• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට ආ චීන විදේශ ඇමැති විජිත විතරක් හමුවෙලා අනුරව හමුනොවුණේ ඇයි? සාකච්ඡා තිබ්බ සුපිරි හෝටලය හැංගුවේ ඇයි! ‘මව්රට’ හෝටලය හොයාගත්තා! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

January 18, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

වැන්ග්-අනුර හමුනොවුණ් ඇයි?

පසුගිය සතියේ චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී මහතා ලංකාවට පැමිණ පැය කීපයක කාලයක් ලංකාවේ ගතකිරීමට පියවර ගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් පසුගිය “රාජ්‍ය රහස්’ තීරයේ අතිවිශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ සිය දකුණු අප්‍රිකානු සංචාරය නිමාකොට වැන්ග් යී මහතා නැවත චීනය බලා යන ගමනේදී අතරමග ගමනාන්තයක් (ට්‍රාන්සිට්) ලෙස ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවකි. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත් යන තිදෙනාම වැන්ග් යී මහතා හමුවී සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවද අපි එහිදී අනාවරණ කර සිටියෙමු.Sri Lanka Latest News

මේ ආකාරයටම වැන්ග් යී මහතා 2016 යහපාලන ආණ්ඩු සමයේද ලංකාවට පැමිණීමට කටයුතු කොට තිබිණ. ඒද, වාර්ෂිකව සිදුකෙරෙන සිය දකණු අප්‍රිකානු සංචාරය අවසානයේ අතරමැද ගමනාන්තයක් ලෙසය. ඒ අනුව කොළඹ පැමිණි වැන්ග් යී මහතා එවක ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන සහ අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඉන් අනතුරුව වැන්ග් යී මහතා 2022දී නැවත වතාවක් දකුණ අප්‍රිකාවට ගොස් ලංකාවට පැමිණි අතර, එවක ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතාත් හමුවී සාකච්ඡා පැවැත්වීමට කටයුතු කොට තිබිණි.

මේ ආකාරයටම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී විදෙස් රාජ්‍ය නායකයන් දෙදෙනකු අතරමැදි ගමනාන්ත ලෙස කටුනායකට පැමිණීමට පියවර ගෙන තිබිණි. ඉන් එක් රාජ්‍ය නායකයකු වූයේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ය. අනෙක් ජනාධිපතිවරයා වූයේ එවක සිටි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසාය. මේ අවස්ථා දෙකේදීම එම රාජ්‍ය නායකයන් දෙදෙනාම මුණගැසීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් රැඳී සිටි කටුනායක හෝටලයට ගොස් මුණගැසීමට පියවර ගෙන තිබිණි. මෙහිදී රමපෝසාගේ උපන්දිනය ඒ දිනයට යෙදී තිබුණු බැවින් රනිල් ඇතුළු මැති ඇමැතිවරු කටුනායකට ගොස් උපන්දින කේක් කපා රමපෝසාට සුබපැතුම් එක්කළ ආකාරය දැක්වෙන ඡායාරූපද එවක මාධ්‍යවල පළවී තිබිණි. එලෙස රනිල් කටුනායකටම ගොස් පැය කීපයක කාලයක් සඳහා පමණක් ලංකාවට ගොඩබට ප්‍රංශ සහ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරුන් මුණගැසුණේ ඒ ඒ හමුවීම්වල ඇති වැදගත්කම නිසාය.

කෙසේ වෙතත් මෙවර චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතරමැදි ගමනාන්තයක් ලෙස පැය කීපයකට ලංකාවට පැමිණෙන බවට තොරතුරු වාර්තා වීමත් සමග ජනාධිපතිවරයාද සිටියේ ඔහු මුණගැසී සාකච්ඡා කිරීමටය. මුලින් වාර්තා වී තිබුණේ ජනාධිපතිවරයා කටුනායකට ගොස් වැන්ග් යී මහතා සමග සාකච්ඡා කරන බවකි. තවත් පැත්තකින් කියවුණේ ප්‍රොටෝකෝලයන්ට අනුව විදේශ අමාත්‍යවරයකු හමුවීමට ජනාධිපතිවරයා නොයන නිසා චීන විදේශ අමාත්‍යවරයා කොළඹට පැමිණ ජනාධිපතිවරයා මුණගැසිය යුතු බවකි. නමුත් අර්බූදයන් කිහිපයකට මුහුණ දී සිටින ලංකාව මේ අවස්ථාවේදී ප්‍රොටෝකෝලයන් පසෙක තබා චීන විදේශ අමාත්‍යවරයා සිටින තැනකට හෝ ගොස් ඔහු සමග සාකච්ඡා පැවැත්විය යුතු බවට තවත් පිරිසක් ජනාධිපතිවරයාට දැනුම් දී තිබූ බවක්ද ආරංචිය.

කවුරු හරි නැවැත්තුවාද?

තත්ත්වය මෙසේ වුවත් අවසානයේදී වැන්ග් යී ලංකාවට පැමිණි පසු ජනාධිපතිවරයා සහ ඔහු අතර කිසිදු හමුවක් සිදු නොවීම විශේෂ සිදුවීමක් විය. විශේෂයෙන්ම එළියේ ප්‍රසිද්ධියේ මේ සම්බන්ධයෙන් කතා නොකළාට තානාපති අංශවල මේ සම්බන්ධයෙන් විවිධ කරුණු කාරණා හුවමාරු වෙමින් පවතින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. අනුර සහ හරිනි සමග වැන්ග් යී හමුවක් නොපැවැත්වුණේ ඇයි? එම හමුව සිදු නොවුණේ කුමන පැත්තකින්ද? එම හමුව ඉබේ නැවැතුණාද, එසේත් නැතිනම් කවුරුන් හෝ එම හමුව නැවැත්වූවාද යනාදී කතා රැසක් තානාපති ක්ෂේත්‍රයේ සාකච්ඡාවට ලක්ව තිබූ බවක්ද ආරංචිය. නමුත් පසුගිය සතිය වනවිට 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නයත්, ඇමැති ලාල්කාන්ත විසින් ‘මිහින්තලේ වනචාරියා’ යනුවෙන් කළ ප්‍රකාශයෙන් අනතුරුව මාධ්‍ය ඇතුළේ මතුවූ කතාබහත් නිසා ජනාධිපතිවරයා සහ වැන්ග් යී අතර සිදු නොවුණු හමුව පිළිබඳ වූ මාතෘකාවට මාධ්‍ය තුළ එතරම් ඉඩකඩක් නිර්මාණය වූ බවක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව මාධ්‍යයේ යන්තමින් හෝ පළවූයේ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පමණක් වැන්ග් යී මහතා හමුවූ බව දැක්වෙන ඡායාරූප කීපයක් පමණි.

හෝටලය හැංගුවේ ඇයි?

නමුත් මෙහිදීද කිසිවකුටත් හසු නොවුණු තවත් විශේෂ යමක් සිදුව තිබිණි. එය අතපසු වීමකින් සිදුවූවාද එසේත් නැත්නම් කිසිවකු හෝ වුවමනාවෙන්ම සිදුකළාද යන්න පැහැදිලි නැතත්, විජිත සහ වැන්ග් යී අතර හමුව පිළිබඳ මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයෙන් සහ මෙරට විදේශ අමාත්‍යාංශයෙන් නිකුත් වූ නිවේදන දෙකේම දෙදෙනා හමුවූ ස්ථානය පිළිබඳ කිසිදු සටහනක් දැකගන්නට ලැබුණේ නැත. දෙපාර්ශ්වය මගින්ම නිකුත් කෙරුණු වාර්තාවේ සඳහන්ව තිබුණේ ඔවුන් දෙදෙනා අතර හමුවක් සිදුවූ බවත්, එහිදී විජිත දිට්වා සුළු කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් රට නැවත ගොඩගැනීම සඳහා චීනයෙන් ආධාර උපකාර ඉල්ලා සිටි බවත්ය. එමෙන්ම මාධ්‍යයට නිකුත් කෙරුණු නිල ඡායාරූපවලින්ද දැක්වුණේ කළපුවක් ආසන්නයේ පිහිටි හෝටලයකදී මොවුන් දෙදෙනාගේ හමුව සිදුව ඇති බවකි. ඒ අනුව චීන විදේශ අමාත්‍යවරයා කටුනායකින් ගොඩබැස එම ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණ ඇති බවක් ඉන් තහවුරු විය. නමුත් ඒ හෝටලය කුමක්ද යන්න කිසිදු තැනක නිශ්චිතව සඳහන් නොකිරීමට සියලු පාර්ශ්වයන් වගබලාගෙන ඇති බවක් දැකගන්නට ලැබිණ. පහත දැක්වෙන්නේ අදාළ හමුව සම්බන්ධයෙන් නිකුත් වූ නිල නිවේදනයය.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා, විදේශ සංචාරයකින් ආපසු යාම අතරතුර ශ්‍රී ලංකාවේ කෙටි නතරවීමක් සිදු කරමින්, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සමග හමුවක් පැවැත්වීය.

