දරුවන් රටකට සම්පතකි. නමුත් අපේ රටේ බොහෝ දරුවන් දිට්වා සුළි කුණාටුවෙන් පසු අසරණභාවයට පත්ව තිබේ. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පාසල් ඇතුළු මංමාවත් විනාශ වී ගොස් තිබේ. ඒ නිසාම ඔවුන්ගේ ජීවිත ඇදවැටී ඇත්තේ අඳුරු අගාධයකටය. දිට්වා සුළි කුණාටුව ලක්ෂ ගණනකගේ ජීවිතවලට දැඩි බලපෑමක් කළ බව අපි දනිමු. එහෙත් ඒ ජීවිත තවමත් යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි වීම හද කම්පා කරවන කාරණයකි.Sri Lanka Latest News
තමන් එදා පොත් බෑගය අරන් පාසල් ගිය මාවත අද මඩ වගුරක් බවට පත්ව ඇති අයුරු දැකගන්න ලැබීම මේ දරුවන්ට දරාගන්න බැහැ. බැලූ බැලූ හැම අත දකින්නට ලැබෙන්නේ නායගිය ගල් ගොඩවල් පමණයි. දරුවන්ගේ හදවත්වල තියෙන්නේ එකම ප්‍රශ්නයයි. ඒ, ‘අදත් පාසල් යන්න බැරිද?’ කියන ප්‍රශ්නය විතරයි. පාසල් අධ්‍යාපනය ලැබීම සෑම දරුවකුගේම මූලික අයිතියක්. කූඩාරමක් යට නිදන දරුවකුට පාසල් පොත් යනු වටිනාම සම්පතක්. වැස්සට හසුව පොත්පත් තෙතබරිත වනවිට ඒ සමග තෙමෙන්නේ දරුවන්ගේ හෙට දිනයක සිහිනයයි. මේ නිසා ඔවුන්ගේ ඉගෙනීම කඩාකප්පල් වේ. කුඹුරු විනාශ වී ගොවිතැන් විනාශ වූ කල රටටම මෙය බලපාන බව නොරහසකි.
අරණායක දෝතල් වතුයාය අම්බලකන්ද නායයෑමෙන් විපතට පත්වූ මේ අහිංසක මිනිස්සුන්ගේ ගමන් පහසුව සඳහා අදටත් මාර්ගයක් සකසා නැත. ‘දිට්වා’ අපදාව සිදුව මාස දෙකක් ගතවී තිබුණද ඔවුන් තවමත් දිවි ගෙවන්නේ දුක්ඛ දෝමනස්සයන් රාශියක් මැදයි. නායගිය පාරවල් පිළිසකර කිරීම තවමත් ආරම්භ නොවීම පිළිබඳ මේ ගමේ අහිංසක මිනිස්සු මැසිවිලි නගන්නේ තම දරුවන්ගේ ජීවිත අනතුරේ නිසයි. එම අනතුර පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් පසුගිය 20 වැනිදා අරණායක ප්‍රාදේශීය සභාවේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගිය ගම්වාසීන් ප්‍රකාශ කළේ ඔවුන්ගේ හදවත්වල නැගෙන වේදනාවයි.
‘අපිට පාරක් නැහැ’
‘අපේ දරුවෝ ඉස්කෝලේ යවන්න විදියක් නැහැ…’
‘නාය ගිහින් හෙට මැරුණත් කමක් නැහැ… ඒත් දරුවන්ට ඉගෙනගන්න මාර්ගයක් දෙන්න…’ මේ, ගම්වාසීන්ගෙන් ඉදිරිපත් වුණු ඉල්ලීම්වලින් කිහිපයකි.
තවත් ගම්වාසියෙක් පවසා සිටියේ, ‘අපෙන් ඡන්දේ ඉල්ලන්න එනවා. ඒත් අපි අද පත්වෙලා ඉන්න තත්ත්වය බලන්න කවුරුත් එන්නේ නැහැ…’ යනුවෙනි.
‘අපි විඳින දුක දන්නේ අපි විතරයි. ඇයි අපට එහෙම කරන්නේ? අපි මේ රටේ මිනිස්සු නෙවෙයිද? බලධාරීන් මේ වෙනකන් අපි ඉන්නේ කොහේද කියලා හොයලා බැලුවේ නැහැ. ආණ්ඩුවෙන් කිව්වා ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියලා. කුලීකාරයාට 25,000ක් දෙනවා කිව්වා. අපිට කුලියට ඉන්නත් නැහැ. පොඩි පැලක හිටියත් රුපියල් 25,000ක් යනවා.’
