ලාල්කාන්ත අමාත්‍යවරයා විසින් අලුත සාදා නිමකරන ලද කඩුවෙල පිහිටි ඔහුගේ නිවෙස පිළිබඳ සමාජ මාධ්‍යවල විශාල කතාබහක් ඇතිවී තිබේ. ඒ ගැන යම් අදහසක් සහ Lankapowernews සගයන් කළ සමීක්ෂණයක අදාළ කාරණුද ඇතුළත් කොට මෙසේ එළිදැක්වීමට අදහස් කරමි.Sri Lanka Latest News
බොහෝ දෙනාට ලාල්කාන්ත අමාත්‍යවරයාට මෙසේ සුවිසල් නිවෙසක් සෑදීමට අවශ්‍ය මුදල් ලබාගත්තේ කෙසේදැයි ගැටලුවක් වී ඇත. එය ඉතාම සාධාරණය. වසර 30ක් පූර්ණකාලීනව ජවිපෙ දේශපාලනය කළා යැයි කියන ලාල්කාන්ත ඇමැතිවරයා, අනුන් දෙන දෙයකින් ජීවත්වූයේ යැයි කියන ඇමැතිවරයා, මෑතක් වනතුරුම කියා සිටියේ තම බිරිඳගේ ගුරු වැටුපෙන් දියණියගේ ටියුෂන් ගාස්තු ගෙවා ජීවත් වීමට පවා අපහසු බවය. ඒ අමාරු අවස්ථාවේ මේ කියන ඉඩම් විකුණා ඒවා මුදල් නොකළේ මන්ද?
එසේනම් එසේ කියූ ලාල්කාන්ත අමාත්‍යවරයා ඊට වසර එකහමාරකට පමණ පසු මෙසේ කෝටි ගණනක් වටිනා නිවෙසක් සහ ඉතා වටිනා බඩු භාණ්ඩ මිලදී ගත්තේ කෙසේද? විශේෂයෙන් ලාල්කාන්තලා බලයට ආවේද කලින් රජයන්වල සිටි දේශපාලකයන්ගේ අයථා ඉපැයීම්, හොරකම්, දූෂණ ගැන විශාල කතිකාවක් ගෙන ඒම තුළය.
ලාල්කාන්ත මහතාගේ පවුල් පසුබිම
ලාල්කාන්ත අමාත්‍යවරයාගේ පියා සහ අමාත්‍යවරයාගේ බාප්පලා වන ඇල්බට්, විල්බට් සහ රොබට් යන තිදෙනා මීට දශක කීපයකට පෙර අනුරාධපුර නගරයේ ඉතා ප්‍රසිද්ධියක් උසුලන ලද චරිත තුනකි. අනුරාධපුර මාකට් පෙදෙසේ මේ තිදනාගේ ‘ජොබ්’ එක එකල මාකට් පෙදෙසේ කවුරුත් පාහේ දැන සිටියහ. මා වෙත වාර්තා වන අන්දමට ලාල්කාන්තලා කලැත්තෑවට පැමිණීමට ප්‍රථම පදිංචි වී සිටියේ ඉසුරුමුණිය පාරේ පාර අයිනේ ඉතා කුඩා පැල්පතකය.
ඉසුරුමුණියේ කුඩා පැලක ජීවත්වූ ලාල්කාන්ත ඇතුළු පවුල ඉන්පසු පදිංචියට යන්නේ කලැත්තෑවේ හේනක් සහිත අක්කර පහත් දහයත් අතර ප්‍රමාණයේ ඉඩමකටය. ලාල්කාන්තගේ ඉඩමට අල්ලපු ඉඩම වූ රුබේරුලාගේ ඉඩමද අක්කර 10ක ඉඩමක් බැවින් ලාල්ගේ ඉඩමද උපරිම වුණෝතින් අක්කර 10ක් විය හැක. එකල අනුරාධපුරයේ නගරයෙන් තරමක් පිට මුඩු බිමක් අල්ලාගෙන එය හේනක් වගාකරන මුවාවෙන් ඊට දිසාපති කාර්යාලයෙන් බලපත්‍රයක් ලබාගැනීම ඉතාම පහසු කාර්යයක්ව තිබිණි. නමුත් ලාල්කාන්තලාගේ ඉඩමට බලපත්‍රයක් තිබුණාදැයි නිශ්චිත නැත. එසේම බලපත්‍රයක් තිබී එය පසුව ඔප්පුවක් බවට පත්කර ගත්තේදැයි යන්නද නිශ්චිත නැත.
