රන්ජන් රාමනායක පසුගිය දවසක අපූරු කතාවක් කියනවා. ඔහු කියන්නේ මේ ආර්ථික අර්බුද අවස්ථාවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාගේ හැසිරීම සම්බන්ධව. ඇත්තටම මේ අර්බුද අවස්ථාවේදී එතුමන්ගේ හැසිරීමේ ඉතා සාධනීය දේවල් තියෙන බව ඇත්ත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අද මෙතැනට අරගෙන එනකොට මෙතරම් ගැටලුකාරී තත්ත්වයන්ට පත්වුණේත් ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා බවත් ඇත්ත.
රන්ජන් කියන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ තියෙන සකසුරුවම. ඒකට ‘ලෝභකම’ කියන වචනය පාවිච්චි කළත් ගැටලුවක් නැහැ. නමුත් ලෝභකම කියන වචනය ඇතුළේ තියෙන අර නරක ස්වභාවය හිතින් අයින් කරලා මේ වචනය කියවගන්න. සරලව ගත්තම එතුමාගේ තියෙන සකසුරුවම ඉතා හොඳයි. මේක තවත් තේරුම් කරගත්තොත්, ඔහු මේ වෙලාවේ සල්ලි වියදම් කරන්නේ නැතුව සල්ලි ටික ඉතුරු කරගන්නවා. ඒක හරි හොඳ වැඩක් කියලා තමයි රන්ජන් කියන්නේ.
දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි ලංකාවේ ජනාධිපතිවරු මේ විදිහට තියෙන සල්ලි ටික වියදම් නොකර ඉතුරු කරගත්තා නම් මොකක් වෙයිද ලංකාවට? හේතුව තමයි දැන් අපේ රටේ භාණ්ඩාගාරයේ රුපියල් ටි්‍රලියන ගණනක් ඉතුරු වෙලා තියෙනවා කියලා කියනවා. ඒ ටි්‍රලියන ගණන ඉතුරු කරගෙන කිසිම ව්‍යාපෘතියක් අපේ රටේ මහා පරිමාණයෙන් සිද්ධ වෙන්නෙත් නැහැ. විශාල වශයෙන් ජනතාවට පොදු සහන ලැබෙන්නෙත් නැහැ. මේ පහුගිය දවස්වල අපි දැක්කා ඔය විවිධ දේවල් කියවෙනවා රට ඇතුළේ සහන පැකේජ හදලා වගේ දේවල්. හැබැයි වෙන මොකුත් නිශ්චිත ව්‍යාපෘතිමය දේවල් සිද්ධ වෙන්නේ නැහැ රට ඇතුළේ.
අපිට තියෙන ප්‍රශ්නය තමයි ඩී.එස්.ලා මේ විදිහට සල්ලි එකතු කරගෙන ඒගොල්ලෝ කිසි දෙයක් නොකර හිටියා නම් ගල්ඔය ව්‍යාපෘතියත් නැහැ, ඉඩම් බෙදලා දෙන්න වෙන්නෙත් නැහැ, රටේ මහා පරිමාණ සංවර්ධනයක් ඒ වෙලාවේ සිද්ධ වෙන්නේ නැහැ. ජේ.ආර්. ජයවර්ධනලා සල්ලි ඉතුරු කරගෙන සල්ලි ආරක්ෂා කරගෙන වැඩ නොකර හිටියා නම් ලංකාවට ලයිට් ඇත්තෙත් නැහැ, තාක්ෂණයක් නැහැ, මහවැලි ව්‍යාපාරයත් නැහැ. ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ නැහැ.
ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාලා රටේ සල්ලි ඉතුරු කරගෙන මේවා ආරක්ෂා කරගෙන වැඩකටයුතු කරන්න ගත්තා නම් ඇඟලුම් කර්මාන්තය දියුණු වෙන්නෙත් නැහැ, ජනසවිය හම්බවෙන්නෙත් නැහැ, ගම්උදාවල් ලංකාවේ පටන් ගන්න වෙන්නෙත් නැහැ. සල්ලි ටික විතරක් ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි. ඉන්පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායකලාට සමෘද්ධිය දෙන්න සිද්ධ වුණා මිනිස්සුන්ට. ඒ වගේම විවිධ ව්‍යාපෘති රට ඇතුළේ දියත් කරන්න සිද්ධ වුණා. ඒ වගේම බරපතළ යුද්ධයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේක මහින්ද රාජපක්ෂටත් ඒ විදිහටම සිද්ධ වුණා. මහින්ද රාජපක්ෂටත් යුද්ධයක් එක්ක හැප්පෙන්න සිද්ධ වුණා දරුණුවටම. ඔහු සල්ලි වියදම් කරන්නේ නැතුව හිටියා නම් යුද්ධයට, අද රට කොතැන තියෙයිද? අධිවේගී මාර්ග හදන්න, විවිධ දැවැන්ත ව්‍යාපෘති කරන්න මහින්ද සල්ලි වියදම් කරන්නේ නැතුව සල්ලි ඉතුරු කරලා අතේ තියාගෙන හිටියා නම් රට මොකක් වෙයිද? රනිල් වික්‍රමසිංහ වුණත් තමන්ගේ ජනාධිපති කාලය තුළ විවිධ ව්‍යාපෘති සඳහා වෙහෙස වුණා. ඔහුට ඕනෙ නම් තිබුණා සල්ලි ටික අතේ තියාගෙන ‘ඔන්න මං කළා’ කියලා පැත්තකට වෙලා ඉන්න. හැබැයි එහෙම කරන්නේ නැතුව ඔහු බලාපොරොත්තු වුණු සමහර දේවල් කරන්න බැරි වුණත් ටැබ් එක බෙදන එක වගේ දේවල්, නමුත් ඒවා කළා නම් ඒවා මාර දේවල්.
