සාම පාගමනෙදී අනුරුද්ධ ලොකුහපුආරච්චි කැප්චර් කරපු ෆොටෝ එකකට බොහෝ දෙනෙක් මේ දවස්වල හිනාවෙනවා. ඒවා දැක්කම මට උන් ගැන ලොකු අනුකම්පාවක් ඇතිවුණා. තමන්ගෙම නොදන්නකමට, පටු මානසික තත්ත්වයටම තමයි උන් මේ හෑලි ලියන්නෙ. හිනාවෙන්නෙ. මේක ලියන්න හිතුවේ ඒ හින්දා. Sri Lanka Latest News
මම අදහන ආගමේ හැටියට කියනවා නම්, අපි උඹලා හැමෝම වගේ බුදු හාමුදුරුවොත් විවිධ ආත්ම භවයන්වල ඉපදිලා ඉඳලා තියනවා. කුක්කුර ජාතකේ තියෙන්නෙ බුදුහාමුදුරුවෝ සුනඛ ආත්මයක ඉපදිලා හිටපු කතාවක්.
මේ ලිපිය දික්වෙන හින්දා ජාතකේම කියන්න මම යන්නෙ නෑ. ඒත් නොදන්න ගොබිලොන්ගෙ දැන ගැනීමට කෙටියෙන් කතාව කියන්නම්.
බරණැස් රජ්ජුරුවො එයාගෙ මාලිගාවෙ උසස් කුලයේ බල්ලො ගොඩක් ඇතිකළා. දවසක් මාලිගාවෙ තිබුණ රජ්ජුරුවන්ගෙ අශ්ව කරත්තෙ ගාලට දාන්න අතපසු වෙලා මිදුලේ නතර කරලා තිබිලා වැස්සට තෙමුණා. තෙමුණට පස්සෙ කරත්තෙ සම්වලින් හදපු කොටස් පෙඟිලා, ඒවායින් හම් ගඳ වහනය වෙන්න ගත්තා. මේ හම් ගඳට ආකර්ෂණය වුණු මාලිගාවෙ උසස් කුලයේ බල්ලො මේ හම් කෑලි කෑලිවලට හපා කෑවා. උසස් කිව්වත් බලු ගති තියනවානේ.
ඊට පසුදා මේක ආරංචි වුණු බරණැස් රජ්ජුරුවන්ට යකා නැග්ගා. සේවකයන්ගෙන් ඇහුවාම රජවාසල සේවකයො කිව්වා දේවයන් වහන්ස වීදිවල ඉන්න බල්ලො කානු දිගේ මාලිගාවට ඇවිත් මේ වින්නැහිය කළාය කියලා. මේක කළේ මාලිගාවෙ රජ්ජුරුවන්ගෙ උසස් බල්ලො ටික කියලා සේවකයො රජාට කිව්වෙ නෑ.
මේකට මළ පැනපු රජ්ජුරුවො නියෝගයක් කළා, වීදි සුනඛයන් සේරම දුටු තැන මරලා දාන්න කියලා. අවසානයේ නගරයේ අසරණ බල්ලො සෑහෙන පිරිසක් ඝාතනයට ලක්වුණා. තවත් පිරිසක් අමු සොහොනට (කනත්තට) ගිහින් හැංගිලා ජීවිත බේරගත්තා. මෙතැන තමයි හිටියෙ කුක්කුර කියන නායක සුනඛයා. ඒ තමයි බෝධිසත්වයෝ.
එයා මේ ගැන වීදි සුනඛයන්ගෙන් කරුණු දැනගෙන අවසානයේ බරණැස් රජු හමුවෙන්න ජීවිත පරදුවට තියලා මාලිගාවට ගියා. ගිහින් ඇත්ත කතාව රජාට කිව්වා. අසරණ බල්ලන් මරාදමන එක නතර වුණේ ඊට පස්සෙ.
මේක තමයි නිධාන කතාව.
ඉතින් බුදු හාමුදුරුවොත් බල්ලෙක් වශයෙන් යම් ආත්මයක සිටියා නම්, මේ සාම පාගමනෙදි කහ සිවුරු එක්ක ආලෝකා ගමන් කිරීම කුමන වරදක්ද?
මට කියන්න ඕනෙ කතාව මේක නෙවෙයි….
ඔය සාම පාගමනෙදි වියට්නාම් හිමිවරුන් එක්ක පොමනේරියන්, ලැබ්‍රඩෝර්, ජර්මන් ෂෙපර්ඩ් වගේ ඇල්සේෂන් බල්ලෙක් ගියා නම් ඔය ආලෝකාට හිනාවෙන උන් හිනා වේවිද?
ඇත්තෙන්ම එහෙම වෙන එකක් නැහැ. ආලෝකාට හිනාවෙන්නෙ ඌ වල් බල්ලෙක් නිසා තමයි…
මම කියපු බරණැස් කාලෙ ඉතිහාස කතාවෙයි, අද සාම පාගමනේ යන ආලෝකාගේ කතාවෙයි යම් සමානකමක් මම දකින්නෙ මේ නිසා. එදත්, රජවාසලේ අශ්ව කරත්තෙ විනාශ කළාට මාලිගාවෙ හිටපු හොඳ උසස් බල්ලන්ට කිසි ප්‍රශ්නයක් වුණේ නෑ. රජවාසලේ බල්ලො කරපු දේවල් නිසා මැරුම් කෑවෙ පාරෙ හිටපු අහිංසක බල්ලො ටික.
යකුනේ, අදත් වෙන්නෙ මේකම තමයි. මේක අපේ සමාජෙට ගළපා ගත්තොත්, ලොකු ලොකු ඈයො මොන බලු වැඩේ කළත්, අපේ උන්ට ඒවා පේන්නෙ නෑ… උන් කරන ඒවටත් වන්දි ගෙවන්න වෙන්නෙ උඹලා අපි වගේ පොඩි පන්තියේ එවුන්ට තමයි. ඒක නිසා ආලෝකාට හිනාවෙන හැම එකාම හිනාවෙන්නෙ උඹලගෙ පන්තියේ එවුන්ටමයි, උඹලටමයි කියලා මතක තියාගනිල්ලා.
අනෙක අර උපාසක අම්මා ගැනත් යමක් කියන්න ඕනෙ. ලොකුහපුආරච්චි හරි, අනෙක් එවුන් හරි කියන විදියට ඒ උපාසක අම්මා වැන්දෙ ආලෝකාටමයි කියලා හිතමුකෝ. සමහර විට උඹලා ජාතක පොත හරි…. කුක්කුර ජාතකේ හරි කියවලා නැති වුණාට, ඒ උපාසක අම්මා සමහර විට ජාතක පොතේ කුක්කුර ජාතකේ කියවලා ඇති. එතුමියට ආලෝකා දැක්කම බෝධිසත්වයො මතක් වුණාද දන්නෙත් නෑනේ….
ඒත් මේ ඡායාරූපයේ ඇත්තම තාක්ෂණික කතාව ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා එයාගේ ෆේස්බුක් පිටුවෙ පෝස්ට් එකක ලියලා තියනවා. ඒකත් කියවපල්ලා…
උපුල් ගලප්පත්ති