මේ හේනට අමතරව වසරකට වරක් වැහි වතුරෙන් වැඩකළ හැකි කුඹුරු කෑල්ලක්ද තිබිණි. එහෙත් ඒ කාලයේ මේ ඉඩමේ වගාකළ කෙනෙක් දකින්නට නොලැබුණු නමුදු 2005න් පසුව ලාල්කාන්ත මුළු ඉඩමම ආවරණය වන සේ අඹ වගාවක් සාර්ථක ලෙස කර තිබිණි.
කෙසේ වෙතත් අනුරාධපුරයේ 88-89 කාලය වනවිට අප විසින් පූර්ණකාලීනව ජවිපෙ දේශපාලනය කරන විටදීද ලාල්කාන්තලාගේ කුඩා නිවෙස කපරාරු කර තිබුණේ නැත. එසේම ඔවුන් කොපමණ දුෂ්කරතාවලින් ජීවිත ගෙනගියද නිවෙසට එන ඕනෑම ජවිපෙ සාමාජිකයකුට කෑම වේලක් ලබා නොදී හිස් බඩවල් පිටින් යැව්වේද නැත. මේ ලාල්කාන්තගේ කලැත්තෑව නිවෙසේ එදා ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සහ අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනම භාරව සිටි ලලිත් විජේරත්න හෙවත් ‘අරවින්ද’ අයියාද, අනුරාධපුර දිස්ත්‍රික් නායක තිස්ස හෙවත් ‘දයාරත්න අයියා’ද ඇතුළු බොහෝ ජවිපෙ ඉහළ පෙළේ සිට පහළ පෙළ දක්වා ක්‍රියාධරයන් ආගිය සහ නැවතී සිටි නිවසකි.
ලාල් නැවත දේශපාලනයට පැමිණීම
ඔහු බූස්සෙන් නිදහස් වෙලා ආවට පස්සේ කාලයක් නැවතිලා හිටියේ කඩවත ලොකු අක්කා ළඟය. ඒ අක්කා ගොඩක් ට්‍රයි කළා ලාල්ට මොකක් හරි ආදායමක් හදලා දෙන්න. යෝගට් වැඩේ ලාල්ට සෙට් වෙන්නේ ඒ අනුව. හැබැයි ලාල්ගේ යෝගට් වැඩේ දියුණු වුණේ නෑ. එන එන සම්තින් එකෙන් හවසට ලාවට සප්පායම් වෙන නිසාත්, ලාල්ට මහා ලොකු බිස්නස් දැනුමක් නැති නිසාත් වෙන්න ඇති ඒකට හේතුව. කොහොම හරි 94දි ලාල්කාන්තව ආයෙම දේශපාලනයට ඈඳාගන්නේ නන්දන ගුණතිලක. නන්දනට ලාල්ව සෙට් කරන්නේ අරුණ දිසානායක කියන ජවිපෙ 89 කාලේ මැදවච්චිය පැත්තේ කොට්ඨාස සංවිධායකයා. ඔහු දැන් ජවිපෙ නැහැ කියලයි මට වාර්තා වෙන්නේ.
ලාල් 94 ඡන්දෙට එනකොට අනුරාධපුරේ උසාවියේ ඔහු බන්ධනාගාරයෙන් පැනපු එකේ හරි ගෙදර තුවාලකරුවන් දෙන්නෙක් තබාගැනීම ගැන හරි නඩුව තිබුණා. ඒකේ වරද පිළිගෙන ඊට ඔහුට පනවපු දඩය වුණු රුපියල් 250 ගෙවලා ඔහුගේ නීතිය පැත්තේ බාධක ඉවත්කරගෙන තිබුණු බවයි වාර්තා වන්නේ. හැබැයි බූස්ස කඳවුරේ කුඩලිගම වගේ නායකයො වගේ පෙනීහිටපු අය 94 මැතිවරණෙ කර අරිද්දි ලාල්කාන්තලා මැතිවරණෙට සහභාගි වීම වැදගත් කියලත් කියන්න ඕනෙ.