වැන්ග් යී මහතා සඳහන් කළේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව දිගු ඉතිහාසයක් සහිත සාම්ප්‍රදායික මිතුරන්ගේ සබඳතාවයක් වන අතර, දෙරට අතර අන්‍යෝන්‍ය ගෞරවය, සමානත්වය සහ අන්‍යෝන්‍ය ලාභය මත පදනම් වූ මිතුරත්වය සදාකාලිකව තබාගෙන යාමට චීනය ඉතා වැදගත්කමක් ලබාදෙන බවයි.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී ඇති ආර්ථික හා සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා ගෙන යන උත්සාහයන් චීනය අවබෝධ කරගන්නා බවත්, ශ්‍රී ලංකා රජය සහ ජනතාව තෝරාගත් සංවර්ධන මාර්ගයට චීනය ස්ථිරව සහයෝගය ලබා දෙන බවත් ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ස්ථාවරතාවය, සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ඉදිරියටත් හැකි සියලු ආකාරයේ සහයෝගය ලබාදීමට සූදානම් බවද වැන්ග් යී මහතා ප්‍රකාශ කළේය.

දෙපාර්ශ්වය වෙළෙඳ, ආයෝජන, යටිතල පහසුකම්, කෘෂිකර්ම, සංචාරක හා ජනතා ජීවනෝපාය වැඩිදියුණු කරන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීම පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ. ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ්’ වැඩසටහනේ රාමුව තුළ උසස් ගුණාත්මක සහ ප්‍රායෝගික සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳවද අවධානය යොමුකරන ලදී.

වැන්ග් යී මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජාත්‍යන්තර තත්ත්වය සංකීර්ණ සහ අස්ථිර වශයෙන් පවතින මේ මොහොතේ, චීනය සහ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් අන්‍යෝන්‍යව සහයෝගයෙන් බහුපාර්ශ්වීයත්වය රැකගැනීම, එක්සත් ජාතීන්ගේ අරමුණු සහ මූලධර්ම ආරක්ෂා කිරීම සහ ‘ශක්තිය මත නීතිය’ යන සංකල්පයට විරුද්ධව ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය බවයි.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසුවේ, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ශ්‍රී ලංකා ජනතාව විසින් ඉතා ඉහළ අගය කරන බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය සහ සංවර්ධන උත්සාහයන් සඳහා චීනය ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳ ශ්‍රී ලංකා රජය කෘතඥතාව පළකරන බවත්ය. එක් චීන ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව අඛණ්ඩව සහයෝගය දක්වන බවද ඔහු නැවත අවධාරණය කළේය.

දෙපාර්ශ්වය චීන – ශ්‍රී ලංකා සබඳතාව ඉදිරියටත් ශක්තිමත් කරගෙන යාමට, ඉහළ මට්ටමේ හුවමාරු වැඩිදියුණු කිරීමට සහ ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට එකඟ විය.

මව්රට හෝටලය හොයාගත්තා

කෙසේ වෙතත් මේ ආකාරයට විජිත සහ චීන විදේශ අමාත්‍යවරයා හමුවූ හෝටලය සඟවා තිබීම හේතුකොටගෙන ‘රාජ්‍ය රහස්’ තීරය මේ හෝටලය කුමක්ද යන්න සම්බන්ධයෙන් පසුගිය සතියේ විශේෂ සොයාබැලීමක නිරත විය. එහිදී අප කළ තොරතුරු සොයාබැලීමකදී දැනගන්නට ලැබුණේ චීන විදේශ අමාත්‍යවරයා තමන්ට අවශ්‍ය ඊළඟ ගුවන් යානය ලබාගන්නා තෙක් පැය කීපයක කාලයක් මීගමුවේ පිහිටි අතිසුඛෝපභෝගී හෝටලයක් ලෙස සැලකෙන ‘ජෙට්වින්ග් ලැගූන්’ හෝටලයේ නවාතැන් ගෙන ඇති බවය. ඊට පෙර ජෙට්වින් ලැගූන් හෝටලය පමුණුගම පොලිස් වසමට අයත්ව තිබුණත් මෑතකදී කෙරුණු සංශෝධන හේතුවෙන් මේ වනවිට පමුණුගම පොලිස් වසම කොටස් දෙකකට වෙන්කොට ඇති බැවින් ‘ජෙට්වින්ග් ලැගූන්’ හෝටලය අයත් වන්නේ දුන්ගල්පිටිය පොලිස් වසමටය. ඒ අනුව අප කළ සොයාබැලීම්වලදී අනාවරණ වූයේ විජිත මේ ‘ජෙට්වින්ග් ලැගූන්’ හෝටලයට ගොස් චීන විදේශ අමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා පවත්වා ඇති බවකි.
නමුත් එහිදී පැනනැගුණු ඊළඟ ප්‍රශ්නය වූයේ චීන විදේශ අමාත්‍යවරයා සමග ජනාධිපතිවරයා සහ අගමැතිවරිය පැවැත්වීමට නියමිත වූ හමුවීම් අවලංගු වූයේ කුමන හේතුවක් නිසාද යන්නය. චීන පාර්ශ්වය විසින් කොළඹදී එවැනි හමුවක් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම ඊට හේතු වූවාද යන්න සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇත්තේ බරපතළ සංවාදයකි.

කෙසේවෙතත් චීන විදේශ අමාත්‍යවරයාගේ ලංකා සංචාරය සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සිටියේ මහත් බලාපොරොත්තු තබාගෙනය. ඒ, චීන විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණ සුළිකුණාටුවෙන් විනාශ වූ ප්‍රදේශ එකක් හෝ කිහිපයක් යළි ගොඩනැගීමට බාර ගනු ඇති බවට තිබූ විශ්වාසය නිසාය. චීන විදේශ අමාත්‍යවරයා පැමිණීමට පෙර ජනාධිපතිවරයා ‘රී බිල්ඩින් ශ්‍රී ලංකා’ වෙබ් අඩවිය රටට හඳුන්වා දුන්නේද එහි සඳහන්ව ඇති මහාපරිමාණ ව්‍යාපෘති එකක් හෝ කිහිපයක් චීන රජය විසින් භාරගනු ඇති බවට වූ විශ්වාසය නිසාය. නමුත් සිය සංචාරය අතරතුරදී ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යවරයා කිසිදු නිල ප්‍රකාශයක් සිදු නොකිරීම විශේෂ සිදුවීමකි. නිකුත් වූ නිල නිවේදනයෙන් පවා පෙනෙන්නට තිබුණේ විජිත හේරත් සුළි කුණාටුවෙන් සිදුවූ හානියෙන් ගොඩ ඒමට ලංකාවට උපකාර කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, ඊට නිශ්චිත වශයෙන් ප්‍රතිචාර දැක්වීමට චීන විදේශ අමාත්‍යවරයා කටයුතු කර නොමැති බවත්ය. කිසිදු ව්‍යාපෘතියක් චීන රජය මගින් භාරගත් බවක් එහි සඳහන් වී නොතිබිණි.

