මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 10.5 (දහයයි දශම පහ) ක් එනම් 640,070 ක් තනි පුද්ගල නිවාස (තනිවම එක් අයකු පමණක් පදිංචි නිවාස)වල පදිංචි බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 වසරේදී සිදු කරන ලද ජන හා නිවාස සංගණනයේදී අනාවරණය වී ඇත. මේ අතරින් වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයන් 370,229 ක් තනිවම නිවාසවල පදිංචිව සිටින බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මින් සියයට 71.3 ක් (හැත්තෑ එකයි දශම තුන) කාන්තාවන්ය.Sri Lanka Latest News
මෙරට සමස්ත ගෘහ කාණ්ඩ සංඛ්‍යාව 6,111,315 කි. ඇතැම් විට නිවාසයක ගෘහ කාණ්ඩ දෙකක් සිටින අවස්ථාද ඇත. සංගණන දත්ත අනුව සමස්ත නිවාස ඒකක සංඛ්‍යාව 6,030,541 කි. 2024 වසරේ ජන හා නිවාස සංගණනය අනුව මෙරට සමස්ත ජනගහනය 21,781,800 ක් වන අතර ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පදිංචි පුද්ගලයන් සංඛ්‍යාව 350 කි. මෙම සංගණනයේ දත්ත අනුව, මෙරට වියපත් ජනගහනය එනම් වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ජනගහනයේ කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරන්නේය. මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 18 ක් වැඩිහිටි ජනගහනය (වයස අවුරුදු 60 හෝ ඊට වැඩි) වාර්තා වේ. ‘වයස්ගත වීමේ දර්ශකය’ (Aging Index) අනුව මෙරට සෑම ළමුන් (වයස අවුරුදු 0 ත් 14 ත් අතර) 100 දෙනකුටම සිටින වැඩිහිටියන් සංඛ්‍යාව 87 ක් ලෙස වාර්තාවී තිබේ. මෙරට ළමා ජනගහන ප්‍රතිශතය සියයට 20.7 ක් (විස්සයි දශම හත) දක්වා අඩුවී තිබේ.
ජනගහනයේ මධ්‍යස්ථ වයස අවුරුදු 35 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඉකුත් 2012 වසරේ කරන ලද සංගණනයට සාපේක්ෂව වසර පහකින් වැඩිවී ඇත. එමෙන්ම රටේ පුරුෂ ජනගහනයට සාපේක්ෂව කාන්තා ජනගහනය ඉහළ ගොස් ඇත. ඒ අනුව, ස්ත්‍රී-පුරුෂ අනුපාතය 93.3 ක් වේ. 2012 වසරේ සංගණනයේදී එය වාර්තා වූයේ 93.8 ක් ලෙසය. විවාහක තත්ත්වය සම්බන්ධ දත්තවලට අනුව ජනගහනයෙන් සියයට 41.8 ක් (හතළිස් එකයි දශම අට) කිසි දිනක විවාහ නොවූවන්ය. මෙය 2012 වසරේ සංගණයේ පැවැතියේ සියයට 30 ක් ලෙසය. පළමු විවාහයේදී මධ්‍යන්‍ය වයස පිරිමි පුද්ගලයන්ගේ 29.2 ක් සහ කාන්තාවන්ගේ 25.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. 2012 වසරේ සංගණනයේදී එය පිරිමි පුද්ගලයන් සඳහා 27.2 ක් වූ අතර කාන්තාවන්ගේ 23.4 ක් විය.
අවුරුදු 65 සහ ඊට වැඩි ස්ත්‍රින්ගෙන් සියයට 44.2 ක් (හතළිස් හතරයි දශම දෙක) වැන්දඹුවන් වන අතර, එම අගය පිරිමින් සඳහා සියයට 10.5 කි (දහයයි දශම පහ).
සමස්ත ජනගහනයෙන් සියයට 61.3 ක් වැඩකරන වයස් කාණ්ඩය (වයස අවුරුදු 15-59) වන අතර සමස්ත ජනගහනයෙන් වැඩිහිටි යැපීමේ අනුපාතිකය සියයට 29.4 ක් (විසි නමයයි දශම හතර) දක්වා ඉහළ ගොස් තිබේ. ළමා යැපුම් අනුපාතිකය සියයට 33.7 කි.
මෙරට සමස්ත ජනගහනයෙන් පුද්ගලයන් 3,223,413 ක් විවිධ මට්ටමේ ක්‍රියාකාරී අපහසුතාවලින් පෙළෙන්නේය. මෙය ජනගහනයෙන් සෑම පුද්ගලයන් 1000 කට 35 දෙනකු වන අනුපාතයකි. මෙරට විරැකියා අනුපාතය සියයට 6 කි. වැඩිම විරැකියාවක් වාර්තා වන්නේ වයස අවුරුදු 20 ත් 24 ත් අතර තරුණ කාණ්ඩයෙනි. මෙරට ජනගහනයෙන් සියයට 19.2 ක් එනම් මිලියන 4.18 ක් බෝ නොවන රෝග එකකින් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් පෙළෙන්නේය. අධික රුධිර පීඩනය, දියවැඩියාව මින් මුල් තැනක් ගන්නේය. වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් අවම වශයෙන් එක් නිදන්ගත රෝගී තත්ත්වයකින් පෙළෙන බව වාර්තා වන්නේය.
මෙරට ජනවර්ග අනුව බැලීමේදී විශාලතම ජන වර්ගය සිංහල වන අතර, එය ජනගහන සංඛ්‍යාවෙන් 16,144,037 කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 74.12 කි. ශ්‍රී ලංකා දෙමළ ජනගහනය 2,681,627 ක් වන අතර, ශ්‍රී ලංකා යෝනක (මුස්ලිම්) ජනගහනය 2,283,246 කි.
සමස්ත ජනගහනයෙන් සියයට 69.8 ක් බෞද්ධයන් වන අතර හින්දු ප්‍රතිශතය සියයට 12.6 කි. ඉස්ලාම් ප්‍රතිශතය සියයට 10.7 කි.
අධ්‍යාපනය සහ සාක්ෂරතා දත්ත අනුව විශේෂිත කාරණයක් වන්නේ වයස අවුරුදු 70 සහ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පවා සියයට 15 කට වැඩි පිරිසක් ඩිජිටල් සාක්ෂරතාවයෙන් යුතුවීමය. ඉහළම පරිගණක සාක්ෂරතාව පෙන්නුම් කරන්නේ වයස අවුරදු 20 ත් 24 ත් අතර කාණ්ඩය වන අතර, ඩිජිටල් සාක්ෂරතාවයෙන් පෙරමුණ ගෙන සිටින්නේ වයස අවුරුදු 15 ත් 19 ත් අතර කාණ්ඩයයි.
2012 වසරේ ජන හා නිවාස සංගණනයට සාපේක්ෂව 2024 වසර වන විටදී මෙරට නිවාස සංඛ්‍යාව 822,801 කින් ඉහළ ගොස් ඇත. ගෘහ කාණ්ඩවලින් සියයට 93.8 කට භාවිතය සඳහා ජංගම දුරකථන පවතින බවද අනාවරණය වේ. රටේ සමස්ත ජනගහනයෙන් සියයට 13 ක් සිය උපන් ස්ථානයෙන් බැහැරව වෙනත් ප්‍රදේශවල පදිංචිවූ ‘ජීව කාලීන සංක්‍රමණිකයන්ය’. වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ ඇති දිස්ත්‍රික්කය වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි (+357,528). දෙවනුවට වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ (+191,524) දිස්ත්‍රික්කයෙනි.










