මෙරට ඉන්ධන ආනයනය සඳහා මාසිකව ඩොලර් මිලියන 100ක වියදමක් මීට පෙර දැරුවත්, මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඇති වී තිබෙන තත්ත්වය මත මෙරටට මාසික ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 520කට වැඩි මුදලක් වැය කිරීමට සිදු වී ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා වාර්තා පෙන්වා දෙයි.Sri Lanka Latest News
මෙසේ ඉන්ධන ආනයනය සඳහා වැය කරන මුදල වැඩියෙන්ම වැඩි වී ඇත්තේ ඩීසල් සඳහාය. ඩීසල් බැරලයක් සඳහා පෙබරවාරි ඩොලර් 88.8ක මුදලක්ද, මාර්තු ඩොලර් 191.7ක මුදලක්ද, අප්‍රේල් ඩොලර් 199.7ක මුදලක්ද වැය වී තිබේ. මැයි මාසයේදී එහි යම් අඩුවක් පෙනෙන්නට තිබුණද, ඉන්දියාව ඇතුළු රටවල් රැසක් පුරෝකථනය කර ඇත්තේ මැයි මාසය අවසාන වන විට එය නැවත ඉහළ අගයක් ගනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජේ. ඩී. රාජකරුණා මහතා පැවසුවේ මෙවැනි අසීරු තත්ත්වයක් යටතේ වුවද, තවදුරටත් ඩීසල් ලීටරයක් සඳහා රු. 100ක සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රු. 20ක සහනයක් සැලසීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
වැඩියෙන්ම භාවිත කරන ඩීසල් සඳහා දෙන සහනය වෙනුවෙන් මාසිකව රජය රු. බිලියන 57ක වියදමක් දරන බවද සභාපතිවරයා පැවසුවේය.