අතිදුෂ්කර කාලය
1998 වගේ කාලේ ලාල්කාන්ත සහ ඔහුගේ බිරිඳ දිල්රුක්ෂිටත් ඉතාම අමාරු කාලයක්. ඒ කාලෙ ලාල්ට තිබුණේ ෆුට් සයිකලයක් විතරයි. ඒ ෆුට් සයිකලේ කලත්තෑවෙ ඉඳලා අනුරාධපුරේ ටවුන් එකට එන්න ලේසිත් නෑ. එතකොට තමයි ලාල්කාන්ත යාපනේ හන්දියේ ටික කලකට පදිංචියට එන්නේ. ඒ ලාල්කාන්තගේ පියාට තිබුණු අනුරාධපුරේ යාපනේ හන්දියේ ඉඩමකට නම් නෙවෙයි. යාපනේ හන්දියෙන් මිහින්තලේ පාරෙ ටික දුරක් ගියාම වම් අත පැත්තේ තිබුණු ෆොරස්ට් එකේ ක්වාටස් එකක. ඒක ලාල්ට දීලා තිබුණේ ෆොරස්ට් එකේ ඔෆිසර් කෙනෙක්. මාසෙකට ගානක් මේ ඔෆිසර්ට ලාල් සහ දිල්රුක්ෂි ගෙව්වා කියලයි වාර්තා වෙන්නේ. දැන් මේ ඔෆිසර් ජීවතුන් අතර නැහැ.
2005න් පස්සේ ලාල්කාන්ත ඔය කලැත්තෑවේ නිවෙස අලුතින් සාදන ලදී. ‘යූ’ හැඩයට හදපු නව නිවෙස පාර පැත්තට නෙවෙයි අනිත් පැත්තට එනම් වත්ත පැත්තට ඇතුළු වීම හදලා ඒ නිවස ‘ගෙස්ට් හවුස්’ එකක් කරන ලදී. මේ ගෙස්ට් හවුස් එක නුවර වැවේ අනිත් කෙළවර පැත්තට කිට්ටුවෙන් තිබුණේ. ඊට මීටර් 100ක් විතර ඈතින් තමයි හිටපු මහ ඇමැති එස්.එම්. චන්ද්‍රසේනගේ හෝටලය පිහිටලා තිබුණේ. කොහොමත් දේශපාලකයෝ හෝටල් අයිතිකාරයෝ වෙන එක රජරට සාමාන්‍ය දෙයක්. ඒක පොහොට්ටුවේද, යූ.එන්.පී. එකේද ජේ.වී.පී. එකේද කියලා අමුත්තක් නැහැ. කොහොමත් මේ ලාල්කාන්තගේ කපරාරු නොකරපු කුඩා නිවෙස විශාල ගෙස්ට් හවුස් එකක් වන්නෙත් ලාල්කාන්ත චන්ද්‍රිකා රජයේ ඇමැති කෙනෙක් වුණාට පසුව බවයි මගේ නිරීක්ෂණය. එබැවින් මේ නිවෙස හැදීමේ මුදල් හොයාගත්තු හැටි ලාල්කාන්ත විස්තර කරන්න ඕනෙ මේ ගෙස්ට් හවුස් එක හදපු විදියේ ඉඳන්. ඔය වත්තේ වවපු අඹවලින් හරි කියලා කිව්වත් කමක් නෑ ඉතින්.
පියානෝවේ කතා වස්තුව
කොහොම හරි ලාල්කාන්ත ජවිපෙ 2000න් පස්සේ දේශපාලනය කරනකොට පක්ෂෙන් දීලා තිබුණා මාදිවෙල මන්ත්‍රී නිවාසවල ගෙයක්. මෙහි ලාල්කාන්තට මන්ත්‍රීකම නොමැති කාලෙත් ඉන්න පුළුවන්කම තිබුණා. නමුත් පසු කාලේ ලාල්කාන්තට කොට්ටාව 255 පාර පටන්ගන්න හරියේ ලොකු ගෙයක් පක්ෂය හරහා ලැබිලා තිබුණා. ඒ ගෙට පක්ෂෙන් කුලියක් ගෙව්වා. ඒක පක්ෂයේ හිතවතකුගේ කියලත් කියනවා. මේ ගෙදර හිටියේ මෑත කාලේ. හැබැයි මේ කොට්ටාව ගෙදර ඉන්න මෑත කාලෙ තමයි ලාල්කාන්ත සහ දිල්රුක්ෂි දැන් මේ කතාබහට ලක්වුණු කඩුවෙල සුවිසල් ගෙදර හදන්න අවසන් අදියරේ වැඩ පටන් ඇරන් තියෙන්නේ. සමහර විට මේ ඉඩම මිලදී ගැනීම ඊට බොහෝ කලින් වෙන්නත් පුළුවනි.
