‘ඩෝබි බළකාය’ යන වදන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වන්නකි. වත්මන් ආණ්ඩුවේ පටු තීරණ හා නොනිසි ක්‍රියාකාරකම් වශයෙන් ඇතැමුන් හඳුන්වන සංසිද්ධීන්වල ඇතැයි පැවසෙන අයහපත සඟවා, ආණ්ඩුව කෙරෙහි වන අන්ධ භක්තියෙන් හෝ ආධානග්‍රාහීත්වයෙන් යුතුව ආණ්ඩුව නිදොස් කිරීමට කටයුතු කරන ආණ්ඩුවේ අනුගාමිකයන් සමූහය හැඳින්වීම පිණිස ඒ නම යෙදෙන බව පෙනේ.Sri Lanka Latest News
‘ඩෝබි’ හෙවත් ‘ධෝබි’ යනු හින්දි වදනින් සිංහලට පැමිණි වචනයකි. හින්දි භාෂාවේ එන ධෝබි (ධොබ්) යන වදනේ අර්ථය වන්නේ සේදීම යන්නයි. ඒ අනුව රෙදි අපුල්ලන්නා හෝ රෙදි පිරිසිදු කරන්නා යන අර්ථය මෙහි ගැබ්ව ඇත. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය පාලන සමයේදී මෙම වචනය නිල නොවන මට්ටමින් ඉංග්‍රීසි භාෂාවටද ඇතුළත් වූ අතර, පසුව එය අපේ ව්‍යවහාරික සිංහල බසටද එක්ව තිබේ. ඉන්දියානු ආභාසය සහිත වචනයක් වුවද, අද වනවිට එය එදිනෙදා සිංහල කතාබහේදී බහුලව යොදාගැනෙන්නක් බවට පත්ව තිබේ.
එමෙන්ම මේ වනවිට මෙම වදන සමාජ මාධ්‍ය ඔස්සේ කෙතෙක් ප්‍රචලිතව තිබේද යත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හා ප්‍රකට උපහාස තීරු ලිපි රචකයකු වන සුන්දර නිහතමානී ද මැල්, සිය ‘මානිගේ තීරුව’ නම් ප්‍රකට උපහාස කොලම මගින් මෙම ජන සමූහය ‘දේශප්‍රේමී සේදුම් බළකාය’ ලෙසද හඳුන්වා තිබේ. නමුත් සමාජයේ සැලකිය යුතු පිරිසක් මෙබඳු උපහාසාත්මක නමකට හිමිකම් කියන්නට බලපාන මනෝවිද්‍යාත්මක හා සමාජ මනෝවිද්‍යාත්මක හේතුද තිබේ. තම සිත තුළ මඳින් මඳ රෝපණය වන කරුණු පදනම්ව ගොඩනගා ගන්නා මතවාදයක් එක්වරම ඉවත හෙළීමට කිසිවෙක් කැමැති නොවීම ඊට හේතුවය. යම් ආකාරයකට එසේ වන්නේ නම් ඒ ප්‍රබල මානසික කම්පනයක දී පමණි.
ආත්ම කේන්ද්‍රීය බව යනු මිනිස්, තිරිසන් දෙපාර්ශ්වය කෙරෙහිම පොදුවේ දැකිය හැකි සහජ ලක්ෂණයකි. එය සත්ව ප්‍රජාවගේ පැවැත්ම තහවුරු කරන ‘ආත්ම සංරක්ෂණ උපක්‍රමයක්’ ලෙසද ක්‍රියාත්මක වේ. සැබවින්ම මෙවැනි ආරක්ෂණ ක්‍රියාවලියක් නොපවතින්නට පෘථිවිය මත ජීවීන්ගේ පැවැත්ම පවා අඩාළ වීමට ඉඩ තිබිණි. එබැවින්, ‘ඩෝබි බළකාය’ වැනි අවවහරෙන් හැඳින්වෙන සමාජ සංයුතීන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී, මෙම මූලික මනෝවිද්‍යාත්මක සිද්ධාන්තය අප දැඩිව සිහි තබාගත යුතුය.
