ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පසුගිය දිනෙක කිසිදු අනුමැතියකින් තොරව අඩු පොලියට භාණ්ඩාගාර බැදුම්කර මිලියන 10000ක මිලදී ගෙන විශාල පාඩුවකට මග කපා ඇති බව නිරෝෂන් පාදුක්ක මහතා පැවසීය.Sri Lanka Latest News
මෙම පාඩුවට ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා වගකිව යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,
‘‘ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ මහා පරිමාන බැදුම්කර වංචාවක් සිදුවී තිබෙනවා. 2030 ජුනි මාසයේ 1 වැනිදාට කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර මිලියන 10,000 ක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් වෙළඳ පොලේ පවතින පොලි අනුපාතයට වඩා අඩු පොලි අනුපාතයකට ගෙන තිබෙනවා. ඒ අනුව වෙළඳ පොලේ සියයට 10.12 පොලි අනුපාතයකට තිබියදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව බැදුම්කර මිලදි ගෙන තිබෙන්නේ සියයට 9.75 ට. මේ මහා පරිමාන මගඩිය පිටුපස සිටින්නේ සෝමදාස පලිහවඩන කියන රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයෙක්. සෝමදාස පලිහවඩන රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත් කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම. මෙම පුද්ගලයාට ප්‍රසිද්ධ සමාගම් කිහිපයකට කොටස්වල හිමිකාරිත්වය තිබෙනවා. ඒ වගේම රජයේ බැදුම්කර සහ සුරැකුම් මිලදී ගන්න ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයා සෝමදාස පලිහවඩන කටයුතු කරනු ලබනවා. කෙසේ නමුත් මෙම පුද්ගලයාගේ මැදිහත්විමෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිලියන 10,000 ක් අඩු පොලි අනුපාතයකට මිලදී ගන්න කටයුතු කර තිබෙනවා.
මෙම ගනුදෙනුව හරහා සිදුවන දිනක පාඩුව ලක්ෂ 500 කට වඩා වැඩියි. ඒ අනුව මේ ආකාරයට අඩු පොලි අනුපාතයකට බැදුම්කර මිලදී ගැනීම හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට සිදුවන පාඩුව මිලියන 2000 කට වඩා වැඩි වෙනවා. මෙම පාඩුවට ජනාධිපති අනුර දිසානායක සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම සෘජුව වගකිව යුතුයි. ඒ වගේම භාණ්ඩාගාර බැඳුම්කර මිලියන 10,000 ක් මිලදී ගැනීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරින්ගේ අනුමැතියකින් තොරව ගත් බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම රක්ෂණ සමාගම සතුව රටේ ජනතාවගේ මුදල් බිලියන 300 ක් තිබෙනවා. මෙවැනි සමාගමක් බංකොලොත් වීමට ඉඩ නොදිය යුතුයි. ඒ වගේම මෙවැනි කටයුතු මීට පසුව සිදුවීමට ඉඩ නොදිය යුතුයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කරන්න කටයුතු කරනු ලබනවා.
ඒ වගේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස මහරගම නගර සභාවට ජාතික ජනබලවේගයෙන් ඡන්දය ඉල්ලු පුද්ගලයෙක් පත් කරන්න ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් භාණ්ඩාගාර බැඳුම්කර අඩු පොලියකට මිලට ගැනිම වැනි කූඨ ගනුදෙනු තවත් සිදුකළ හොත් රක්ෂණ සංස්ථාව බංකොලොත් වෙනවා. මෙම සිද්ධිය සැලසුම් සහගත මුල්‍ය අපරාධයක් බව පැහැදිලියි. ඒ වගේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස මහරගම නගර සභාවට ජාතික ජනබලවේගයෙන් ඡන්දය ඉල්ලු පුද්ගලයා පත්වුවාට පසුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සිටින අවුරුදු 15 ක් 18 ක් අද්දැකිම් තිබෙන සියලුම නිලධාරින් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ වගේම අලුත් සභාපතිවරයා කිසිදු අද්දැකිමක් නැති පලපුරුද්දක් නැති නිලධාරින් රක්ෂණ සංස්ථාවට පත් කරන්න කටයුතු කර තිබෙනවා.