කොහොම හරි පක්ෂෙ ඉන්න ගෙවල් හදන වැඩ දන්න අයත් හවුල් කරගෙන මේ ගෙදර වසර තුනකින් විතර හදාගන්න ලාල්කාන්ත සහ දිල් සමත් වුණා. ගොඩක් ජවිපෙ නායකයො ගෙවල් හැදුවේ පක්ෂයේ හිටපු පහළ සාමාජිකයන්ගේ ශ්‍රමය නිකම්ම ඇරගෙන. මේ කතාව මට කිව්වේ අනුර දිසානායකගේ කැලණිය පැත්තේ හදපු ගෙදර අත්තිවාරම දාන්න නූල් ඇදපු පූර්ණකාලිකයා. නමුත් ලාල්ගේ ඔය ගෙදර තියෙන සමාජ මාධ්‍යවල තියෙන පියානෝ එක ලාල්කාන්තගේ දියණිය, හිරුණිට ලැබිලා තිබුණේ මීට අවුරුදු ගණනාවකට පෙර. ඇය කුඩා සන්දියේ සිටම මේ පියානෝව වාදනය කරන්න පුරුදු වුණා. ඒ නිසා මේ පියානෝව මේ නිවෙස සමග සම්බන්ධයක් නැති බව කියන්න ඕනෙ. මේ පියානෝව මිලදී ගන්නකොට ඒ පියානෝවේ හිස්ටි්‍ර එකත් ඒක එක්කම එයාලට දීලා තියෙනවා. ඒ හිස්ටි්‍ර එකට අනුව මේ පියානෝවේ මුල් අයිතිකරුවන් එංගලන්තයේ රජ පවුලකටත් සම්බන්ධ බවයි දිල්රුක්ෂිලා කියන්නේ ඔය පියානෝව ගැන කතාවෙනකොට. ඒ කියන්නේ පියානෝව පවා ප්‍රභූන්ට සම්බන්ධයි.
මම මේ ලිපිය ලියන්න කලින් කලැත්තෑවේ ලාල්කාන්තගේ ඉඩම කොච්චර වටිනවාදැයි ඒ ඉඩම ගැන දන්න සහ ඉඩම් ගැන හොඳින් දන්න කෙනකුගෙන් ඇහුවාම ඔහු කිව්වේ අවම වශයෙන් රුපියල් කෝටි 2ක්වත් වෙනවා කියලයි. ඉතින් ඒ කලැත්තෑවෙ ඉඩම විකුණලා මේ කඩුවෙල ගෙදර හැදුවා වෙන්නත් පුළුවනි. ලාල් කියන්නේ එහෙමයි. නමුත් මේ නව නිවෙස සහ ගෘහභාණ්ඩවල මුළු වටිනාකම ලාල්ගේ කලැත්තාවේ හේන් ඉඩම්වලින් කවර් කළ හැකි දෙයක් නම් නොවන බව කිව යුතුය. හැබැයි මේ කලැත්තෑවේ ඉඩමට ඔප්පුවක් තියේද නැත්නම් බලපත්‍රයක් තියේද කියලා හරියට කීමට නොහැකියි.
