විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට ආණ්ඩුව දරන උත්සාහය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කොට තිබේ.Sri Lanka Latest News
2026.06.03
මාධ්‍ය නිවේදනය
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවරුන්ගේ (උපරිමාධිකරණ විනිසුරුවරුන්) විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහල නැංවීමට ආණ්ඩුව දරණ ප්‍රයත්නයක් පිළිබඳ ව මේ දිනවල සමාජය තුළ බරපතළ සංවාදයක් මතුව තිබේ. මේ මොහොතේ මෙවැනි තීරණයක් ගැනීමට ඇති අවශ්‍යතාව ආණ්ඩුව විසින් කිසිදු පැහැදිලි කිරීමක් හෝ සිදු නොකිරීම බරපතළ සැකයකට තුඩුදෙන කරුණකි. මෙම ප්‍රවෘත්තිය පිළිබඳ ව වහාම කරුණු පැහැදිලි කිරීම ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා සතු වගකීමක් සහ වගවීමක් බව අවධාරණය කරමු.
ගරු උපරිමාධිකරණ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කරන ලද්දකි. එහි වෙනසක් හෝ සංශෝධනයක් සිදු කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයකින් පමණ බව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නොදැන සිටීම පුදුමයට කරුණකි.
වර්තමාන ආණ්ඩුව බලය ලබා ගැනීමට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එකසිය අනූ හතර වැනි (194) පිටුවේ පැහැදිලිව ම සඳහන් කර ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර එය මහජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයකින් ද සම්මත කර ගන්නා බව යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විටින් විට කරනු ලබන සංශෝධනවලට එරෙහිව අතීතයේ දී වැඩි ම හඬක් නැගූයේ ද වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ය.
බලය ලබා ගැනීම සඳහා විවේචන, විරුද්ධ වීම සහ ජනතා පෙළගැස්වීම් සිදු කළ වර්තමාන පාලකයින් යළියළිත් පෙන්වා දෙන්නේ ඔවුන් සිදු කළ ප්‍රකාශ හා ක්‍රියාවට නංවන වැඩපිළිවෙල අතර බරපතළ පරස්පරයක් ඇති බව යි.
මෙම යෝජනාව තුළ ආණ්ඩුව පැහැදිලිව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලබන අතර නීති පද්ධතියේ අඛණ්ඩතාව, නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු බලපෑමක් සිදු කරනු ලැබේ.
මෙවැනි සංශෝධනයක් තුළින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද ?වර්තමානයේ අධිකරණ තුළ කටයුතු කරන ගරු විනිසුරුතුමන්ලා අනුප්‍රාප්තිකයින් ලෙස කටයුතු කිරීමට සුදුස්සන් නොවන බව ද ? නැතහොත් යම් ඉලක්කගත පුද්ගලයකුට හෝ කිහිප දෙනකුගේ අවශ්‍යතාවන් ඉටු කොට ඒ තුළින් අධිකරණයට වක්‍ර බලපෑමක් සිදු කිරීම ද ? මෙම ප්‍රශ්න සමාජය තුළ කථිකාවට ලක්ව ඇති සාධාරණ කරුණු වේ.
එමෙන් ම ආණ්ඩුව මේ තුළින් සුදුසුකම් ඇති උසස්වීම් සඳහා අවකාශය ඇති ගරු විනිසුරුවරුන්ට ඒ සඳහා වූ කාලය තවත් වසර දෙකකින් ඉදිරියට ගෙන යෑම බරපතළ අසාධාරණයකි. එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විසි අට වැනි (28) ඡේදයේ මූලික යුතුකම් යටතේ පෙන්වා දෙන (ඉ) වගන්තිය පැහැදිලිව ම උල්ලංඝනය කිරීමකි. එමඟින් පෙන්වා දී ඇත්තේ සෙසු අයගේ අයිතිවාසිකම් සහ නන්වැදැරුම් නිදහස ද ගරු කළ යුතු බව යි.
පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට ජනවරමක් ලබා ගනිමින් තමාගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ගෙන ඒමට දරණ ප්‍රයත්නය පරාජය කිරීමට නීතියේ ආධිපත්‍යය ස්වාධීනත්වය හා ගරු විනිසුරුවරුන්ගේ ගරුත්වය සුරක්ෂිත කිරීමට අපේක්‍ෂා කරන හා කැපවුණ සියලු ම පුද්ගලයින්ගේ, සංවිධාන හා දේශපාලනලන පක්ෂවල මැදිහත් වීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වූවක් බව අවධාරණය කරමු.
මේ පිළිබඳ ව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ අන්තර්ගතය හා අපි එකඟ වෙමු. ජනාධිපතිවරයා හා ආණ්ඩුව වහාම මෙම යෝජනාව හකුලා ගත යුතු යැයි ද ජනතාවගේ පරමාධිපත්‍යය අභියෝගයට ලක් නොකළ යුතු යැයි ද අපි පෙන්වා දෙමු.
සමගි ජන බලවේගය