චීනය පිටුපෑවේ ඇයි?

වත්මන් මාලිමා ආණ්ඩුව සහ චීනය අතර අතිශය සමීප සබඳතාවක් පැවැතියදී පවා මේ ආකාරයට චීනය ලංකාවට උදව් කිරීමට කටයුතු නොකළේ ඇයි? මීට පෙර ජනාධිපතිවරයා චීනයේ සංචාරයක නිරත වූ අතර, එහිදී ජනාධිපතිවරයා විසින් ඉල්ලන ඕනෑම දෙයක් ලබාදීමට චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සූදානමින් සිටින බවට එම සංචාරයට පළමුව ජනාධිපතිවරයා හමුවූ මෙරට චීන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම්දී තිබිණි. එමෙන්ම ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සති කීපයක දීර්ඝ සංචාරයක් සඳහා චීනයට ගිය අතර, එහිදීද චීනය සහ ලංකාව සම්බන්ධ කරන ආකාරය පිළිබඳවත්, චීන ජනාධිපතිවරයා සහ ලංකාවේ ජනාධිපතිවරයා අතර සබඳතාව වර්ධනය කරන ආකාරය පිළිබඳවත්, චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කරන ආකාරය පිළිබඳවත්, චීන ප්‍රජාව සහ ලංකාවේ ප්‍රජාව සම්බන්ධ කරන ආකාරය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබූ බව ‘රාජ්‍ය රහස්’ තීරය එවකදී වාර්තා කොට සිටියේය. මීට අමතරව ජවිපෙ දෙවැනියා ලෙස සැලකෙන අමාත්‍ය බිමල් රත්නායක මහතාද චීනයේ සංචාරයක නිරත වූ අතර, එහිදී චීන ප්‍රාන්තවල පරිපාලන කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් සහ ග්‍රාමීය මට්ටමේ කර්මාන්ත කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට බිමල් කටයුතු කොට තිබිණි. ඒ සෑම අවස්ථාවකදීම චීන රජය දැනුම් දී තිබුණේ ඕනෑම අවස්ථාවක ඕනෑම ආකාරයකින් ලංකාවට ආධාර උපකාර කිරීමට ඔවුන් සූදානම් යැයි කියාය. ඒ අනුව මෙරට බොහෝ දෙනා පවා සිතා සිටියේ ආණ්ඩුව අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අතහැර චීනය සමග සිය ඉදිරි ගමන යෑමට තීන්දු කොට ඇති බවකි.

නමුත් මේ වනවිට සිදුවෙමින් පවතින සිදුවීම් දෙස බලන විට කුමක් හෝ ප්‍රබල කාරණාවක් චීනය සහ ආණ්ඩුව අතර පැවැති මේ හිතවත්කම අතරට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු සොයාගෙන යද්දී ‘රාජ්‍ය රහස්’ තීරයට නිල නොවන විශේෂ කරුණක් දැනගැනීමට හැකි විය. ඒ, මීට පසුගිය දෙසැම්බර් 25 වැනිදා ලංකාවට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ ෂිෂැන්ග් ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වැන්ග් ජුන්ෂෙන්ග් මහතා සමග ආණ්ඩුවේ බලධාරීන් පැවැත්වූ සාකච්ඡාවකදීය. ඔහුගේ සංචාරයේදී චීනය පැත්තෙන් දැවැන්ත ප්‍රදානයක් සිදුකරනු ඇති බවක් ආණ්ඩුවේ බලධාරීන් සිතා සිටියද එවැන්නක් සිදුවූයේ නැත.

චීන ගිවිසුම කෝ?

ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ප්‍රධානීන් අතර පැවැති එම හමුවෙන් පසු මෙම චීන නියෝජිතයා පැලවත්තට පමිණ ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා හමුවීමටද පියවර ගෙන තිබිණි. මෙම හමුව සම්බන්ධයෙන් තානාපති ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන ප්‍රධාන කාරණයක් වන්නේ එහිදී චීන නියෝජිතයා චීන පර්යේෂණ නෞකාවලට ලංකාවට ඇතුළු වීමට අවසර නොදීම සම්බන්ධයෙන් දැඩිව ප්‍රශ්න කොට ඇති බවක් ආරංචිය. ජනාධිපතිවරයාගේ චීන සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා මුහුදු තීරයට චීන පර්යේෂණ නෞකාවන්ට ඇතුළු වීමට අවසර ලබා නොදීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී ඊට වාචිකව අවසර ලබාදුන් බවත්, ඊට අදාළ ගිවිසුම සකස් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා විසින් චීන ප්‍රධානීන්ට දැනුම් දී තිබූ බවත් එකල මාධ්‍ය වාර්තා කොට තිබිණි.

නමුත් එම වාචික එකඟතාව පළකොට මේ වනවිට වසරකට ආසන්න කාලයක් ගතව ඇති නමුත් තවමත් ඊට අදාළ ගිවිසුම හෙවත් ‘එස්.ඕ.පී.’ එක මාලිමා ආණ්ඩුව පැත්තෙන් තවමත් ප්‍රකාශයට පත්නොවීම සම්බන්ධයෙන් චීනය සිටින්නේ යම් හිත් අමනාපයකින්ය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ පටන්ම චීන පර්යේෂණ නෞකාවන් කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ නමුත්, ඒ අවස්ථාවේදී ඉන්දියාව සහ ඇමෙරිකාව ඊට ප්‍රබල විරෝධයක් දැක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණ. ඔවුන්ගේ චෝදනාව වූයේ චීන පර්යේෂණ නෞකා මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ඉන්දියාව සම්බන්ධයෙන් ඔත්තු බැලීමේ නිරතව සිටිනවා යැයි කියාය. ඒ අනුව ඇතිවූ බරපතළ විරෝධය මුල්කරගෙන ගෝඨාගෙන් පසු බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ රජය වසරක කාලයක් සඳහා චීන පර්යේෂණ නෞකාවන්ට මෙරට මුහුදු සීමාව වසාදැමීමට පියවර ගත්තේය. මෙය චීනය දුටුවේ සිය රටේ අභිමානයට කළ දැවැන්ත ප්‍රහාරයක් ලෙසය. නැතිනම් තමන්ට කළ මදිපුංචිකමක් ලෙසය. ඒ අනුව රනිල්ගේ ආණ්ඩුව බලයේ සිටින තාක් චීනයෙන් කිසිදු ආධාරයක් ලංකාවට ලැබුණේ නැත.

ඒ අනුව රනිල්ගේ ආණ්ඩුව බලයෙන් පහව අනුර කුමාර දිසානායක මහතා බලයට පැමිණීමෙන් පසු මේ අභිමානය පිළිබඳ ප්‍රශ්නය සාර්ථකව විසඳා ගැනීමට චීනය සියලු වාචික එකඟතාවන් ලබාගෙන තිබිණි. නමුත් ඊට අදාළ නිල ගිවිසුම ඉදිරිපත් කිරීම දිනෙන් දිනම ආණ්ඩුව පැත්තෙන් අතපසු කරද්දී චීනයද සිටියේ ඒ සම්බන්ධයෙන් යම් කලකිරීමකට පත්වය. ඒ අනුව මේ වනවිට චීනය ලංකාව සම්බන්ධයෙන් යම් තද ස්ථාවරයකට පැමිණ ඇති බවක් ආරංචිය.

