපදිංචි කරන්න උත්සාහ දැරුවා. 2025ත් ලිපි ඉදිරිපත් කරලා නිලධාරින් ඇවිත් සටහන් පොතේ සටහන් තබා ගිහින් තියෙනවා. අපිට උපදෙස් ලැබුණා. වැඩිහිටියන් 31කට වැඩි පිරිසක් හිටියා අනේ අපිව බලාගන්න කියලා ආව අය. මෙතැන ඉන්නේ මානසික ආබාධ සහිත විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්. එයාලා පාලනය කරන්න හරිම දුෂ්කරයි. අපි විතරක් දම්වැල් දාලා කියන්න බැහැ. අංගොඩ රෝහලට ගියොත් එයාලාත් දම්වැල් දාලා තියෙනවා. එකම කෙනෙක් විතරයි මානසික ආබාධයක් නිසා ි දම්වැල් දාලා හිටියේ. ප්‍රදාන විදියට ලැබුණු මෙට්ට 80ක් තිබුණා. ඒවා තමයි ගිනි අරගෙන තිබුණේ. කරන්ට් එක ලීක් වෙලා කියලා තමයි කියන්නේ. තාමත් මට හිතාගන්න බැහැ මොනවාද වුණේ කියලා….’
ග්‍රාමීය සංවර්ධන, ප්‍රජා සංවර්ධන සහ සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවැසුවේ මේ ආයතනය ලියාපදිංචි කර නොමැති බවත්, ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාසවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.
මේ නිවාසය ගැන බොහෝ චෝදනා එල්ල වී ඇති බවයි අවට සිටින්නන් පවසන්නේ. පසුගිය 03 වැනිදා මේ නිවාසයේ සාත්තු සේවා කටයුතු කර තිබුණේ සඳමාලි නමැති කාන්තාවක් සහ ඇගේ ස්වාමිපුරුෂයා වන චතුරංග නමැත්තායි. මේ නිවාසේ හිමිකරු වුණේ ඉසුරු නමැති පුද්ගලයෙකි.
සඳමාලිගේ ස්වාමිපුරුෂයා වන චතුරංග පැවැසුවේ මෙවැනි දෙයකි.
‘දවල් දානේ අරගෙන ආපු කට්ටිය දානේ දීලා එළියට වෙලා වාඩිවෙලා හිටියා. අපිත් කට්ටියත් එක්ක විහිළු කර කර ඉන්න ගමන් සවස 5.10ට විතර වැහි පොද වැටෙන්න ගත්තා. මම එතකොට කෑගැහුවා කට්ටියට පිරිමි අයට කිව්වා ඇතුළට යන්න කියලා. මගේ වයිෆ්ට කිව්වා ගෑනු කට්ටිය ඇතුළට දාන්න කියලා. රෑට කන්න දෙන්න ඕනේ නිසා කුස්සියට ගියා උයන්න. මේ නිවාසයේ වැඩිහිටි අය වැඩි හරියක් කියන දේ අහන්නේ නැහැ. වැටෙන් පැනලා හරි යනවා. කුස්සියට ගිහින් හාල් ටික ළිපේ තිබ්බා විතරයි දයාසීලි කෑගැහුවා ගිනි ගන්නවා කියලා. ගින්නක් ගින්නක් කියලා කෑගහද්දි මම එළියට පැනලා කුස්සියෙන්ම ඉස්සරහ පැත්තට යන්න පුළුවන් දොර ඇරගෙන ගෑනු පැත්තට යන්න යනකොට මම දැක්කා මෙට්ටවලින් ගින්දර යනවා. මෙට්ට 80ක් විතර තිබුණා. මම ටි්‍රප් ස්විච් එක නිවලා මෙට්ට ටික නිවන්න දිව්වා. මම දුවන කොට ගොඩක් ගිනි ඇවිලිලා ඉවරයි. පිටිපස්සේ හිටපු පිරිමි කට්ටිය දැම්මා බාත්රූම් එකට. ටික දෙනෙක් ඉස්සරහට අරන් එළියට බැස්සා. පස්සේ ගෑනු පැත්තට දිව්වා. දුවනකොට මගේ වයිෆ් ටික දෙනෙක් එළියට අරගෙන. මම 4 දෙනෙක් ගැනු කට්ටිය ගත්තා එළියට. එයින් දෙන්නෙක් හොස්පිට්ල් යවන්න සිද්ධ වුණා. මම අතට ගන්නකොට මස් ගැලවිලා එනවා. ඒ පිලිස්සිලා නිසා.
ඔහුගේ බිරිඳ සඳමාලි කිව්වේ මෙවැනි කතාවක්…
‘මමත් ගෑනු ළමයෙක්ව එළියට ගත්තා. ගිනිගන්න කාමරේට ගිහින් ජනෙල් රෙද්දේ ඔතාගෙන තමයි මම එළියට ආවේ. මමත් ගත්තා පස් හය දෙනෙක් එළියට. පස්සේ ගමේ කට්ටිය ඇවිත් මට කිව්වා ඔයා ගෑනු කෙනෙක්නේ ඔයාට බෑනේ මෙයාලා ගන්න ඔයා ගේට්ටුව ළඟ ඉන්න, අපි අනිත් අයව ගන්නම් කියලා. ඒ අනිත් අය පැනලා යයි නිසයි. දම්වැල දාලා හිටපු කෙනා තමයි බේරාගන්න බැරිවුණේ. එයාගේ කකුලේ ලොකු තුවාලයක් තිබුණා. ඒක නිසා තමයි දම්වැල් දැම්මේ එයාගේ ආරක්ෂාවටමයි. මෙයාලාව කවදාවත් බඩගින්නේ තියලා නැහැ. සර් අතින් හරි වියදම් කරලා චූන් පාන් අරන් දෙනවා. ගේට්ටුව ළඟට ඇවිත් කට්ටිය මැරුණා කියලා ඇඬුවා. ඒත් අපි කවදාවත් දැකලා නැහැ ඒ අය ඇවිල්ලා බලන් ඉන්නවා. පරුෂ වචන කියන නිසා තමයි ගමේ කට්ටිය මෙයාලාට අකැමැති. සමාජ මාධ්‍යයේ කියලා තිබුණා රන් මාලයක් ගන්න ඇවිත් කෙනෙක් නැති වුණා කියලා. එහෙම දෙයක් වුණේ නැහැ. එදා දානයක් දෙන්න ආව අය පබළු මාල නම් දිලා තිබුණා කට්ටියට. ඊට අමතරව වෙන රන් ආභරණ නම් තිබුණේ නැහැ. සමහරු මට චෝදනා කරලා තිබුණා සඳමාලි ගේට්ටුව වැහුව නිසයි එළියට යන්න බැරිවුණේ කියලා. අපි උයන්න යනකොට යකඩ දොර වහනවා. කුරුළු කියන්නේ අපේ නිවාසේ පාලිකාව.’