නමුත් ඉතින් චන්ද්‍රිකාගෙ කාලෙත් ඇමැතිවරයෙක් වුණු ලාල්කාන්ත ඔය ඉඩමට බලපත්‍රයක් නොතිබ්බා නම් ඒක හදාගන්නත්, බලපත්‍රයක් විතරක්ම තිබ්බා නම් ඒක ඔප්පුවක් බවට පත් නොකරගෙන ඉන්න තරම් මෝඩයෙකුත් නෙවෙයි. හැබැයි ලාල්කාන්ත කියන අක්කර 20 ගණන් ලාල්කාන්තගේ පියාට තිබුණේ නැති බවනම් කිව යුතුය. එසේ තිබුණා නම් ඒ අක්කර 20 ගණන් තියාගෙන ලාල්ගේ පියා ඉසුරුමුණියේ පාර අයිනේ පැල්පතකින් ජීවිත ගමන අරඹන්නේ නැත. තම දියණිය හදාවඩා ගැනීමට දෙන්නේද නැත. අක්කර 20ක් තියාගෙන අනුරාධපුර ටවුන් එකේ මාකට් පෙදෙසේ රයිස්තියාදු වන්නේද නැත. එසේ තිබූ බව ලාල්කාන්ත කියනවා නම් ඒවායේ ඔප්පුවල විස්තර දැන් ලාල්කාන්තට ඉදිරිපත් කළ හැකිය.
ලාල්කාන්ත පවුලේ උත්සාහවන්තකම
කැම්පස් ගිය ගමන් ගමේ කොල්ලා අතහැරලා කැම්පස් එකේ කොල්ලෙක් එක්ක සෙට් වෙන එක කැම්පස් යන බොහෝ කෙල්ලෙන්ගේ විදියක් වුණාට ලාල්-දිල්රුක්ෂි දෙන්නාගේ ආදරය එහෙම වුණේ නෑ. ලාල්ගේ ‘පොඩි පොඩි අනම් මනම් වැඩ’ ටිකකුත් ඉවසගෙන ඇය තම පාසල් ප්‍රේමවන්තයා සහ පසුව ආදරණීය සැමියා අතහැරියෙම නැහැ. ඒ මදිවාට වසර 30ක් ජොබ් එකක් නොකර ෆුල්ටයිම් කරපු ලාල්කාන්තවත් එකම දියණියත් නඩත්තු කරගෙන රැකබලාගෙන කාපු කට්ට කවුරුත් කතා කරන්නෙ නෑ. ජවිපෙ බොහෝ සාමාජිකයන්ගේ බිරින්දෑවරු තම ස්වාමියා මෙලෝ රැකියාවක් නොකර සිටිද්දී සිය පවුල රැකබලා ගැනීමේ වගකීම ඒ බිරින්දෑවරුම දැරුවා. ඒ අතින් ඒ කාන්තාවන්ගේ කැපවීම අතිවිශිෂ්ටයි. නමුත් ජවිපෙ තුළදීම වුණත් ඒ අය ගැන ප්‍රශංසාවක්වත් ඒ අයට හිමි වුණේ නෑ.
ලාල් සුපිරි නිවසක හිමිකාරයෙක් ලෙස
ලාල්කාන්තගේ මේ කතාව ලියද්දි මට හිතුණේ ලාල්කාන්ත මොන තරම් වාසනාවන්ත ෆුල්ටයිම්කාරයෙක්ද කියලා. මොකද ඒ කාලේ ෆුල්ටයිම් කරපු බොහෝ දෙනාට අද වෙනකොට ඉන්න හිටින්න තැනැක්වත් නෑ. ලෙඩකට බේත් ටිකක් ගන්න විදියක් නෑ. මොකද තරුණ කාලෙ පක්ෂය වෙනුවෙන් හැකි සෑම කැපකිරීමක්ම කරලා එයාලට හති වැටුණාම අද බලන්නවත් කෙනෙක් නෑ. සමහර එදා ෆුල්ටයිමස්ලාගේ පවුල්වල දරුවොවත් එයාලාව ගණන් ගන්නෙ නෑ. මොකද දරුවො අහනවලු අපිට මොනවද කළේ කියලා. තවත් බොහෝ ෆුල් ටයිමස්ලාට ජීවත් වෙන්න වාසනාව තිබුණෙත් නෑ 89 න් පස්සේ. ඒ අතින් බැලුවත් ලාල්කාන්ත පට්ට ලකී.