‘මම වත්තේ ඉඳලා පාරේ ඉන්නද ළමයි ටික තියාගෙන? ඉස්කෝලේ යන ළමයි. ඕක අහන්න ගියාම අපිට බල්ලන්ට වගේ බණිනවා. අපිව එළවනවා. අපෙන් ඡන්දේ නම් ඉල්ලන්න එනවා. ලංකාවේ හැම තැනම පාරවල් හැදුවට අම්බලකන්දෙන් එහා පාරවල් හැදුවේ නැහැ. අපි නිකන් ඉන්න මිනිස්සු නෙවෙයි. ලේ දහඩිය වගුරුවලා ඔක්කොටම කන්න දෙන මිනිස්සු. ඇයි අනිත් අයට ලක්ෂ 50ක් දීලා ගෙයක් දෙනවා නම් අපිටත් ගෙයක් දෙන්න ඕනේ…’ යනුවෙන් මේ ගම්වාසීන් සිය වේදනාව විරෝධතාවක ස්වරූපයෙන් පවසා සිටියා.
මේ මිනිස්සු අරණායක ප්‍රාදේශීය ලේකම්වරිය හමුවීමට ගියේ තමන්ගේ දුක පැවැසීමටයි. එහෙත් අරණායක ප්‍රාදේශීය ලේකම්වරිය පාගමනින් පැමිණි එම ජනතාවට පවසා සිටියේ,
‘කට්ටිය දන්නවනේ පාර කොච්චරක් හානි වෙලාද කියලා. පාර හදන වැඩේ පටන් අරගෙන තියෙන්නේ. ඒක දවසින් දෙකෙන් හදන්න බැහැ. ඔය කට්ටියට මම කිව්වා මෙහෙ නතර වෙන්න තැනක් දෙන්නම් කියලා. එතැනට ඇවිල්ලා දෙමවුපියන් කණ්ඩායම් කණ්ඩායම් හරි දරුවෝ පාසල් යවන්න උත්සාහ කරන්න. අපිට රජයේ නිලධාරීන් මේකට යොදවන්න බැහැ. මම තැන දෙන්නම්. මේ වගකීම දෙමවුපියෝ කිහිප දෙනෙක් ගන්න ඕනේ…’ යනුවෙනි.
කබරගල දෙසට පිවිසෙන මාර්ගය අසල අහිංසක මිනිස්සුන්ට තමන්ගේ දරුවන් සමග කුඩාරම්වල ජීවත්වන්නට සිදුව ඇත්තේ බලධාරීන්ගේ ඇස් තවමත් මෙම ගැටලුව වෙත යොමු නොවීම හේතුවෙන් බවයි ඔවුන් පවසා සිටින්නේ.
මේ කූඩාරම්වල ජීවත්වන ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුද ඔවුන් ගෙවන දුක්ඛිත ජීවිත පිළිබඳ මෙලෙස පවසා සිටියා.
‘අපිට කූඩාරම් ලබාදුන්නත් වැසිකිළි යන්නවත් තැනක් නැහැ. අපිට දැන් ඉන්න පුළුවන්. ඒත් ඉස්සරහට ගෙවල්වලට වතුර දානවා. ඉස්සරහට හැම ගෙදරකටම වතුර දානවා. එතකොට දරුවොත් උස්සගෙන එළියට තමයි එන්න ඕනේ…’
හාලිඇල ජගුල්ල ගම්මානයේ ජනතාවද සිය කුඹුරු පස්වලින් යටවීම හේතුවෙන් ගැටලු රැසකට මුහුණපා සිටිනවා. අක්කර 200කට ආසන්න වී ගොවිතැනට හානි වී තිබුණද නිසි වන්දි මුදලක් තමන්ට මෙතෙක් නොලැබුණු බවටයි ගම්වැසියන් මැසිවිලි නගන්නේ. එම අහිංසක ගොවීන් තමන්ගේ දුක කියා සිටියේ මෙලෙසයි.
‘දැන් වගා කරගන්න විදියක් නැහැ. මට අස්වැසුමවත් නැහැ. අපිට සහනාධාරයක්වත් ලැබිලාත් නැහැ. අපි බලන් හිටියා රජයෙන් සහන ලැබෙයි කියලා. අපිට මෙතෙක් කල් සහනයක් ලැබිලාත් නැහැ. රජයෙන් ඇවිල්ලා බලනවා විතරයි මොකවත් දෙන්නෙත් නැහැ. අපි අසරණයි. ළමයින්ට කන්න බොන්න දෙන්න විදියකුත් නැහැ…’
මේ ආපදාව නිසා අසරණ වුණු මිනිස්සු තවත් කොයිතරම් සිටිනවාද? ඔවුන් වෙනුවෙන් යම් ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ කඩිනමින් සහන සැලසීම සෑම දෙනාගේම වගකීමකි.
අද මේ දරුවන් බලා සිටින්නේ මහා මන්දිරයක් නොව පාසල් යාමට පාරක් සාදා දෙන්න කියලායි. ඒ පාර හදන එක මාර්ග සංවර්ධනයක් නොව රටක අනාගතයක් නැවත ගොඩනගන කාර්යකි. දරුවන් සුරක්ෂිත වුවහොත් එදාට රටද සුරක්ෂිත වන බව නොඅනුමානය.

නිලන්ති රේණුකා