ඉන්දීය ගිවිසුම එළියට

මේ බව හොඳින්ම දැකගන්නට ලැබුණේ චීන විශේෂ නියෝජිතයා හා ටිල්වන් අතර පැලවත්තේ පැවැති සාකච්ඡාවේදීය. සුපුරුදු පරිදි මෙම සාකච්ඡාවේදීත් චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු සීමාව විවෘත නොවීම සම්බන්ධ මාතෘකාවද සාකච්ඡා වී ඇති බව පැවසේ. ඒ අනුව තානාපති ක්ෂේත්‍රයේ යන නිලනොවන කතාවලින් කියැවෙන්නේ ටිල්වින් සුපුරුදු පරිදි මෙම ප්‍රශ්නයෙන් ගැලවීමට හේතු දක්වද්දී චීන විශේෂ නියෝජිතයා සිය ලිපිගොනුවෙන් විශේෂ යමක් ගෙන ටිල්වින්ට පෙන්වා ඇති බවකි. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මේ විශේෂ ලිපිය ලංකාව සහ ඉන්දියාව අතර අස්සන් තබා ඇති විශේෂ ආරක්ෂක ගිවිසුම යැයි කියාය. ලංකාව සහ ඉන්දියාව අතර පසුගියදා මෙවැනි විශේෂ ආරක්ෂක ගිවිසුමකට අස්සන් තබා තිබුණද එය මෙතෙක් රටට අනාවරණ කිරීමට ආණ්ඩුව කටයුතු කොට තිබුණේ නැත. විශේෂයෙන්ම විපක්ෂය ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදීත්, ඉන් පිටතදීත් අදහස් දක්වමින් ඉන්දියාව සහ ලංකාව අතර අස්සන් කළ ගිවිසුම් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියත්, මේ දක්වා එම ගිවිසුම් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන නැත. එවැනි තත්ත්වයක් යටතේ චීන විශේෂ නියෝජිතයා සිය ලිපිගොනුවෙන් ලංකාව සහ ඉන්දියාව අතර අස්සන් කළ ආරක්ෂක ගිවිසුමේ පිටපතක් ගෙන ටිල්වින්ට පෙන්වා ප්‍රකාශ කොට ඇති බව කියැවෙන්නේ, ‘ඕගොල්ලො මෙච්චර ඉන්දියාවට දීලා තියෙනවා. ඒ වුණාට අපිට කොච්චරද දීලා තියෙන්නේ?’ යැයි කියාය. මෙහි සත්‍යාසත්‍යතාව 100%ක් තහවුරු කරගැනීමට නොහැකි වුවත් තානාපති අංශ අතර මෙම පුවතට විශාල බරක් හිමිව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.

කොණ්ඩෙ බැඳපු චීන්නුද?

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ලංකාවට පැමිණීම විශාල මාතෘකාවක් විය යුතු වුවත් එසේ නොවුණේ දෙරටට මතුව ඇති මේ ප්‍රශ්නය නිසා විය හැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එමෙන්ම චීන විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණීමට දින කීපයක් තබා විදේශ ඇමැති විජිත හේරත් චීන පර්යේෂණ නෞකා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර තිබුණේද මේ හේතුව නිසා විය යුතුය. එහිදී විජිත කියා තිබුණේ චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සම්බන්ධයෙන් වූ ගිවිසුම තවත් මාස දෙකකින් අවසන් කිරීමට හැකි වනු ඇතැයි කියාය. නමුත් අප වෙත ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ බලධාරීන් විසින් ඊට අදාළ ගිවිසුම සකස් කොට මේ වනවිට වසරකට ආසන්න කාලයක් ගත වී ඇති බවකි. නමුත් එය ප්‍රකාශයට පත් නොකර සිටින්නේ එය ප්‍රසිද්ධ කළහොත් වෙනත් රටවලින් ගැටලු මතුවීමට ඉඩ ඇති නිසා බවද පැවසේ.

ඇතැම් විට විජිත මාස දෙකක් ඇතුළත මෙම ගිවිසුම ප්‍රකාශයට පත්කරනු ඇති බව කියා සිටියේද ලංකාවට පැමිණෙන චීන විදේශ අමාත්‍යවරයාගෙන් සැලකිය යුතු ආධාර උපකාර ලංකාවට ලබාගැනීමේ අරමුණෙන් විය යුතුය. නමුත් ආණ්ඩුව අමතක කර ඇති කාරණාවක් වන්නේ දැන් සිටින්නේ ඉස්සර සිටි කොණ්ඩේ බැඳපු චීන්නු නොවන බවය. ඉස්සර නම් කතාවට කීවේ දිගින් දිගටම පුද්ගලයන් රැවැටෙන විට ඔවුන් කොණ්ඩේ බැඳපු චීන්නු යැයි කියාය. නමුත් දැන් සිටින චීන්නුන් ඉස්සර මෙන් කොණ්ඩේ බඳින චීන්නුන් මෙන් රැවැටිය නොහැක. චීන විදේශ අමාත්‍යවරයාගේ සංචාරය ඊට හොඳම නිදසුනය. ආණ්ඩුව ගංවතුරෙන් සහ කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් ගොඩ ඒම සඳහා චීනයෙන් දැවැන්ත මූල්‍යාධාරයක් බලාපොරොත්තු වුවද, ආණ්ඩුව බලාපොරොත්තු වූ පරිදි චීන විදේශ අමාත්‍යවරයා මේ සංචාරයේදී එවැන්නක් සම්බන්ධයෙන් කිසිදු නිල දැනුම්දීමක් සිදු කළේ නැත. අඩුම තරමේ ඒ සම්බන්ධයෙන් චීනය සිය අවධානය යොමුකළ බවක් හෝ දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමකි.

පයින් ගහපු ඉන්දීය ඉල්ලම

චීනය සම්බන්ධයෙන් තත්ත්වය මෙසේ වෙද්දී ඉන්දියාව මුල්කරගෙන පසුගිය සමයේදී සිදුවූ විශේෂ සිදුවීමක් සම්බන්ධයෙන්ද ‘රාජ්‍ය රහස්’ තීරය මෙවර පළමු වරට විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම්ය. ඒ, පසුගිය වසරේ ලංකාවේ පැවැත්වීමට සූදානම් වූ බුදුන් වහන්සේගේ ධාතුන්වහන්සේලා ප්‍රදර්ශනයක් සම්බන්ධයෙනි. පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වීමට පියවර ගත්තේය. ‘ද ලයිට් ඇන්ඩ් ද ලෝටස් : රෙලික් ඔෆ් දි අවේක්න්ඩ් වන්’ ලෙස නම් කර තිබූ මෙම සර්වඥ ධාතු ප්‍රදර්ශනය දිල්ලිහි රායි පිතෝරා සංස්කෘතික සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු කොට තිබිණි. කපිලවස්තුපුර පිප්‍රාවා ප්‍රදේශයෙන් සොයාගෙන නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ සහ කොල්කටාහි ඉන්දීය කෞතුකාගාරයේ සංරක්ෂණය කෙරෙන ධාතූන් වහන්සේ මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, ඉකුත් කාලයේදී වෙන්දේසියකින් නිදහස් කරගත් මිල කළ නොහැකි මුතු මැණික් එකතුවක් ද මේ අතර තිබිණි. මෙහි ඇති විශේෂත්වය වූයේ මෙම මුතු මැණික් එකතුව මෙලෙස ඉන්දියාවේදී ප්‍රදර්ශනය වසර 127කින් පසු පළමු වරට සිදුකර තිබීමය.

මේ සම්බන්ධයෙන් සොයාගෙන යද්දී අපට ලැබුණු තොරතුරුවලින් කියැවුණේ ඉන්දියාවෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා මුලින්ම ලංකාව තෝරාගෙන තිබී ඇති බවකි. ලංකාවේ එවැනි ප්‍රදර්ශනයක් පැවැත්වූවා නම් විශාල බැතිමතුන් ප්‍රමාණයක් පමණක් නොව, ලොව වටා සිටින බෞද්ධ බැතිමතුන් සහ ඉන්දීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් ලංකාවට ගන්වා ගැනීමේ හැකියාව තිබිණි. නමුත් කනගාටුවට කරුණ වී ඇත්තේ ඒ අවස්ථාවේ බලයේ සිටින මාලිමා ආණ්ඩුව විසින් එම මහඟු අවස්ථාව මගහැර ගැනීමට කටයුතු කොට තිබීමය. ඊට හේතුවී ඇත්තේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට ගෙන හදිසි සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් මහනුවර පැවැත්වීමට සැලසුම් කොට දින යොදාගෙන තිබීමය. කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ලැබුණු මෙම ප්‍රතිචාරය හේතුකොට ගෙන ඉන්දියාව තීරණය කර තිබුණේ එම සර්වඥ ධාතු ප්‍රදර්ශනය නවදිල්ලියේ පැවැත්වීමටය.

