ත්‍රිවිධ හමුදා මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය පිහිටා ඇති අධිආරක්ෂිත කලාපයේ සුපිරි වෙළෙදසැලක් අසල නීතිඥවරයකු සහ ඔහුගේ බිරිද පසුගිය දා ඝාතනය කිරීම නීතිය හා සාමයට සහ ජාතික ආරක්ෂාවට එල්ල කළ මරුපහරක් ලෙස එය දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News
වත්මන් රජය බලයට පත් වූ දා සිට මේ ඝාතන සංස්කෘතිය දිනෙන් දිනම වැඩි වී ඇති බවත් මේ ඝාතන සිදුවන විට මැර කල්ලි අතර පාතාල කල්ලි අතර ඇතිවන ගැටුම් නිසා මේ මරණ සිදු වන බවට රජය කියන බවත් මෙරට නීතිඥ ප්‍රජාවට සිය කටයුතු නිදහස්ව නිවහල්ව බියෙන් තොරව ක්‍රියාත්මක කරන්නට වාතාවරණයක් නොමැති ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් නිදහස් නිවහල් බියෙන් සැකෙන් තොරව වෘත්තිමය කාර්ය ඉටු කරන්න නොහැකි තත්ත්වයක් තුළ මුළුමහත් ජන සමාජයම බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
යුක්තිය පසිදලීම මෙන්ම නීතියේ ආධිපත්‍ය කඩා වැටී උත්තරීතර නීතිය හා රටේ නීතිය වල්බිහි වී කැලැ නීතිය රජය වී ඇති මොහොතක ජනාධිපතිවරයා සහ රජය මහජන ආරක්ෂාව සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න අපොහොසත් වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කඩා වැටිම තුළ අධිකරණය නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය නොකර ඇගිලි ගැසීම් සිදු නොකර මහජන ආරක්ෂාව උදෙසා පූර්ණ අවධානය යොමු කර පාතාල කල්ලි සංස්කෘතිය සහ මිලේච්ඡත්වය නතර කරන වැඩපිළිවෙළක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම සිවිල් ආරක්ෂක කමිටුවලට සිය ගෝලයන් පත් කර මේවා කළ නොහැකි බවත් පොලිසිය ආරක්ෂක අංශ දේශපාලනීකරණය කර නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කළ නොහැකි බවත් නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කර ප්‍රජාතන්ත්‍රවාදය දිනවිය නොහැකි බැවින් අනිවාර්යෙන්ම කටවචනයට පමණක් සීමා නොවූ මහ පොළොවේ සත්‍යයක් යථාර්ථයක් වූ පාතාලය මර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් මීට වඩා ශක්තිමත් කොන්ද පණ තිබෙන ඝාතන සංස්කෘතිය මුලින් උපුටා දමන පැහැදිලි සක්‍රීය වැඩපිළිවෙළක් ජනතා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
පාතාල කල්ලිවලට අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදුරා ගන්නට ඉඩ දිය නොහැකි නිසා නීතිය සුරක්ෂා කිරීමේ වගකීම රජය බාර ගත යුතු බවත් බංකුවක් ගෙන ආවොත් ජාතික ආරක්ෂාව ගැන පාඩම් උගන්වන්නම් යැයි කියූ වත්මන් රජයට මේ මිනිමරු ඝාතන කල්ලි සංස්කෘතිය මැඩපැවැත්වීමට හැකියාවක් නොමැති බව මේ ඝාතන සංස්කෘතිය තුළින් පෙනී යන බවත් මේ ඝාතන ඉදිරියේ රජය නිරුත්තර වී ඇති නිසා කොන්ද කෙලින් තියාගෙන මහජන ආරක්ෂාව නීතිය හා සාමය හා ජාතික ආරක්ෂාව තහවුරු කර ලෙසත් දේශපාලන පළිගැනීම්වලට රජය යොමු කරන උනන්දුව ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්න යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.










