මෙතෙක් කල් විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් වෙන්කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ විශේෂ කාමරය පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. Sri Lanka Latest News
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලබා දෙනු ලැබූ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පාලනාධිකාරිය එක්ව මෙම තීරණය ගෙන ඇති බවයි එම මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
ජපාන රජයේ ප්‍රදාන ආධාරයක් ලෙස 1984 වසරේදී ඉදිකරන ලද ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ආරම්භ වූයේ ඇඳන් 1000ක ධාරිතාවයකිනි. කෙසේ වෙතත්, එම සැලසුමට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අංක 1001 දරන මෙම විශේෂ කාමරය ද අතිරේකව එක් කර තිබෙනවා.
රෝහල ආරම්භ කළ දා සිට ගෙවුණු වසර 42ක කාලය පුරාම මෙම කාමරය භාවිත කර ඇත්තේ අතිශය සීමිත අවස්ථා කිහිපයකදී පමණක් වුවද, ජනාධිපතිවරයෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන්, රෝගීන්ගේ භාවිතයට නොගෙන එය වසර ගණනාවක් තිස්සේ නඩත්තු කරමින් පවත්වා ගෙන ගොස් තිබෙනවා.
අද දින සිට මෙම විශේෂ කාමරය රෝහලේ ප්‍රතිකාර ලබන සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමට නියමිත බවයි සඳහන් වන්නේ.
රාජ්‍ය දේපොළ සහ සම්පත් වඩාත් ඵලදායි ලෙස ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙම පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.