නමුත් මහනුවර පැවැති දන්ත ධාතු ප්‍රදර්ශනයෙන් පසු මහනුවර නගරය විශාලා මහනුවරක් බවට පත්ව එකම කුණු ගොඩක් ලෙස දිස්විය. බොහෝ දෙනා එය හඳුන්වනු ලැබුවේ දේශපාලන හේතු මත අකල් සමයක දන්ත ධාතු ප්‍රදර්ශනයක් පවත්වා මහනුවරට විශාල විනාශයක් කළ ලෙසටය. දිට්වා සුළි කුණාටුවෙන් පසු පළමු වතාවට මහනුවර ඇතුළු කන්ද උඩරට බොහෝ ප්‍රදේශ නායගොස් ගංවතුරට බිලිවීමද බොහෝ දෙනා හඳුන්වා දී තිබුණේ මේ අකලට පැවැත්වූ දන්ත ධාතු ප්‍රදර්ශනයේ අනිසි ප්‍රතිඵලයක් යැයි කියාය.

වෙසක් එකේ තියන්න ඉල්ලයි

කෙසේ වෙතත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා අනුග්‍රහය දැක්විය හැකි බවට ඉන්දීය රජය කර තිබූ ඉල්ලීම ආණ්ඩුව ඉවත දමා තිබුණේ නැත. ඒ අනුව ආණ්ඩුව කළේ වෙසක් සමය මුල් කරගෙන එම සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැවැත්වීමට අනුග්‍රහය දැක්විය හැකිදැයි ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කිරීමය. එම ඉල්ලීමට එකඟතාව පළකළ ඉන්දීය රජය වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කර තිබූ නුවරඑළියේ එවැනි ප්‍රදර්ශනයක් පැවැත්විය හැකිදැයි සොයාබැලීම සඳහා විශේෂ නියෝජිත කණ්ඩායමක් ලංකාවට එවීමට පියවර ගත්තේය. ඊට ඉන්දීය රජයේ කැබිනට් අමාත්‍යවරයකු ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක්ම ඇතුළත්ව සිටියහ. ඒ අනුව මෙම කණ්ඩායම ලංකාවට පැමිණ නුවරඑළියේ සංචාරය කොට සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් එහි පැවැත්විය හැකිද යන්න සොයා බැලීමට කටයුතු කොට තිබිණි.

කෙසේ වෙතත් මෙහිදී ලංකාවට පැමිණි මෙම කණ්ඩායම ඉන්දීය රජයට දැනුම් දුන් පිළිතුර නම් එතරම් හොඳ එකක් නොවේ. එහිදී ඔවුන් දැනුම්දී තිබුණේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වීමට නුවරඑළිය වැනි සංචාරක පාරාදීසයක් යොදාගැනීමේදී ගැටලු රැසක් පැනනගිනු හැකි යැයි කියාය. එමෙන්ම මීට පෙර දන්ත ධාතු ප්‍රදර්ශනයක් මහනුවර පවත්වා බරපතළ ගැටලු ගණනාවක් මතුවී ඇති බවත්, මෙවනි දැවැන්ත ප්‍රදර්ශණයක් පැවැත්වීමට තරම් අත්දැකීමක් සහිත කණ්ඩායමක් ලංකාවේ නොමැති බවත් එම කණ්ඩායම ඉන්දීය රජයට වාර්තා කර තිබූ බවක්ද ආරංචිය.
මීට අමතරව කැබිනට් අමාත්‍යවරයකු සමග පැමිණි මෙම නිල කණ්ඩායම නිසි අයුරින් පිළිගැනීම සඳහා ඒ හා සමාන කණ්ඩායමක් ලංකාව පැත්තෙන් පත්කොට නොතිබූ බවක්ද මෙම කණ්ඩායම ඉන්දීය රජයට දැනුම්දී ඇති බවක් ආරංචිය. සාමාන්‍යයෙන් මෙවැනි ඉහළ පෙළේ දූත කණ්ඩායමක් ලංකාවට පැමිණෙන විට ඒ හා සමාන පිරිසක් ඔවුන් පිළිගත යුතු වුවත් ඊට ලංකාවෙන් යොදවා තිබී ඇත්තේ දෙවැනි පෙළ මට්ටමේ නිලධාරීන් කණ්ඩායමක් බව පැවසේ. මීට පෙර මෙවැනිම ආකාරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ පවත්වා ඇති අතර, එය ඍජුවම එවකදී මෙරට බුද්ධ ශාසන අමාත්‍යාංශය මැදිහත්ව සිදුකර තිබිණි. එමෙන්ම ඊට ජනාධිපති ජේ.ආර්. මෙන්ම එවක රජයේ සිටි ප්‍රබලයන් වූ අගමැති රණසිංහ ප්‍රේමදාස, සංස්කෘතික ඇමැති ඊ.එල්.බී. හුරුල්ලේ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් ඍජුවම සම්බන්ධ වී විශාල ශක්තියක් ඊට ලබාදී තිබිණි. නමුත් මෙවර ඉන්දියාවෙන් පැමිණි කණ්ඩායමට අඩු සැලකිල්ලක් ලබාදී තිබීම නිසාත් අවසානයේදී ඉන්දියාව වෙසක් සමයේදී එම සර්වඥ ධාතු ප්‍රදර්ශනය ලංකාවේ පැවැත්විය නොහැකි බව ලංකාවට දැනුම් දී තිබිණි. ඒ අනුව ලංකාවට ගත හැකිව තිබූ ඉතා සුවිශේෂ අවස්ථාවක් යම් යම් අතපසුවීම් මුල් කරගෙන අහිමි වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.

