කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය සායනයේ සියයට 60ක වෛද්‍ය හිඟයක් පැවැතීම නිසා රෝගීන් පරීක්ෂා කිරීම, ප්‍රතිකාර ලබාදීම හා වෛද්‍ය වාර්තා ලබාදීම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හෙළි කරයි. මේ හේතුව මත උගුර, කන, නාසය පිළිබඳ රෝගාබාධවලින් පෙළෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මෙම සායනයට අනුයුක්තව විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් සිට ඇති අතර, එක් විශේෂඥ වෛද්‍යවරයෙක් විශ්‍රාම යාමත් සමග මෙම අර්බුදය හටගෙන ඇත. ඒ සඳහා වැඩ බැලීමට වෛද්‍යවරයෙක් යොමුකර ඇතත් වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සියයට හැටකින්ම නතරව ඇතැයිද වෛද්‍යවරු පවසති. මීට අමතරව එම සායනය තුළ සිටිය යුතු ශ්‍රේණි වෛද්‍යවරුන්ද ප්‍රමාණවත් නැතැයි එම සායනයේ වෛද්‍යවරු කියා සිටිති.
සායනයට පැමිණෙන රෝගීන්ට සති කිහිපයක් තිස්සේ රස්තියාදු වී ප්‍රතිකාර ලබා නොගෙන ආපසු හැරී යාමට සිදුව ඇත.
මේ සම්බ්නධයෙන් රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ‘අරුණ’ කළ විමසීමේදී විශේෂඥ වෛද්‍යවරයෙක් කියා සිටියේ වෙනත් රෝහලක සිටින උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉක්මනින් මෙම සායනය වෙත යොමු කිරීමට නියමිතව ඇති බවයි. එහෙත් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳ කිසිවක් කීමට නොහැකි බවද එම වෛද්‍යවරයා කියා සිටියේය.










