ලංකාවේ දේශපාලන සිතියම මත පාලකයන් තමන්ට රුචි පරිදි මායිම් සලකුණු කළද, එම සිතියම උඩුයටිකුරු කළ හැකි අසමසම බලවේගය ඉතිහාසය පුරාම පැවැතියේ මහා සංඝරත්නය සතුවය. ‘රාජ්‍යය’ සහ ‘ශාසනය’ යනු වෙන්කළ නොහැකි ලෙස එකිනෙක වෙලී පවතින ද්විත්ව බලවේගයක් බව වටහා ගැනීමට අපොහොසත් වූ සෑම පාලකයකුටම අවසානයේ අත්වූයේ අවාසනාවන්ත ඉරණමකි. Sri Lanka Latest News
විසිවැනිදා කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් වැඩමකළ දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය පෙළගැසෙන්නේද එම ඓතිහාසික උරුමයේ තවත් එක් තීරණාත්මක පරිච්ඡේදයක් සනිටුහන් කිරීමටය. මෙවර මෙම විරෝධතාව එල්ල වන්නේ වත්මන් පාලනයට සහ ඇතැම් ඇමැතිවරුන් බුද්ධ ශාසනය හෑල්ලු කරමින් සිදුකරන ප්‍රකාශවලට එරෙහිව වුවද, එහි මුල් ඇදී යන්නේ වසර හැත්තෑවකට අධික අතීතයකටය. අපේ මතකය 1956 වසර දක්වා ආපස්සට ගෙන ගියහොත්, එහිදී අපට මුණගැසෙන්නේ සර් ජෝන් කොතලාවල මහතාය. ඔහු හිතුවේ තමන්ගේ බටහිර ගැති විලාසිතාවන්ගෙන් සහ ඉංග්‍රීසි සංස්කෘතියෙන් මේ රට පාලනය කළ හැකි බවයි. ඔහු ප්‍රසිද්ධියේම මහා සංඝරත්නයට සහ බෞද්ධ චාරිත්‍රවලට අපහාස වන අයුරින් ක්‍රියා කළ අතර, හාමුදුරුවරුන් පන්සලට පමණක් සීමාවිය යුතු බවට දැඩි මතයක සිටියේය. නමුත් එහි ප්‍රතිඵලය වූයේ ‘එක්සත් භික්ෂු පෙරමුණ’ නිර්මාණය වීමයි. වල්පොල රාහුල හිමියන් සහ හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමියන් වැනි ප්‍රබුද්ධ යතිවරයාණන් වහන්සේලා ගම් නියම්ගම් පුරා සැරිසරමින් පාලකයාගේ ඒ හිතුවක්කාරීත්වය ජනතාවට පැහැදිලි කළහ. අන්තිමේදී, එදා අතිශය බලගතු යැයි සම්මත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හතර අතේ කැඩී බිඳී ගියේ කහ සිවුරෙන් නැගුණු ඒ අසිරිමත් ජන විඥානය හමුවේය.
මෙම ඓතිහාසික ජයග්‍රහණයෙන් පසු පාලකයන්ට වැරැදුණු සෑම තැනකදීම සංඝරත්නය මැදිහත් වීම සම්ප්‍රදායක් බවට පත්විය. ඉන් අනතුරුව බලයට පැමිණි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා රටේ ඒකීයභාවයට හානිවන අයුරින් ෆෙඩරල් පක්ෂය සමග ‘බණ්ඩාරනායක-චෙල්වනායගම්’ ගිවිසුම අස්සන් කිරීමට සූදානම් වූ මොහොතේදීද සංඝරත්නය නිහඬව සිටියේ නැත. 1958දී කොළඹ රොස්මිඩ් පෙදෙසේ පිහිටි බණ්ඩාරනායක මහතාගේ නිවස ඉදිරිපිට දහස් සංඛ්‍යාත ස්වාමින් වහන්සේලා වාඩි වී සත්‍යග්‍රහයක නිරත වූයේ පාලකයාට තමන්ගේම අතින් අස්සන් කළ ගිවිසුම හකුළා ගැනීමට බල කරමිනි.