ඉතින් මේ අතර රටට අවශ්‍ය දේවල් තියෙනවා. අපි දන්නවා අධිවේගී මාර්ග පද්ධතිය ලංකාවට ඉතා වැදගත් දෙයක්. මහවැලි ව්‍යාපෘතිය ලංකාවේ තියෙන ඉතා වැදගත් දෙයක්. අපි දන්නවා යුද්ධ කාලේ අපිට නිරපරාදේ සල්ලි විශාල ප්‍රමාණයක් නාස්ති කරන්න සිද්ධ වුණා. ඉතින් ගොඩක් දෙනෙක් හිතනවා ඇති සමහර විට මේ යුද්ධ කාලේ සල්ලි නාස්ති කරපු එක හරි අපරාධයක්. මොකද ඒ වෙලාවේ ඒවායින් අපිට හම්බකරගන්න බැරුව ගියා, ව්‍යාපෘති කිව්වත් ඒවායින් මුදල් හොයන්න බැරි වෙච්ච දේවල් කියනවා. එහෙම තමයි. මහවැලි ව්‍යාපෘතිය කියලා කියන්නේ දැවැන්ත ව්‍යාපෘතියක්. මහවැලි ව්‍යාපෘතියේ ප්‍රතිඵල හොඳ සහ නරක දෙකම තියෙනවා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට වුණත් ඔය කතාවම අදාළයි. ඉතින් ඔන්න ඔය විශාල රෝහල් හදන්නේ නැතුව සල්ලි ටික පැත්තකින් තියාගෙන දැවැන්ත වාරි ව්‍යාපෘතිවලට සල්ලි වියදම් නොකර ඒ සල්ලි ටික ඉතුරු කරලා භාණ්ඩාගාරයේ තියාගෙන පෙන්වන්න තිබුණා ‘මේ අපි ගාව තියෙනවා සල්ලි’ කියලා. ඇත්තටම රටකට අවශ්‍ය වෙන්නේ සල්ලි නෙවෙයි, රටකට අවශ්‍ය වෙන්නේ ව්‍යාපෘති. මිනිස්සුන්ගේ ජනජීවිතය නගාසිටුවීම සඳහා ව්‍යාපෘති. මිනිස්සුන්ගේ ජනජීවිතය පහසු කිරීම සඳහා ව්‍යාපෘති. රටකට ජනාධිපති කෙනෙක් පත්කරලා රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒවා.
සමහර දේවල් තියෙනවා සල්ලි නාස්ති කරපුවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කරපු විශාල සල්ලි නාස්ති කිරීම් තියෙනවා. ඒ සල්ලි නාස්ති කිරීම් ඇතුළේ රොකට් යවලා, එයාර් පෝර්ට් හදලා ඒ කාලේ සමහර නගර හදලා විශාල වශයෙන් මුදල් නාස්ති කළා ඒක ඇත්ත. ඒවා හරි නැහැ ඒවා වැරදියි. හැබැයි රටක ජනාධිපතිවරයෙක් කරන්න ඕනේ පෙට්ටගම් අස්සේ සල්ලි එකතු කරගෙන ‘කිරි අම්මලා’ වගේ ඒවා කොහේ හරි තියාගෙන ඉන්න එක නෙමෙයි.
අපි දන්නවා අනුර කුමාර දිසානායක මහත්මයා මේ වෙලාවේ ඉන්නේ ඉතාම බරපතළ සහ නරක තත්ත්වයක. මොකද මේක පොඩි රටක්. එතුමා අර ‘හුණ්ඩු කතාව’ කියන්නෙත් ඇත්තටම ඒ අදහසින් වෙන්න ඇති. මොකද මේක පොඩි රටක්. ලෝකයේ දැවැන්තයෝ එහෙන් මෙහෙන් රණ්ඩු වෙනකොට අපිට අමාරුයි ඒවට මුහුණ දෙන්න. ඉතින් එතුමාට කියලා කරන්න දෙයක් නැහැ. මොන ජගතා මේ රටේ ජනාධිපති වුණත් කරන්න දෙයක් නැහැ. මේ රටේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වෙලා හිටියත් ඔය තත්ත්වයම තමයි. ඔහුටත් මුහුණ දෙන්න වෙන්නේ ඔය අර්බුදයට.
නමුත් ප්‍රශ්නය තියෙන්නේ සල්ලි ඉතුරු කරගන්නවා කියන එක උත්කර්ෂයට නංවන්න දෙයක් නෙමෙයි. සල්ලි තියෙනවා නම් ඇත්තටම අපේ අතේ, අපි ඒ සල්ලිවලින් ජනතාව සඳහා සහන ලබාදීලා ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරමු. නැත්නම් මේ රට සුරපුරයක් කරන්න ඇවිල්ලා, මේක සුරපුරයක් නෙමෙයි මේක වෙනම එකක් බවට පත්වෙනවා.

ජීවන පහන් තිළිණ