ඓතිහාසික ඡායාරූපය

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අසභ්‍ය වෙබ් අඩවියක නම සඳහන් වීමත්, අමාත්‍ය ලාල්කාන්ත මහතා ‘මිහින්තලේ වනචාරියා‘ යැයි කියමින් කළ ප්‍රකාශයත් මුල්කරගෙන පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රය වැසී යද්දී වෙනත් කිසිදු දේශපාලන කරුණකට ලොකු අවධානයක් යොමුවූ ආකාරයක් දැකගන්නට නොලැබිණි. මෙම ප්‍රබල සිදුවීම් දෙකට මුළු රටේම විශාල අවධානයක් යොමුව තිබුණත් විපක්ෂය පැත්තෙන් යම් තරමකින් හෝ රටේ අවධානයක් දිනාගත් එකම එක කාරණාව වූයේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ගොඩනැගෙමින් පවතින අලුත් හිතවත්කමය. සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාපයේ තරුණ නායකයන් වන නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් සහ උපසභාපති නවීන් දිසානායක යන මහත්වරුන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සිදුකළ සාකච්ඡාවෙන් පසු සහ එම සාකච්ඡාවට අදාළව නිකුත් කෙරුණු ඡායාරූපයෙන් පසු මේ වනවිට සියලු සජබ පාක්ෂිකයන් අතරත්, එජාප පාක්ෂිකයන් අතරත් එම ඡායාරූපයට හිමිව ඇත්තේ විශේෂ ස්ථානයකි. විශේෂයෙන්ම එම ඡායාරූපය මත ලක්ෂ සංඛ්‍යාත සජබ පාක්ෂිකයන් සහ එජාප පාක්ෂිකයන් දැඩි විශ්වාසයක් තබා ඇති ආකාරයක් මේ වනවිට දැකගන්නට පුළුවන. ඒ නිසාම පක්ෂ දෙකේම පාක්ෂිකයන් අතර මෙම ඡායාරූපය රැල්ලක් බවට පත්ව ඇති ආකාරයක් පෙනී යන්නේ පසුගිය සතිය වනවිට සියලු වාර්තා බිඳදමමින් සමාජ මාධ්‍ය ඔස්සේ අතිවිශාල පිරිසක් එම ඡායාරූපය අන්තර්ජාලය ඔස්සේ නරඹා තිබීම නිසාය. පසුගිය සතිය වනවිට එම ඡායාරූපය ලක්ෂ 68කට අධික ප්‍රමාණයක් නරඹා තිබූ අතර, මේ වනවිට එය ඊටත් වඩා විශාල අගයක් ගෙන ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. ඒ අනුව මේ වනවිට පක්ෂ දෙකේම ඉදිරිපෙළ නියෝජිතයන්ටත්, පක්ෂ දෙකේම ආසන සංවිධායකවරුන්ටත් දැකගන්නට ලැබී ඇති කරුණක් වන්නේ මෙම ඡායාරූපය පළවීමත් සමග ගම් මට්ටමේ බිම් මට්ටමේ සිටින සජබ සහ එජාප පාක්ෂිකයන් පක්ෂ දෙකේ සමගිය පිළිබඳ විශාල බලාපොරොත්තුවකින් පසුවන බවය. තරුණ නායකයන් ඊට සම්බන්ධ වී සිටින නිසා මෙවර නියත වශයෙන්ම පක්ෂ දෙක එකට එකතු වනු ඇති බවය. සජබ මන්ත්‍රීවරුන්ටත්, පක්ෂ දෙකේම ගම් මට්ටමේ ආසන සංවිධායකවරුන්ටත් පාක්ෂිකයන්ගෙන් දිනපතා ලැබෙන ප්‍රතිචාරවලින් මේ බව පැහැදිලිවම දැකගන්නට හැකිවී ඇති බවක්ද ආරංචිය.

සජිත්-රුවන්-සාගල හමුව

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 59 වැනි ජන්ම දිනය පසුගිය 12 වැනිදාට යෙදී තිබිණි. සජිත් යනු සාමාන්‍යයෙන් සිය උපන්දිනය නිමිති කොටගෙන ප්‍රිය සාද සම්භාෂණ පවත්වන අයකු නොවේ. එදිනට ආගමික සහ සමාජ සුබසාධන කටයුතුවලට මුල් තැනක් දී කටයුතු කිරීම සජිත්ගේ සිරිතය. ඒ අනුව එදින පෙරවරුවේ සජිත් ආගමික කටයුතු සිදුකිරීමට යොදාගෙන තිබුණේ කොළඹ ගංගාරම විහාරස්ථානයය. ගංගාරාම පන්සල යනු අතීතයේ සිටම එජාප දේශපාලනයේ කේන්ද්‍රස්ථානයක් විය. එජාප හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ කාලයේ සිටම ආගමික වැඩසටහන්, දානමය පින්කම් සහ දේශපාලන සාකච්ඡා පැවැත්වූයේද, අවවාද අනුශාසනා ලබාගත්තේද ගංගාරාම පන්සල මුල්කොට ගෙනය. ඒ අනුව සිය පියා කළාක් මෙන්ම සජිත්ද තමන්ගේ ජන්ම දින ආගමික කටයුතු සඳහා තෝරාගත්තේ ගංගාරාම විහාරස්ථානයය. එහි සංවිධාන කටයුතු කළ පිරිස් එම අවස්ථාවට එක්වන ලෙසට එජාපයේ ඉහළ පෙළ තරුණ නායකයන්ටද දැනුම් දීමට පියවර ගෙන තිබිණි. මේ හේතුව නිසාම ආගමික පින්කමක් වුවත් ඊට රටේම විශාල අවධානයක් යොමුවූ උත්සවයක් බවට එය පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඊට හේතු වූයේ එජාප ප්‍රබලයන් වන නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක, උපනායක රවී කරුණානායක ඇතුළු කොළඹ මහනගර සභාවේ එජාප නාගරික මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටීමය. විශේෂයෙන්ම කිසිදු ආරාධනාවකින් තොරව එජාප නාගරික මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් රැසක් ඊට එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය. ඒ නිසාම එය තවත් එක් උත්සවයකට සීමා වනවාට වඩා පක්ෂ දෙකේ එකතුව සම්බන්ධයෙන් තවත් පියවරක් ඉදිරියට තැබූ දැවැන්ත උත්සවයක් බවට පරිවර්තනය වී තිබිණි. ඒ නිසාම ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට නිකුත් වූ ඡායාරූපයට සමාන ප්‍රසිද්ධියක් සජබ – එජාප තරුණ නායකයන් එක්වූ මෙම ආගමික උත්සවයේ ඡායාරූපවලටද හිමිවන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත.
පසුගිය සතියේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සජබ – එජාප සාකච්ඡා සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබීම ලක්වීම නිසාත්, පක්ෂ දෙකේ එකමුතුව සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු විශේෂ නිවේදනයක් නිකුත්ව තිබී නිසාත් මේ සතිය ආරම්භ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊට කවර ආකාරයකින් ප්‍රතිචාර දක්වනු ඇද්දැයි කියාය. බිම් මට්ටමේ බොහෝ දෙනෙක් දිගින් දිගටම සජිත්ගෙන් ඒ පිළිබඳ විමසීම් කර තිබීම නිසා පාක්ෂිකයන් අතරද මේ සම්බන්ධයෙන් දැඩි වුවමනාවක් මතුව ඇති බවක් සජිත්ටද වැටහී ගොස් තිබිණි.

ඊට තවත් එක් හේතුවක් වී තිබුණේ සිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එජාපය නිකුත් කළ නිවේදනයේ පක්ෂ දෙකේ කෘත්‍යාධිකාරී මණ්ඩල අතර හමුවක් පැවැත්වීමටද යෝජනාවක් කොට තිබීම නිසාය. එම නිවේදනයෙන් පසු ඇතැම් පිරිස් සජිත්ට පෙන්වා දී තිබුණේ පක්ෂ දෙක අතර මතුවෙමින් පවතින එකඟතාව සහ පක්ෂ දෙක අතර සමගිය මුල්කොටගෙන ඇතිවෙමින් පවතින ගැම්ම කඩාකප්පල් කිරීම සඳහා යම් ගැටුමක් ඇතිකිරීමේ අරමුණෙන් එවැනි යෝජනාවක් එජාප නිවේදනයට ඇතුළත් කොට ඇද්දැයි යනුවෙන් සැකයක් මතුවනවා යැයි කියාය. ඒ වනවිට සජිත්ද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිදුවූ සිදුවීම පිළිබඳවත්, එහි සාකච්ඡාවට ලක්වූ කරුණු සහ ඇතැමුන් කර තිබූ ප්‍රකාශ පිළිබඳවත් කරුණු හොඳහැටි දැන සිටි බැවින් සජිත්ද මෙම නිවේදනය පසුපස තිබූ යම් යම් යටි අරමුණු පිළිබඳ මනාව දැනුවත්වී සිටියේය. සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එජාප තරුණ නායකයන් සමග එතෙක් පැවැති සාකච්ඡාවල ප්‍රගතිය දැනුම් දෙමින් සජිත් ප්‍රබල පණිවුඩයක්ද පිරිසට ලබා දුන්නේ ඒ අනුවය.