මනෝවිද්‍යාඥ ලියොන් ෆෙස්ටින්ගර් විසින් 1957 දී හඳුන්වා දුන් සංජානන විසංවාදය නම් න්‍යායක් තිබේ. එනමින් හැඳින්වෙනුයේ පුද්ගලයකුගේ විශ්වාසයන්, ආකල්ප හෝ වටිනාකම් හා ඔවුන්ගේ ක්‍රියාවන් අලුතින් එළැඹෙන තත්ත්වයන් සමග පරස්පර වනවිට ඇති වන මානසික නොසන්සුන්තාවයි. මිනිස් මනස සහජයෙන්ම තම සිතුවිලි සහ ක්‍රියා අතර එකඟතාවක් පවත්වා ගැනීමට උත්සාහ කරයි. ඒ ඔස්සේ හට ගන්නා තදාත්මීකරණය අතරේ මෙවැනි පරස්පරතාවක් ඇති වූ විට දැඩි මානසික ආතතියක්, කාංසාවක් හෝ වරදකාරී හැඟීමක් නිර්මාණය වේ. මෙම තත්ත්වය ප්‍රධාන වශයෙන් අවස්ථා කිහිපයක දී දැකගත හැක. තමන්ගේ ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කිරීමට සිදුවන ‘බලහත්කාරී අනුකූලතාව’ ඉන් පළමුවැන්නය. තමන් දැඩිව විශ්වාස කළ දෙයකට අභියෝග කරන ‘නව තොරතුරු’ ලැබීම සහ එක හා සමාන විකල්ප දෙකක් අතරින් එකක් තෝරාගැනීමේදී ඇති වන ‘තීරණාත්මක අපහසුතාව’ දෙවැන්න සේ සැලකිය හැක.
එදිනෙදා ජීවිතයේදී මෙම සංසිද්ධිය විවිධ ආකාරයෙන් ප්‍රකාශ වේ. උදාහරණයක් ලෙස, සෞඛ්‍ය සම්පන්නව සිටීමට කැමති පුද්ගලයකු දුම්පානය කිරීමේදී හෝ සතුන්ට ආදරය කරන බව පවසන අයෙකු මස් අනුභව කිරීමේදී ඇති වන අභ්‍යන්තර චිත්තාවේගී ගැටුම පෙන්වා දිය හැකිය. මෙහිදී ඇති වන මානසික අපහසුතාවයෙන් මිදීම සඳහා මිනිසුන් විවිධ මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිත කරති. එහිදී ඔවුන් තම වැරදි හැසිරීම් වෙනස් කිරීම, තමන්ගේ මුල් විශ්වාසය වෙනස් කරමින් හැසිරීම සාධාරණීකරණය කිරීම, තමන්ගේ ක්‍රියාව නිවැරදි බව පෙන්වීමට අලුත් හේතු හෝ තොරතුරු සෙවීම හෝ පවතින ගැටුම නොසලකා හරිමින් එය සුළුකොට තැකීම වැනි ක්‍රියාමාර්ග ඒ අතරින් ප්‍රධාන වේ. අවසාන වශයෙන්, සංජානන විසංවාදය යනු අපේ මනස තුළ ඇති වන අසමතුලිතතාව සමනය කර ගැනීමට අප දරන නිරන්තර උත්සාහයකි.
ඉහත සඳහන් ඩෝබි බළකාය යන උපහාසාත්මක නම පටබැඳීමට ස්ථිරීකරණ පක්ෂග්‍රාහීත්වය නම් න්‍යාය ද ඍජුවම බලපාන බව පෙනෙයි. මෙය මිනිස් මොළයේ පවත්නා ස්වාභාවික දෝෂයකි. මෙහිදී සිදුවන්නේ තමන් දැනටමත් දරන මතය තහවුරු කරන තොරතුරු පමණක් ග්‍රහණය කර ගැනීමත්, ඊට විරුද්ධ තොරතුරු නොසලකා හැරීමත්ය. විවේචන එල්ල වනවිට ඒවා ‘වැරදි දත්ත’ ලෙස බැහැර කර, තමන්ගේ මතයට පක්ෂපාතී කුඩා කරුණක් පවා මහා ඉහළින් අගය කිරීමට පුද්ගලයා පෙලඹේ. බොහෝ දේශපාලනික, ආගමික හෝ සංස්කෘතික මතවාද සම්බන්ධයෙන් මෙය ක්‍රියාත්මක වනු දැකිය හැක.