බොහොමයක් මේ නිවාසේ සිටියේ මානසික ආබාධ සහිත වයසක පුද්ගලයින්. ගොඩාක් අය කිව්වේ දම්වැල් දාලා නිසා මේ අය මියගියා කියලා. මොවුන් නම් පැවැසුවේ එක් අයකු පමණයි එසේ දම්වැල් දාලා සිටියේ කියා. මේ දෙදෙනා බොහෝ දෙනෙකු බේරගනු ලැබුවේ ගින්දර මැදින් ගොසිනි. සමහරු නම් චෝදනා කළේ 70ක් දාන්න බැහැ මේ වැඩිහිටි නිවාසේ කියලයි. නමුත් සඳමාලි නම් කිව්වේ හිටපු අය සතුටෙන් පුළුවන් විදියට හිටිය බවයි. ඇතුළත් වීමේ ගාස්තු වශයෙන් හැත්තෑ පන්දහක් ගන්නවා. මෙහි හිමිකරු විසින් බොහෝ වැඩිහිටියන් මේ නිවාසයට ගෙනත් තියෙන්නේ පාරේ සිටින විටදියි.
මේ වැඩිහිටි නිවාසයට නළු නිළියන් ගෙන්වා ගනිමින් ටික්ටොක් වීඩියෝ කරමින් මේ නිවාසය ප්‍රසිද්ධියට පත්කර ඇති බවටද චෝදනා නැගුණා. ගමේ බොහෝ අය මේ නිවාසයට චෝදනා නගන්නේ මානසික ආබාධ සහිත පුද්ගලයන් කෑගසන නිසා බවයි මෙහි සේවකයන් පවසන්නේ. මේ වගේ වැඩිහිටි නිවාසයක් බලාගැනීම ලේසි පහසු කාර්යයක් නෙවෙයි. දරුවන්ට මවුපියන් බලාගන්න බැරිකොට පිට කෙනකු මේ කාර්යය කරනකොට සුළු සුළු වැරදි වන්නට පුළුවන්. මේ වැඩිහිටි නිවාසයට අමතරව තවත් නිවාස 2ක් ගලපාත සහ සේරුපිල යන ස්ථානවල පිහිටලා තියෙනවා. අද වනවිට මෙහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් රජයේ ආයතනයක් විසින් ඉටුකළ යුතුව තිබූ සේවයක් තමයි මෙහි හිමිකරු විසින් සිදුකරමින් තිබුණේ.
පොලිසිය අධිකරණ ඉදිරියේ පවසා තිබුණේ මේ වැඩිහිටි නිවාසයේ ගිනි නිවන උපකරණ හෝ ආරක්ෂක තාප්පයක් මෙන්ම හදිසි අවස්ථාවක ජලය ලබාගැනීමේ පහසුකම් සපයා නොමැති බවයි. මේ ආයතනයේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා තිබුණේ දරුවන්ගේ රැකවරණය නොමැති බොහෝ මවුපියන් පිරිසකට මේ ආයතනය විසින් රැකවරණ සපයා දුන් බවයි. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු අනුව හොරණ මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය නියෝග කළේ වැඩිහිටි නිවාසයේ හිමිකරුව ජුනි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
මේ අහිංසක මවුපියන්ගේ අවසාන මොහොතේ හදවතේ තියෙන්නට ඇති අපේ දරුවෝ ඇවිත් අපිව බේරගනීවි කියලා. නමුත් ඔවුන්ට අවසානයේ හිටියේ බොහෝ ජීවිත බේරාගත් සඳමාලි සහ චතුරංග විතරයි. ඔවුන් කළ ඒ සේවයට හිස නමා ආචාර කළ යුතුයි.
එහෙත් නැගෙන සියලු චෝදනාවලට වඩා අප අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන් ජීවිතයම කැප කළ මේ මවුපියන්ගේ අවසානය මෙලෙස විය යුතුද යන්නයි.
සෙනෙහස සොයා ආ ජීවිතවල අවසානය ගිනිදැල් අතරින් නිමාවට පත්වී මේ වැඩිහිටියන්ට සමාජයෙන් අත්වූ ඉරණම ඛේදවාචකයක් බවට පත්වී ඇත. මෙවැනි අනුවේදනීය ඉරණමක් මවකට පියෙකුට තබා කිසිම මනුෂ්‍යයෙකුට අත් නොවේවා යන්න අද මුළු රටම ප්‍රාර්ථනා කරන්නේ එබැවිනි.

නිලන්ති රේණුකා