නමුත් අවුරුදු 30ක් ෆුල්ටයිම් කළා කියන ලාල්කාන්ත අද කොළඹින් සුපිරි නිවෙසක් හිමි ප්‍රභූ පන්නයේ දේශපාලකයෙකි. දැන් ඔහු පෙනීසිටි පීඩිත පන්තියට ඔහුට වගකීමට අවශ්‍ය නැත. මමද ඔය කියන ‘නිර්ප්‍රභූ’ දේශපාලනයට බොහෝ විවේචනයක් ගෙන ආ කෙනෙකි. එන්.පී.පී. එක බලයට එන්න කලින්මත් මම බොහෝ විට ලිව්වේ මේ වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය හදල තියෙන්නෙම ප්‍රභූන් උදෙසා කියලා. එතකොට එක්කෝ ප්‍රභූන් බලයට පැමිණිය යුතුය, නැත්නම් බලයට පත්වන අය ප්‍රභූන් විය යුතුයි. දැන් වෙමින් තියෙන්නේ මම පෙන්නලා දීපු දෙවැනි එක. ඒ කියන්නේ නිර්ප්‍රභූන්, ප්‍රභූන් බවට පරිවර්තනය වීම. නමුත් එන්.පී.පී. එකට ඡන්දය දීපු බොහෝ අහිංසක ඡන්දදායකයන්ගේ ආශාව වුණේ ප්‍රභූන් පන්නලා නිර්ප්‍රභූන් බලයට ගෙනත් එයාලා නිර්ප්‍රභූ විදියටම තියාගන්න.
නමුත් බලයට ආවාම මේ ඡන්දදායකයා සහ බලය හොබවන එන්.පී.පී. දේශපාලකයා අතර පරතරය දිනෙන් දින විශාල වෙන එක දැන් එන්.පී.පී. එකට ඡන්දෙ දීපු අයට බලා ඉන්න බැරි තත්ත්වයකට ඇවිත් වගේ. නමුත් ඔය තත්ත්වය අපි පෙන්වා දුන්නේ මැතිවරණයටත් බොහෝ කලින් ඉඳලා. ජවිපෙ තවමත් ගම්වල ෆුල්ටයිම් කරන හරි පඩි නොගෙන නොකා නොබී වැඩකරන කවුරු හරි මෝඩ තකතීරු මල්ලිලා ඉතුරු වෙලා ඉන්නවා නම් මේවා ගැන ටිකක් හිතන්න කාලය ඇවිල්ලා කියලා තමයි කියන්න වෙන්නේ. මොකද ඒ මල්ලිලාගේ වටිනාකම ‘බින්දුව’ වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.
කොහොමත් ලංකාවේ ජාතික ජන බලවේගයට ඡන්දය දීපු සහ එයට කඩේ ගිය බොහෝ දෙනාට ඉදිරි කාලයේ අහන්න දකින්න වෙන්නේ එයාලා බලාපොරොත්තු වුණු දේවල් නම් නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනස් දේවල්. මේ ඡන්දදායකයන්ගේ දැඩි අමනාපය දැන් දැන් ප්‍රාදේශීය ජාතික ජනබලවේග දේශපාලකයන්ගේ පිටින් යවන තත්ත්වයක් මතුවී තියෙන්නේ. මේ දිනවල නොයෙක් තැන්වල සමුපකාර ඡන්දය පරාදවීම්, ප්‍රාදේශීය දේශපාලකයන්ට ‘හූ’ කියා පලවාහැරීම් ආරම්භවී තියෙන්නේ. මේ තත්ත්වය ජවිපෙ ප්‍රමුඛ එන්.පී.පී. නායකත්වය ‘රතු එළියක්’ ලෙස තේරුම් ගත්තේ නැත්නම් ඊළඟ අදියරවල් මීට වඩා භයානක වියහැකි බව එයාලට මේ වෙනකොට තේරුම් යන්න ඕනෙ. නමුත් එහෙම තේරෙන සෙට් එකක් ඔවුන් අතර ඉන්නවද කියලා නම් සැකසහිතයි.