බොහෝ විට පුද්ගලයකු දරන මතය යනු හුදු අදහසක් පමණක් නොව, එය ඔහුගේ අනන්‍යතාවයේ කොටසකි. විශේෂයෙන්ම දේශපාලනික, ආගමික හෝ සංස්කෘතික මතවාද මෙයට ඇතුළත් වේ. එවැනි මතයකට විවේචනයක් එල්ල වීම යනු තමන්ගේ පෞරුෂයට එල්ල වූ ප්‍රහාරයක් ලෙස පුද්ගලයා දකී. එම නිසා එම මතය අත්හැරීම යනු තමන් ‘පරාජය වීමක්’ ලෙස සලකා ඔහු තව තවත් එම මතය නිවැරදි කිරීම උදෙසා පෙනී සිටියි. මෙය ආත්ම අභිමානය සහ අනන්‍යතාවය යන සමාජ මනෝවිද්‍යාත්මක සංරචක ලෙස හඳුනාගත හැක.
සමහර අවස්ථාවලදී, පුද්ගලයකුගේ වැරදි මතයක් නිවැරදි කිරීමට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ විට, ඔහු එම වැරැද්ද පිළිගන්නවා වෙනුවට තමන්ගේ මුල් මතය කෙරෙහි තිබූ විශ්වාසය තව තවත් වැඩිකර ගනී. විවේචනය එල්ල වන තරමටම ඔහු එම මතය ආරක්ෂා කිරීමට බැඳී සිටින ‘ආරක්ෂකයෙකු’ බවට පත්වේ. මෙම තත්ත්වය පසුබෑමේ බලපෑම ලෙස විස්තර කළ හැක.
යම් පුද්ගලයකු විශේෂිත කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස එම මතය දරන්නේ නම්, විවේචන හමුවේ එය අත්හැරීම තම කණ්ඩායමට කරන ද්‍රෝහිකමක් ලෙස ඔහු සැලකිය හැකිය. හුදකලා වීමට ඇති බිය නිසාම, තර්කානුකූලව වැරදි බව වැටහුණත් පිරිස වෙනුවෙන් එම මතයම දැරීමට ඔහු පෙලඹේ. ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් තුළ මෙම තත්ත්වය බහුලව දක්නට ලැබේ.
පොදුවේ ගත් කල, මෙය විමංසන බුද්ධියට හෝ තර්කයට වඩා හැඟීම් සහ ආත්ම සංරක්ෂණ උපක්‍රම මත පදනම් වූ ක්‍රියාවලියකි. බාහිර විවේචන දරුණු වන තරමට, පුද්ගලයා තම මතය තුළ තව තවත් හුදකලා වීම හෝ එම මතය දරන තවත් පිරිස් සමග එක්වී එය ශක්තිමත් කර ගැනීමට උත්සාහ කිරීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. නමුත් මෙම සංජානන විසංවාදය නම් තත්ත්වය දෙපැත්තට දෝලනය වන පඩි සහිත තරාදියක් මෙනි. අතිවිශිෂ්ට ජනවරමකින් බලයට පත් වන රජයක් වුව ඊළඟ මැතිවරණයකදී අන්ත පරාජයකට ලක්වීමෙන් ඒ බව තහවුරු වේ. ඉහත සඳහන් සමාජ මාධ්‍යයේ ප්‍රචලිත ‘ඩෝබි බළකාය’ පිළිබඳ සමාජ මනෝවිද්‍යාත්මක පදනම එයයි.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
(හිටපු මානව විද්‍යා මහාචාර්ය)