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

‘දැන් අපි සජබයත් එජාපයත් එකතු කරන සාකච්ඡා පටන් අරගෙනයි තියෙන්නේ. හැබැයි මේක එක පාරට ඩෝං ගාලා එකතු කරලා ගැටගහන්න පුළුවන් පක්ෂ දෙකක් නෙවෙයි. අපි දැන් එකතු වීමට මූලික පදනම හදලා ඉවරයි. හැබැයි එකතු වෙන්නේ කොහොමද කියන එක ගැන අපි තවත් දීර්ඝව සාකච්ඡා කරන්න ඕනේ. මොකද මේ එකතුවේදී අපේ අයටවත් යූ.ඇන්.පී. අයටවත් අසාධාරණයක් වෙන්න බෑ. දෙගොල්ලොම සතුටු වෙන විදියට, පාක්ෂිකයොත් සතුටු වෙන විදිහට තමයි අපි මේක ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ඒ වගේම ඉස්සර කළා වගේ කමිටු දාගෙන ගේම් ගගහා කකුලෙන් ඇද ඇද මේවා කරන්න බෑ. එහෙම කරන්න සමහරු හිතාගෙන ඉන්නවා නම් මේ පාර ඒකට ඉඩ තියන්නත් බෑ…’ යනුවෙන් කියමින් කතාව ආරම්භ කළ සජිත්, මෙතෙක් පැවැති සාකච්ඡාවල ප්‍රගතියද කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.

‘මම ඉස්සෙල්ලම ටාජ් සමුද්‍රා හෝටලයේදී රුවන්, අකිල, නවීන් හම්බවෙලා සාකච්ඡා කළා. ඒ සාකච්ඡාව බොහොම ධනාත්මක තැනකයි තිබුණේ. ඊට පස්සේ මම එතැනදීම සාගල රත්නායකත් හමුවෙලා සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවත් බොහොම ධනාත්මක බව කියන්න ඕනේ. ඒ සාකච්ඡාවෙන් පස්සේ මේ ක්‍රියාවලිය පොසිටිව් පැත්තට ඇවිත් තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒ හමුවීම් දෙක නිසා අපේ පාක්ෂිකයෝ අතර වගේම එජාප පාක්ෂිකයෝ අතරත් විශාල උද්‍යෝගයක් ඇතිවෙලා තියෙනවා කියලා මට පේන්න තියෙනවා. හැබැයි අපිට මේකට තව කාලය අවශ්‍යයි. මම මේ වැඩේ කරගෙන යන විදියේ වෙනසක් කරන්න ඕනෙ නම් මට කියන්න. එහෙනම් මම අයින් වෙලා ඒ අයට මේ සාකච්ඡාව කරගෙන යන්න මම ඉඩ දෙන්නම්. මම කරනවා නම් මේ විදියට පියවරෙන් පියවර තමයි ඉස්සරහට යන්නේ. ඒ හින්දා එළියේ ගිහින් ඔබතුමාලා කවුරුවත් මේ සාකච්ඡා ගැන එක එක මත කියන්න හදිසි වෙන්න එපා. දැන් පක්ෂ දෙකේම පාක්ෂිකයො ලොකු පිබිදීමක ඉන්න නිසා විවිධ අර්ථකථන දීලා ඒ පාක්ෂික පිබිදීමට හානියක් වෙන කිසිම දෙයක් කරන්න එපා. මාධ්‍ය ඇහුවාම මේ සාකච්ඡා ඉතා සාර්ථකව ධනාත්මකව සිදුවෙනවා කියලා කියන්න. ඇත්තම කතාවත් ඒකම තමයි. මේ සාකච්ඡා මම ජයග්‍රාහී තැනකට ගේනවා. හැබැයි ඒක ගහෙන් ගෙඩි එනවා වගේ එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනෙක මේ වෙලාවේ ඡන්දෙකුත් නෑ. අපි මේ පක්ෂ දෙක එකතු කරන්න ඕනේ පීක් ටයිම් එක බලලයි….’ යනුවෙන් කියමින් සජිත් සාකච්ඡාවල ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දෙද්දී කිසිවකුත් කිසිදු ශබ්දයක් නොනගා සාවධානව සජිත් කළ ප්‍රකාශය අසා සිටි ආකාරයක් දැකගත හැකි විය.

ඉරාන් බාල්දියක් පෙරළුවාද?

මෙහිදී සජිත්ගේ ප්‍රකාශයෙන් අනතුරුව සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික රූමි මර්ෂුක් විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් යම් මතභේදාත්මක තත්ත්වයක් මතුවිය. එහිදී රූමි කියා සිටියේ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ඉරාන් වික්‍රමරත්න මහතා විසින් මීට දින කීපයකට පෙරාතුව ඩේලි මිරර් පුවත්පතට සාකච්ඡාවක් ලබාදී ඇති බවත්, එහිදී නායකයන් සම්බන්ධයෙන් ඉරාන් කර තිබූ ප්‍රකාශයක් හරහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය හෑල්ලුවට ලක්වන බවත්ය.

‘මීට දවස් කීපයකට කලින් ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ඩේලි මිරර් පත්තරේට සාකච්ඡාවක් දීලා තියෙනවා. එතැනදී නායකයන් ගැන අහපු ප්‍රශ්නයකදී ඉරාන් දීලා තියෙන උත්තරවලින් විපක්ෂනායකතුමා හෑල්ලුවට ලක්වෙන විදිහක් තමයි මට පේන්න තියෙන්නේ. එතුමා කියලා තියෙනවා සජිත් කියන්නේ තවමත් පරීක්ෂා කරපු නැති (ටෙස්ට් නොකරපු) නායකයෙක් කියලා. ඔබතුමාට පලපුරුද්දක් නෑ කියලා. දැනට රටේ මතුවෙලා තියෙන අර්බුදත් එක්ක පලපුරුද්දක් තියෙන අය ඉන්න ඕනෙ කියලා වගේ අදහසක් තමයි එතුමා කියලා තියෙන්නේ. ඒක ඉතාම වැරැදියි. පක්ෂය ඇතුළේ ඉඳගෙන පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මේ වගේ ප්‍රකාශ කරන එක කිසිම විදියකින් අනුමත කරන්න බෑ…’ යනුවෙන් කියමින් රූමි සජිත් දෙස බැලුවේ ඔහුගෙන් ඊට පිළිතුරක් බලාපොරොත්තුවෙනි. නමුත් ඇත්ත වශයෙන්ම සජිත් ඒ වනවිට ඉරාන් එවැනි ප්‍රකාශයක් ඩේලි මිරර් පුවත්පතට කළ බවක් දැන සිටියේ නැත. නමුත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සජිත් ‘මම නම් එහෙම එකක් දැක්කේ නෑ. හැබැයි ඉතින් එතුමා එහෙම දෙයක් කියලා තියෙනවා නම් ඒක මට පොසිටිව්. මොකද රටට මෙච්චර ප්‍රශ්න ඇති වුණේ පරීක්ෂා කරපු නායකයෝ ඉඳලනේ. දැන් පරීක්ෂා නොකරපු එකම නායකයා විදියට ඉන්නේ මම විතරයි. ඉතින් අපි එකත් ටෙස්ට් කරලා බලමු…’ යනුවෙන් එය වැඩි ගණනකට නොගෙන පිළිතුරු දුන් ආකාරයක් දැකගත හැකි විය. නමුත් රූමි, ඉරාන් කළ ප්‍රකාශය වැරැදි බව නැවත කියා සිටියද, ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉරාන් එදින කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වී සිටි බවක් දැකගන්නට ලැබුණේ නැත.

නමුත් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සජබ නායකයන් පිටතට එද්දී සුපුරුදු පරිදි මයික් අල්ලාගෙන මාධ්‍යවේදීන් පිටත සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී සජිත් ලබාදුන් උපදෙස්වලට අනුව යමින් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ඉතා පරිස්සමෙන් යුතුව සජබ – එජාප එකතුව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය. සියලු දෙනාම කියා සිටියේ විපක්ෂ නායකවරයා එම සාකච්ඡා ධනාත්මකව ඉදිරියට ගෙන යන බවත්, නුදුරේදීම පක්ෂ දෙකේ එකමුතුව නියත වශයෙන්ම සිදුවනු ඇති බවත්ය. ඒ අනුව සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් වූයේ සජබ – එජාප පාක්ෂිකයන් අතර පැවැති රැල්ල තවදුරටත් ඉහළ ගොස් තිබූ ආකාරයකි. එහි ප්‍රතිඵලයක් ලෙස එජාප උපසභාපති නවීන් දිසානායක මහතා මහනුවරදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ලබාදීමට පියවර ගෙන තිබිණි. එහිදී නවීන් කියා සිටියේ සජිත් කැමැති නම් තමන් මධ්‍යම පළාතේ මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් සටනට පිවිසීමට සූදානම් යැයි කියාය.

