වැඩ බැරි නිසයි තැන තැන උඩු බුරන්නේ…
කිසිවිට නොදී රට ගොඩනැගුමට සහය
මුළු රට ගඳය කිය කිය වහගෙන නහය
නිව නිව සිසිල රට තොට මතුකොට දහය
එකලද වැනසුවේ ගොවියගෙ යල මහය Sri Lanka Latest News
කිසිවකුගේ හොඳක් මේ අය නැහැ දැක්කේ
දඩමස් බොක්කෙ තිබුණා බුදු රැස් හක්කේ
හොය හොය වැරදි අමුණා ඔසවා කොක්කේ
සිටි අය කොහේ යනවද මේ අරුමැක්කේ
රටටම විමුක්තිය දෙන බව කී හන්දා
ජනයා බේද නැතිවම කතිරය බැන්දා
වැටහෙන විටදි ඇති වග ජනයව අන්දා
අද මංමුළා වී කොයි යනවද මන්දා
දත් බව සියලු දෑ කිය කිය රට හමුවේ
කළ වැඩ නිසයි ජනයා රට පිරි නැමුවේ
එනමුදු ලක් මවගෙ සහතුට බිඳ දැමුවේ
මිනිසත්කම පවා නසමිනි අමු අමුවේ
හැකිකම නොමැත බැරිකමමය පෙනෙන්නේ
පච කිය කියා ඇයි බොරුවට රඟන්නේ
නැති බැරි පිරිස රකිනා හැටි නොදන්නේ
වැඩ බැරි නිසයි තැන තැන උඩු බුරන්නේ
රට රකිනා බවක් අද නැහැ පෙනෙන්නේ
රට හදනා තැනක් කොයිබද දකින්නේ
රට වැසි දනා උණු කඳුළුය බුදින්නේ
රට ජාතියම වළපල්ලට දමන්නේ










