පල්ලම් බස්සවයි අද රට හැටට හැටේ
ලැබගෙන ඇමැතිකම් පස් වසරකට රටේ
දෙන හැටි පෙනෙනවද රට දස අතට බැටේ
අපි උගතුන්ය කිය කිය ඉඳ කතිර කටේ
පල්ලම් බස්සවයි අද රට හැටට හැටේ
දිගුකොට ඇඟිල්ලක් හතරක් පසට නමා
නොපනත්කම් කෙරුමෙ වරදම උපතෙ තමා
වැඩ කොට තිත තබමු ඇයි තැන නොතැන කොමා
කඩිනම් කරනු වැඩ ටික තව නොකර පමා
කෙළ කෙළ කයිවාරු හිස්බස් නිතර කියා
හරියට මාස දහ අටකුත් අපතෙ ගියා
නිසි මග යායුතුය තතු දැන නොමග නොයා
ගුණදම් වඩමු කරුණාමෙත් මුදිත දයා
නැත කුඩුකේඩු ගති හෙළ බොදුවකුගෙ හිතේ
සමගිය වඩන මනුදම් හැම විටෙම ඇතේ
පහරන ගතිය නැත කෑමට ලැබෙන බතේ
එවැනිවු උතුම් ගති ඇත හෙළ පපුව මතේ
අපි හෙළයෝය කවදත් සමගියට ළැදී
සෙසු ජන කොටස් වුව රැකගයි නැසෙනු නොදී
නැහැ දෙස්පාලුවෝ නිසි ජාතකයකට හැදී
බලයට ගිජුව රට දස අත කරති හදී