අකිල විපක්ෂනායක කාර්යාලයේ

මේ අතර පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් විපක්ෂ නායක කාර්යාලයේදී තවත් වැදගත් වැඩකට මුලපිරුවේය. ඒ, මේ වනවිට ආන්දෝලනයට තුඩුදී ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවට දරුවන්ට හඳුන්වා දිය යුතු සැබෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විදග්ධ සංවාදයක් ආරම්භ කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග අලුත් සාකච්ඡා වටයකට මුලපිරීමය. පසුගිය අඟහරුවාදා පැවැති මෙම සාකච්ඡාවට විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, කථිකාචාර්යවරු, ගුරු විදුහල්පතිවරු, දෙමවුපියන් මෙන්ම විපක්ෂයේ පක්ෂ රැසක මන්ත්‍රීවරුද එක්ව සිටියහ. ඊට අමතරව තවත් එක්තරා විශේෂ පුද්ගලයකුද විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සාකච්ඡා මේසයේ අසුන්ගෙන සිටියේය. ඒ, වෙන කවුරුවත් නොව යහපාලන ආණ්ඩු සමයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එජාප උපනායක අකිල විරාජ් කාරියවසම් මහතාය. අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරිය ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය ජාලවල දැවැන්ත ප්‍රහාරයක් එල්ල වන අතරවාරයේ ඇතැමුන් අකිල විරාජ් සම්බන්ධයෙන්ද අදහස් පළකරමින් ලියා තිබුණේ සිය පාලන කාලයේදී අකිල කිසිදු ගැටලුවකින් තොරව අධ්‍යාපන ක්ෂේත්‍රය හැසිරවූ බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකළ බවත්, හරිනි අකිලගෙන් ඒ සම්බන්ධයෙන් වූ පාඩම් උගත යුතු බවත්ය. ඒ අනුව මෙහිදීද අකිල වැදගත් අදහස් රැසක් ඉදිරිපත් කිරීමට පියවර ගත් ආකාරයක් දැකගන්නට ලැබිණි.

හරිනි තනිකළාද?

මේ අතර, පසුගිය සතිය වනවිට හරිනිට එරෙහිව ‘හරිනි ගෝ හෝම්’ යනුවෙන් රට පුරා තැන් තැන්වල විරෝධතා ව්‍යාපාර ආරම්භ කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මාලිමාවේ දෙතුන් දෙනකු හැරුණු විට ජවිපෙ කිසිවකුත් හරිනිව බේරාගැනීම සඳහා දැනෙන සුළු යමක් හෝ සිදුකොට නොතිබීමය. පසුගිය සෙනසුරාදා මතුගම පිහිටි නිදහස් අධ්‍යාපනයේ පියා වූ සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතාගේ පිළිරුව ඉදිරිපිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අගමැතිවරියට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සංවිධාන කොට තිබූ අතර, එදිනම හරිනි වෙනුවෙන් මාලිමාවේ මන්ත්‍රීවරියක වන නිලන්ති කොට්ටහච්චි මතුගම නගරයේදීම තවත් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. නමුත් ඊට ජවිපෙන් සැලකිය යුතු මන්ත්‍රී නියෝජනයක් දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමකි.

නායක හිමිවරුන් මැදිහත් වුණාද?

සමලිංගික වෙබ් අඩවියක නමක් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සඳහන්ව ඇති බවක් මුලින්ම දැක රටට කියා සිටියේ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ය. උන්වහන්සේ ඒ බව පළමුවෙන්ම මල්වතු-අස්ගිරි මහානාහිමිවරුන් හමුවී දැනුම් දීමටද පියවර ගත්හ. මීට අමතරව මාතෘකාව එළියට ආ වහා විපක්ෂයේ දේශපාලන නියෝජිතයන්ද, වෙනත් ප්‍රබල පාර්ශ්වයන්ද මේ සම්බන්ධයෙන් මහානාහිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගත්හ. මේ අනුව බරපතළ අර්බුදයක් මේ හරහා නිර්මාණය විය හැකි නිසා පසුගිය සතිය වනවිට වහාම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගන්නා ලෙස බරපතළ පණිවුඩයක් මහානාහිමිවරුන්ගෙන් ආණ්ඩුවට ලැබුණාද යන්න පිළිබඳ සැකයක් මේ වනවිට බොහෝ දෙනා තුළ මතුව තිබේ. මීට අමතරව සමලිංගික කටයුතු ප්‍රවර්ධනයට කවදත් විරෝධය පෑ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගෙන්ද ප්‍රබල පණිවුඩයක් ආණ්ඩුව වෙත ලැබී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය යළිත් වතාවක් අධ්‍යයනය කොට ඉදිරිපත් කිරීම සඳහා 2027 තෙක් කල් ගැනීමට ආණ්ඩුව තීරණය කොට තිබිණි.

මේ ආකාරයට මහානාහිමිවරුන්ගෙන් ආණ්ඩුවට බරපතළ පණිවුඩයක් ලැබීමට නියමිතව ඇති බවක් ඊට පෙරාතුවම විපක්ෂ නායක සජිත්ටත්, විපක්ෂයේ තවත් නායකයන් කිහිප දෙනකුටත් දැනගන්නට ලැබී තිබිණි. සජිත් ඒ වනවිට සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ පොදු වේදිකාවක් නිර්මාණය කිරීමේ සාකච්ඡාවන්ට එක්වය. මෙම පණිවුඩය ලැබුණද, මේ අයුරින් ආණ්ඩුව 6 ශ්‍රේණියේ මොඩියුලය හකුලා ගත්තද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගොඩනැගීමට නියමිත පොදු වේදිකාවේ කටයුතු එලෙසින්ම ඉදිරියට ගෙන යෑමට සජිත් කටයුතු කළේය. කෙසේ වෙතත් එම පණිවුඩය ලැබුණු යම් යම් දේශපාලනඥයන් විවිධ උපවාස, සත්‍යග්‍රහවල නිරත වූ ආකාරයක්ද දැකගත හැකි විය.

කෙසේ වෙතත් මෙහිදී බොහෝ දෙනා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාත්, අගමැතිවරියත්, ලාල්කාන්ත වැනි ප්‍රබල අමාත්‍යවරුත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා නොගන්නා බවට දැඩිව ප්‍රකාශ කර තිබියදී ජනතා විරෝධය හමුවේ අඩියක් පසුපසට ගෙන එහි යම් කොටසක් හෝ හකුලා ගැනීමට සිදුව තිබීම මන්ත්‍රීවරුන් 159 දෙනකු සිටින තුනෙන් දෙකේ ආණ්ඩුවක් ලැබූ ප්‍රබල පසුබෑමක් ලෙසටය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

මගේ හීනෙට තව ගොඩක් දුරයි…! හිතේ හයිය තියෙනව ඒ ගමන යන්න පුළුවන්…! රංගනය සම්පූර්ණයෙන්ම අහම්බයක්…! තිනෙරු විජේසිංහ I Sri Lanka Latest News

Next Post

අත්හරින්නම් බෑ… ඒක මගේ ඇඟේ තියෙන දෙයක්…! මේ මගේ අම්මගෙන් ලැබුණු දායාදය…! ජැක්සන් මාමාව මතක් නොකරපු දවසක් නෑ…! මම කිසිම දෙයක් ප්ලෑන් කරලා කරන්නේ නෑ…! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.