කෙසේ නමුත් මෙවැනි ගනුදෙනු හරහා රක්ෂණ සංස්ථාව කඩාවැටිමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා මෙම ගනුදෙනු වළක්වා ගන්න ජනාධිපතිවරයාට වහාම මැදිහත්වන්නැයි සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. අඩු පොලියකට බැදුම්කර මිලිදී ගත් සියලුම නිලධාරින්ට වහාම නිතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ හරහා සිදුවන අලාභය ඔවුන්ගෙන් අයකර ගත යුතුයි. අද්දැකිමක් නැති , පලපුරුද්දක් නැති අනුර දිසානායක මුදල් ඇමැතිවරයාගේ මුල්‍ය විනයක් නොමැතිවීම නිසා රටේ සමස්ථ ආර්ථිකයම කඩාගෙන වැටෙනවා. කෙසේ නමුත් මිලියන 1200 ක පමණ පාඩුවක් රක්ෂණ සමාගමට තිබියදී මෙවැනි පාඩු ලබන කටයුතු සිදුකරන්නේ. ආණ්ඩුව රක්ෂණ සමාගමත් මංකොල්ල කාලා තිබෙනවා , භාණ්ඩාගාරයත් මංකොල්ල කාලා තිබෙනවා.
ඒ වගේම හර්ෂණ සුරියප්පෙරුම COLOMBO STOCK EXCHANGE රාජකාරි කළ පුද්ගලයෙක්. මේ කාලයේදී එක්තරා සමාගමකම කොටස් රක්ෂණ සංස්ථාව මිලදී ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙම තොරතුරු පිටවීම සම්බන්ධයෙන් හර්ෂණ සුරියප්පෙරුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නමුත් ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ එම විමර්ශන කටයුතු සිදු වුණේ නැහැ. කෙසේ නමුත් අනුර දිසානායක ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කර තිබෙන්නේ සුදුසු පුද්ගලයෙක්ද යන්න ප්‍රශ්නයක් මතුවෙනවා.
ඒ වගේම රටේ ණය කළමානකරණය මහා භාණ්ඩාගාරයට භාර දෙන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. නමුත් යටිතල පහසුකම් , පිරිස් කළමනාකරණයක් නොමැතිවයි මහ බැංකුව ණය කළමනාකරණය මහා භාණ්ඩාගාරයට භාර දි තිබෙන්නේ. ඒ වගේම ණය කළමානකරණය පිළිබඳව මුදල් ඇමැතිවරයාට කිසිදු දැනුමක් නැහැ. රටේ ආර්ථිකය හැසිරවීමට මුදල් ඇමැතිවරයාට කිසිදු දැනුමක් නැහැ. ඒ වගේම භාණ්ඩාගාරයේ ලේකම්වරයාටත් ණය කළමනාකරණය පිළිබඳව කිසිදු අවබෝධයක් නැහැ. ඔහුට තිබෙන එකම සුදුසුකම ජනාධිපතිවරයාගේ මිත්‍රයෙකු වීම පමණයි. ආණ්ඩුවේ නොහැකියාව නිසා සිදුවන පාඩුවලින් අවසානයේ දුක් විදින්න සිදුවන්නේ රටේ අංහිසක ජනතාවටයි.
ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයක් යනුවෙන් අටවාගෙන සිටින පිරිසට පාර්ලිමේන්තු ඡන්දයක්වත් දිනා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන්ට පාර්ලිමේන්තුවේ කිසිදු නියෝජනයක් නැහැ. ඒකාබද්ධ විපක්ෂයක් නිර්මාණය කරන්න පාර්ලිමේන්තුවේ සිටින සියලුම දේශපාලන පක්ෂ එකුකර ගත යුතුයි. ලංකාවේ පොදු විපක්ෂයක් නැහැ. ලංකාවට තිබෙන්නේ එකම එක පොදු විකල්පයයි. ඒ විකල්පය සමගි ජනබලවේගය පමණයි. ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය ඉදිරියේදී සියලුම දේශපාලන පක්ෂ සමඟ සම්මුතියකින් වැඩ කරන්න කටයුතු කරනු ලබනවා.
ඒ වගේම ක්‍රිකට් සභාපතිධුරයෙක් ශම්ම සිල්වා ඉවත් කරන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ශම්මි සිල්වා ඉවත් කිරිම සඳහා පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව සහය ලබාදෙන්න එදා අනුර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේ නැහැ. එ් වගේම එරාන් වික්‍රමරත්න මහතා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කිරිමේ සුදානම් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. නමුත් ඔහුට එවැනි ආරධනයක් නැති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. එරාන් වික්‍රමරත්න ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක්. දුෂිත ආණ්ඩුවට දුෂිත සැලසුමක් වෙනුවෙන් එරාන් වික්‍රමරත්න මහතා පෙනි සිටියි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. කෙසේ නමුත් ශම්මි ඉවත් කළත් වෙනත් නමකින් ඔහු නැවත පැමිණිමට ඉඩ තිබෙනවා.