නිර්මාල් දේවසිරි ඇදුරුතුමාගේ විග්‍රහය
දැන් අපිට ඉතාම පැහැදිලිව පේන්න තියෙන කාරණයක් තමයි බලයට එන්න පෙර බටපතුරු වගේ කැහැටු ඇඟවල් තිබුණු ජාතික ජන බලවේගයේ හිටපු බොහෝ ජවිපෙ නායකයන් මස් දාලා පපඩම් වගේ පිම්බිලා එන හැටි. හිල් ජොක්කු ඇඳල යන යන තැන්වල ජවිපෙ හිතවතුන්ගේ ආධාරකරුවන්ගෙන් පිනට යැපුණු ජවිපෙ නායකයෝ ෆුල්ටයිම් කරන ගමන්ම රුපියල් කෝටි ගණනින් එකවුන්ට්වල ගොඩකරගත්තු හැටි. මේවා ගැන ඉතින් ඉතාම ශාස්ත්‍රීය විග්‍රහයක් මහාචාර්ය නිර්මාල් දේවසිරිගෙන් ඉදිරිපත් වෙලා තියෙනවා සුපුරුදු විදියට. එතුමාට අනුව ඡන්දයට පෙර සිටම ඔහු කීවේ මේ නිර්ප්‍රභූ දේශපාලකයා තමා සිටිය යුත්තේ බවය. නිර්මාල් මැතිවරණයට පෙර සිටම මේ නිර්ප්‍රභූ අය බලයට ගෙන ඒමට ශාස්ත්‍රීය දේශපාලනික කතිකාවක් ගොඩනගපු කෙනෙක්.
ඇත්තෙන්ම ජාතික බලවේග ආණ්ඩුව බලය ගැනීම ඔහු සාධාරණීකරණය කළ එක් ප්‍රධාන කරුණක් වන්නේද මොවුන් නිර්ප්‍රභූවරුන් වන නිසාමය. නමුත් මා ඇතුළු ඉතා සුළුතරයකගේ අදහස වුණේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයම සකස් වී ඇත්තේ ප්‍රභූ පාලකයන් උදෙසා බවය. එබැවින් එක්කෝ ප්‍රභූන් පාලනය හෙබවිය යුතුය, නැතහොත් පාලනයට එන නිර්ප්‍රභූන් ප්‍රභූන් බවට පත්විය යුතුය යන්න අපගේ විග්‍රහය විය. නමුත් ලාල්කාන්තගේ සුපිරි නිවාසය සම්බන්ධයෙන් පැනනැගුණු අර්බුදයේදී මහාචාර්ය නිර්මාල් ඔහු 2010 ලියූ ලියවිල්ලක සරණ යමින් කියා සිටින්නේ තමාද මේ ජවිපෙ වැනි බලවේග ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඒමේදී ඒවායේ නායකත්වය ප්‍රභූකරණයට පත්වන බව ඔහුට නම් සර්ප්‍රයිස් එකක් නොවන බවය. නමුත් ජාතික බලවේගයට ඡන්දය දුන් පහළ මාලයේ ජනතාව නම් එයින් සර්ප්‍රයිස් වී ඇති බව පෙනේ.
‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්..’ ජාතික ජන බලවේගයේ ඉහළ නායකයන්ට හරි බලයට ඇවිත් අවුරුදු එකහමාරක් තුළ අත්වී තිබීම කුහක නොවී සතුටු වියයුතු කරුණක් නොවේද?
එසේම මේ එන්.පී.පී. ආණ්ඩුව බලයට ඒමට පෙර මැතිවරණ වේදිකාවලදී මොවුන් මීට කලින් බලයේ සිටි අයගෙන් ඇසූ වැදගත් ප්‍රශ්නයක් ඇත. එනම් මෙතරම් රට වැසියන් මෙතරම් දුප්පත්වී තිබියදී පාලකයන් මෙතරම් පොහොසත් වුණේ ඇයිද යන්නයි. මේ වනවිට එම ප්‍රශ්නයට අවශ්‍ය තරම් ශාස්ත්‍රීය සහ දාර්ශනික පිළිතුරු ලැබී ඇතැයි මම සිතමි. ඒ නිසා මට කියන්නට ඇත්තේ හැම රැස්වීමක්ම අවසානයේ ටිල්වින් සිල්වා සහෝදරයා ගිරිය කඩාගෙන කියන,
‘නැගිටපල්ලා, නැගිටපල්ලා… උඹලගේ වාරය ඇවිල්ලා…’ කියා පමණි.
රන්ජන සේනානායක
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(අධ්‍යයන කවය) ‘89 – සහෝදරත්වය’