පසුව 1966දී ඩඩ්ලි සේනානායක චෙල්වනායගම් සමග ඇති කරගත් ගිවිසුමට එරෙහිවද සංඝරත්නය පාරට බැස්සේය. එදා කොළඹ වටරවුම අසලදී පොලිස් වෙඩිපහරින් ආඳාගල සීලවංශ හිමියන් අපවත් වීම සිංහල බෞද්ධ ජනතාව තුළ මහත් කම්පනයක් සහ කෝපයක් ඇති කළ අතර, එය පාලකයන් රට බෙදන ගිවිසුම්වලට අස්සන් තැබීමට උත්සාහ කරන සෑම මොහොතකම සිවුර පාරට බැස ලෙයින් සහ කඳුළින් ඒ උත්සාහයන් නතර කළ බවට නොමැකෙන සාක්ෂියක් විය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ සංඝරත්නය පාලකයකුට එරෙහිව කළ අතිශය බියකරුම අරගලය සටහන් වන්නේ 1987 වසරේදීය. ජේ.ආර්. ජයවර්ධන වැනි පාලකයකු ඉන්දියාවේ බලපෑමට නතුවී ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී දේශප්‍රේමී භික්ෂු පෙරමුණ පෙරමුණ ගත්තේය. 1987 ජූලි 28 සහ 29 දිනවල කොටුව බෝධිය අසල පැවැති විරෝධතාවලට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් හිමිවරුන් රැසක් තුවාල ලැබූ අතර, එදා චීවරය විසින් ඇති කළ ඒ ජනතා පිබිදීම නිසා ජේ.ආර්. ජයවර්ධන වැනි පාලකයකුට පවා තමන්ගේ දේශපාලන ගමන කෙටිකර ගැනීමට සිදුවිය.
චන්ද්‍රිකා කුමාරතුංගගේ ව්‍යවස්ථා පැකේජය පරාජය කිරීමේ සිට මහින්ද රාජපක්ෂ යුගයේ යුද්ධයට අවශ්‍ය මතවාදී නායකත්වය ලබාදීම දක්වාද මහා සංඝරත්නය සක්‍රීයව මැදිහත් වූහ. පසුව යහපාලන සමයේ භික්ෂුන් වහන්සේලා සිරගත කිරීමට එරෙහිවද, ගෝඨාභය රාජපක්ෂ පාලනය වැරදි මාවතකට අවතීර්ණ වූ මොහොතේ ඔහුට ගෙදර යාමට පාර කැපීමටද චීවරයේ බලය මුල්විය.
දැන් අප එළඹ සිටින්නේ එම ඓතිහාසික අරගලයේ තීරණාත්මක වර්තමානයටය. 20 වැනිදා පැවැත්වුණේ සංඝ සම්මේලනය හුදෙක් සාමාන්‍ය විරෝධතාවක් නොවේ. එය වර්තමාන රජයේ ඇතැම් ඇමැතිවරුන් විසින් බුද්ධාගමට සහ මහා සංඝරත්නයට එරෙහිව සිදුකළ ඇතැම් පදනම් විරහිත ප්‍රකාශවලට එරෙහිව එල්ල වන විරෝධයකි. විශේෂයෙන්ම බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය හෑල්ලු කරමින් ඇතැම් ඇමැතිවරුන් සිදුකරන ප්‍රකාශ සහ භික්ෂුන් වහන්සේලා මර්දනය කිරීමට ගත් උත්සාහයන් මේ පිබිදීමට ප්‍රධාන හේතුව වී ඇත. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැනි ස්වාමින්වහන්සේලාගේ නායකත්වයෙන් සංවිධාන කළ මෙම සමුළුවට දිවයින පුරා විහාරස්ථානවලින් මහා සංඝරත්නය වැඩම කොට තිබිණි. ආණ්ඩුව කරන අය හිතාගෙන ඉන්නේ සංඝරත්නය කියන්නේ ඕනෑම දෙයකට නිහඬව සිටින පිරිසක් කියා වුවද, 20 වැනිදා දහවල් කොළඹදී සිදුවූ මේ ‘කහ සිවුරේ එකමුතුව’ එම මතය කුඩුපට්ටම් කරනු ඇත.










