ගීතයක අයිතිය හිමිවිය යුත්තේ එය ගායනා කරන්නාට බව කියමින් පසුගිය කාලය පුරා විටින් විට විවිධ මත සමාජගත වුණා. ටී.එම්. ජයරත්න ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සඳහන් කළේ තමන් ගායනා කර ජනප්‍රියත්වයට පත් ගීත තමන්ගේ කිසිදු අවසරයකින් තොරව නවක ගායක ගායිකාවන් ගායනා කරමින් මුදල් උපයන බවත්, තමන්ට කිසිදු ගෙවීමක් ඔවුන් සිදු නොකරන බවයි. කෙසේ වෙතත් මෙරට අතිශය ජනාදරයට පත් ගීත සිය ගණනක් රචනා කළ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පුත් පූර්ණ කීර්ති ද අල්විස් මහතා එම මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කරමින් සිය ෆේස්බුක් පිටුවේ මෙවන් සටහන් දෙකක් පසුගිය දින දෙකකදී තබා තිබුණා.
පෙබරවාරි 21 සටහන
‘ගීතයක අයිතිය ගායනය කරන කෙනාට ඕනේ කියලා ඉල්ලන මිනිස්සු, දහස් ගණන් ලක්ෂ ගණන් අරගෙන මගේ තාත්තාගේ ගීත ගයද්දි, මාස එකොළහක පොඩි දරුවෙක්ව ඉන්න කාලේ මගේ තාත්තා මැරුවට පස්සේ මට අද වෙනකන් එක පැන්සලක් අරන් දීපු එකෙක් නැහැ. හැබැයි උන් ඒ දවස්වල තාත්තාගෙන් සින්දු ලියාගන්න කට්ටක් කාගෙන පෝලිමේ හිටපු එවුන්.
පසු කාලෙක අපෙන් සල්ලි අරන් තමයි තාත්තා වෙනුවෙන් කරපු ගුණසමරු ප්‍රසංගවලට උන් ආවෙත්. අඩුම තරමේ තාත්තාගේ සින්දු කියලා ජීවත් වුණු එක ගායකයෙක් අම්මාගෙ මළගෙදර දවසේ කෝල් එකක්වත් දුන්නෙ නැහැ.
අලුත් පරපුරේ කලාකාරයො නිතරම මට කතා කරමින් මළගෙදර එන්න බැරි වුණත් ෆෝන් එකේ හරි ළඟින් හිටියා.
ෂෝවලට ගියාම නොම්මරේට ගහගත්තු ගායකයො රුපියලටම තම ගාස්තුව ගත්තා මිසක් තමන් ගයපු ගීතයේ පදරචකයාට ටොෆියක්වත් දුන්නද?
ඇත්තටම අලුත් පරපුරේ ගායන ශිල්පීන්ට මම සැලියුට් කරනවා. උන් හරියටම කොපිරයිට්ස්වලට ගෙවනවා. මොකද උන් හරියටම හම්බකරනවා. හරියටම ගෙවනවා. පරණ හණමිටි එවුන් ඊර්ෂ්‍යාව සමග වළලෙන්න හදනවා.
ගීතයක අයිතිය තිබිය යුතු පද රචකයා සහ සංගීත නිර්මාණ ශිල්පියා අතර පමණි. ගායකයාට එය අවැසි නම් සෑම ප්‍රසංගයකින්ම තමා අයකරන මුදලින් 30%ක් පද රචකයාට සහ සංගීත නිර්මාණ ශිල්පියාට ගෙවිය යුතුය.
මගේ සටහන එච්චරයි.
මට ගහන්න ආවොත් ලක්ෂ ගණන් වංචනිකව මුදල් හොයපු, හොයන සෙට් එකේම නම් එළියට දානවා.’
පෙබරවාරි 22 සටහන
‘ඉතින් හිතවතුනි ගීතයක අයිතිය ගැන මම මගේ පුද්ගලික අදහස ජනගත කළා. ඒක පිළිගැනීම හෝ නොපිළිගැනීම අදාළ අයගේ වැඩක්. මට තර්ජනය කිරීම ඒකට උත්තරය නෙවෙයි.
මම, මගේ තාත්තාගේ පද රචනාවලින් මුදල් හොයාගෙන ජීවත්වෙන මිනිහෙක් නෙමෙයි. තාත්තලාගේ ගීතවලින් යැපෙන දරුවො අතරේ මම මගේ ගමන තනිවම යන කෙනෙක්. එකෙක් දෙන්නෙක් හැර අනෙක් එවුන් සියල්ලෝම තාත්තලාගේ ගීතවලින් යැපෙද්දී අසනීප වුණාම රට වටෙන්ම ආධාර ඉල්ලද්දී මට මම තනිවම යන ගමන ගැන තියෙන්නේ මාර අභිමානයක්.
තාත්තාගේ පද ගයමින් කෝටි ගණන් දේපොළ මුදල් උපයාගත්තු එක ගායකයෙක්ගෙන්වත් මම රුපියලක්වත් ඉල්ලලා නැහැ. ඉල්ලුවත් උන් දෙන්නෙත් නැහැ. එහෙම තමයි ලංකාවේ ගීත රසිකයෝ නොදන්න සුන්දර හඬවල් තියෙන අසුන්දර කලාකාමී හදවත්වල හැටි.
අනේ හිතවත් මිනිසුනි. මේකත් අහගන්න. මට තාත්තාගේ දේවල්වලින් යැපෙන්න වුවමනාවක් නොමැත. පද රචකයකු වීමට ආසාවක්ද නැත. නිරපරාදේ මරාදැමූ මගේ තාත්තාගේ ජීවමාන අයිතිය වෙනුවෙන් පමණක් මම පෙනී සිටිමි.
තාත්තා ලියූ ගීතයක පද රචනා අයිතිය කවුරුන් හෝ ගායනවේදියෙකු, ගායනවේදිනියක ඉල්ලනවා නම් මෙච්චරයි මම කියන්නේ.
සංගීත නිර්මාණ ශිල්පියා කැමැති නම් ඒ තනුවට වෙන වචන ටිකක් දාගෙන ගයන්න.
නැත්තම් අවුරුදු 30කට වැඩි කාලයක් කර්තෘ භාග නොගෙවා හොර අස්සන් දාලා සල්ලි ගත්තු සෙට් එකම ලෑස්ති වෙලා ඉන්න.’
පූර්ණ කීර්ති ද අල්විස්










