ඉරානය සහ අමෙරිකානු-ඊශ්‍රායල පාර්ශ්වයන් අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉරානයේ සහ කලාපයේ පිහිටි ලෝක උරුම ස්ථානවලට සිදුවන විනාශය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංස්කෘතික නියෝජිතායතනය වන යුනෙස්කෝව (UNESCO) සිය දැඩි කනස්සල්ල පළ කර සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.Sri Lanka Latest News
ඊයේ (11) දින නිවේදනයක් නිකුත් කරමින් යුනෙස්කෝව සඳහන් කළේ, යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානයේ පිහිටි ලෝක උරුම ස්ථාන 29න් හතරකට සෘජුවම හානි සිදුව ඇති බවයි.
ප්‍රහාරයන්ගෙන් හානියට පත් ස්ථාන අතර ටෙහෙරාන් නුවර පිහිටි ඓතිහාසික ගොලෙස්තාන් මාලිගය (Golestan Palace) ප්‍රධාන වෙයි.
ප්‍රංශයේ සුප්‍රසිද්ධ ‘වර්සායි’ මාලිගයට සමාන කරනු ලබන මෙම මාලිගය 19 වැනි සියවසේ පර්සියානු ශිෂ්ටාචාරයේ අභිමානය විදහා දක්වන ස්ථානයක්.
ලැබී ඇති ඡායාරූපවලට අනුව මාලිගයේ අභ්‍යන්තරයේ වූ විචිත්‍රවත් දැවමය නිර්මාණ සහ වීදුරු අලංකරණ දැඩි ලෙස විනාශ වී ඇති බව තහවුරු වේ.
මීට අමතරව ඉස්ෆාන් (Isfahan) නුවර පිහිටි වසර 1000කට වඩා පැරණි ජාමේ පල්ලිය (Jameh Mosque) සහ තවත් ඓතිහාසික මාලිගයක් ද ප්‍රහාරයට ලක්ව ඇතැයි වාර්තා වෙනවා.
ප්‍රාග් ඓතිහාසික වටිනාකමකින් යුතු ඛෝරාමබාද් නිම්නයේ (Khorramabad Valley) පිහිටි ගොඩනැගිලිවලට ද හානි සිදුව තිබෙනවා.
ලෝක උරුම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලාසාරේ එලුන්ඩු අසෝමෝ (Lazare Eloundou Assomo) රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් කියා සිටියේ ඉරානයට අමතරව ඊශ්‍රායලය, ලෙබනනය සහ මැදපෙරදිග පුරා විහිදී ඇති සංස්කෘතික උරුමයන්ගේ ආරක්ෂාව පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බවයි.
මෙම අගනා සංස්කෘතික ස්ථාන ආරක්ෂා කරන ලෙස සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින යුනෙස්කෝව, එම ස්ථාන පිහිටි නිශ්චිත ඛණ්ඩාංක (Coordinates) යුධ නිරත පාර්ශ්වයන් වෙත ලබා දී ඇති බව ද සඳහන් කළා.










