මෙම දිනවල මුළුමහත් ශ්‍රී ලංකාව පුරාම දක්නට ඇත්තේ අතිශය ශෝචනීය තත්ත්වයකි. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් දස අතේය. ඒවායෙහි සිටින මිනිසුන්ගේ ශෝකීය මුහුණු තව තවත් ඔවුන්ගේ මානසික පීඩනය වැඩිකර ඇති ආකාරය පෙන්නුම් කර සිටියි. කොහේවත් නැති කාලකණ්ණි යුද්ධයක් නිසා මෙම මහා විනාශය ශ්‍රී ලංකාවටද සිදුව ඇත්තේය. බලකාමී ලෝක බලවතුන් කිහිපදෙනකු නිසා ලෝකයේ කිසිවක් කරකියාගත නොහැකි අනෙකුත් රටවල් කබලෙන් ළිපට වැටී අළුවී යන තත්ත්වයකට පත්ව සිටී. අපගේ ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය පාලකයන්ද මේ තත්ත්වය හමුවේ අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින ආකාරයක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News
ඇමෙරිකා-ඉරාන-ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් මේ වනවිට ඉතා දරුණු ලෙස බලපා ඇත්තේ ලෝක ඉන්ධන වෙළෙඳපළටය. එනම් දැනට මෙය ලියන මොහොතෙහි ගෝලීය තෙල් වෙළෙඳපළෙහි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 105ක් දක්වා වැඩිවී ඇත. යුද්ධයට පෙර එය තිබුණේ ඩොලර් 80ක මිලකට වන අතර, මෙම සති දෙකක කාලයට ඩොලර් 25කින් ඉහළ ගොස් ඇත. ඉන්ධන නොමැතිව ලෝකයේ වෙනත් කිසිදු ක්‍රියාවලියක් කළ නොහැක. මේ නිසා ලෝකයේ රටවල සිදුවන විනාශය විස්තර කිරීමට වදන් නැත. කෙසේ හෝ අපගේ ශ්‍රී ලංකාවට මෙම ශෝචනීය තත්ත්වය බලපාන අයුරු සොයා බලන්නට උත්සාහ කරමු. එනම් මෙවැනි වටපිටාවකදී දෙස් විදෙස් මාධ්‍ය වාර්තා හරහා යටකී අර්බුදය විශ්ලේෂනාත්මකව විග්‍රහ කරන ආකාරය දක්නට හැකිය.
‘ලෝකයේ තෙල් සැපයුමෙන් 25%ක පමණ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය වන වැදගත් සමුද්‍ර ධමනියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීම නිසා බටහිර ආසියාවේ භූ දේශපාලනික ඝර්ෂණීය උත්සන්න වී තිබේ. මෙම තත්ත්වය මේ වනවිට ශ්‍රී ලංකාවට ප්‍රබලව දැනෙන්නට වී ඇති අතර, මොහොතින් මොහොත එය උත්සන්නවී තිබෙයි. දැනට බොරතෙල් බැරලය ඩොලර් 105 දක්වා පැමිණ ඇති අතර, මේ නිසා දැනටමත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇත. එසේම නිසි අයුරින් ඉන්ධන තොගද සපයාගැනීම ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් වී ඇත. පසුගිය වසර හතරක් තුළ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වෙහෙස මහන්සිවී වැඩකළ ජාතියක් වන ශ්‍රී ලංකාවට මෙම බාහිර කම්පනය දරාගත නොහැක. 2022ට වඩා රට ‘බොහෝ හොඳ තත්ත්වයක’ තිබෙන බව ශ්‍රී ලංකා මහබැංකුව කියා සිටියද ගෝලීය ඉන්ධන පිරිවැය 25%කින් ඉහළ යෑම ශ්‍රී ලංකාවට දරුණු වටපිටාවක් නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකා රජය දැනටමත් බහුලව භාවිත වන ඩීසල් මිල 7.8%කින් සහ පෙට්‍රල් 10%කින්ද ඉහළ නංවා තිබෙයි. මෙම තත්ත්වය ජනතාවට දරාගත නොහැකි අතර, ජනතාව ආර්ථික පීඩනයකට ලක්වෙමින් සිටියි.
ශ්‍රී ලංකාව තවමත් එහි ප්‍රවාහන ක්ෂේත්‍ර කටයුතු සහ විදුලිබල උත්පාදනයේ කටයුතු සඳහා සැලකිය යුතු කොටසක් ආනයනික පොසිල ඉන්ධන මත සම්පූර්ණයෙන්ම රඳා පවතී. ශ්‍රී ලංකාවේ මුළු ආනයන පිරිවැයෙන් 20%ක ප්‍රමාණයක් ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වැයවෙයි. එහෙත් දැනට බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් මෙරටින් ගලායන විදේශ විනිමය තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1කින් වත් ඉහළ යනු ඇතිය. මෙම තත්ත්වය රුපියලේ ස්ථාවරත්වයට තර්ජනයක්ද වී ඇති අතර, දැනටමත් පීඩනයට ලක්ව ඇති වෙළෙඳ භාණ්ඩ හිඟය තවත් උග්‍ර කරවයි. මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි ආර්ථික අගාධයකට වැටෙන අතර, දරුණු ලෙස පැවැතුණු උද්ධමනයේ අවතාරය නැවත පැමිණෙනු ඇතිය. ඉන්ධන යනු සෑම ක්‍රියාවලියකටම බලපාන පිරිවැය තල්ලුවක් කරන සාධකයකි…’
මෙම දෙස් විදෙස් මාධ්‍ය ලේඛන හරහා දේශපාලනික සහ ආර්ථික විශ්ලේෂකයන් විසින් ශ්‍රී ලංකාවට බලපානු ලබන අර්බුදය විවිධ මාතෘකාවන් යටතේ විග්‍රහ කර ඇත. කෙසේ හෝ මේ සියල්ලක්ම ලියා තබන්නට මෙහි ඉඩක් නැත. ඉහත ඒවායින් කිහිපයක් පැහැදිලි කරමු. අනෙකුත් එම විෂයයන් කුමක්දැයි සොයා බලමු.
● ශ්‍රී ලංකාව ඉදිරියේදී මන්දගාමී වර්ධනයක් කරා පත්වීම සහ අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතය පහත වැටීම.
● ආහාරපාන වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට මුහුණදීම. ජීවන වියදම් බිය නැවත ඇතිකිරීම.
● පොදු සමස්ත ජනතාවගේ විශේෂයෙන් මධ්‍යම පාන්තික සහ පහළ පාන්තික ජනතාවගේ දරිද්‍රතාව ශීඝ්‍ර ලෙස ඉහළ යෑම.
● අපනයන තරගකාරීත්ව අර්බුදයකට මුහුණ දීම සහ අපනයනය ශීඝ්‍ර ලෙස කඩාගෙන වැටීම.
● ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නව බාධකවලට මුහුණ දීම සහ ණය තිරසරභාවය අවම වීම.
● විදේශ මූල්‍යමය සංචිත කඩාගෙන වැටීම හා පරිහානියට පත්වන්නට පටන් ගැනීම.
● නව ව්‍යාපාර ආයෝජනවල අවිනිශ්චිතතා පැනනැගීම.
මේ ආකාරයට යුද්ධය දිගින් දිගටම පැවැතුණහොත් අපගේ ශ්‍රී ලංකාවට අත්වන ඉරණම සිතාගත නොහැක. ‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනගෙන ඇනගෙන යන්නේ’ එවිටය.
මෙම සුවිශාල අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ප්‍රතිචාරයක් විශ්ලේෂකයන් විසින් ප්‍රකාශ කර ඇති අතර, එහිදී සිදුකළ යුතු නිර්දේශ සහ යෝජනා ගැනද ඔවුන් අවධාරණය කර ඇත. ඒවා කුමක්දැයි සොයා බලමු.
● බලශක්ති ආරෝධකයක් (Energy Buffer) සකස් කිරීම – දැනට තිබෙන දින 37ක ඉන්ධන තොගය වැඩිකර ගැනීම සඳහා සාර්ථක ක්‍රමෝපායක් දියත් කිරීම. බොරතෙල් සැපයුම්කරුවන් කඩිනමින් විවිධාංගීකරණය කිරීම සහ පිරිපහදු හදිසි සැලැස්මක් දියත් කිරීම.
● ප්‍රේෂණ පලිහක් (Remittance shield) සකස් කරගැනීම – ගල්ෆ් කලාපයේ ලාංකික සේවක පිරිස් ඉවත් කරගැනීම සඳහා ක්‍රියාපටිපාටියක් දියත් කිරීම. සේවකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට එම රටවල රජයන්ට බලකිරීම සහ නිසි වන්දි මුදල් ලබාදීම.
● ප්‍රේෂණ ස්ථායිතාව තබාගැනීම (FX Stability) – මේ සඳහා IMF සන්නිවේදනය පවත්වා ගැනීම – ඉන්ධන සංචිත ආරෝධක ගොඩනැගීම – තෙල් ආනයන පිරිවැය ආරක්ෂා කිරීම – ද්විපාර්ශ්වික මුදල් හුවමාරු සම්බන්ධතා ශක්තිමත් කිරීමට ක්‍රමෝපාය යෙදීම.
● අපනයන විවිධාංගීකරණය (Export Diversification) – ඉතාමත් ඉක්මනින් තේ වෙළෙඳපළ සඳහා ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් සෙවීම. අපනයනකරුවන්ට ණය ආධාර දීම.
● රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථභාවය (Diplomatic Neutrality) – ඇමෙරිකාව සහ ඉරානය සමග මධ්‍යස්ථ රාජ්‍යතාන්ත්‍රික හිතෛෂීභාවයක් අනුගමනය කිරීම සහ රටවල් දෙක සමග රාජ්‍යතාන්ත්‍රිකභාවය ආරක්ෂා කිරීම.

ප්‍රියන්ත හෙට්ටිගේ










