ඕන්න ආයිබෝවන්ඩ මෙදා පොටේ ඉන්තේරුවෙන්ම කතන්දරේ සාර කොටන්ටයි යන්නෙ. මහ උන්දලා ඔක්කොම්මලටම කතන්දර ටික කියන්ට. මොකෝ උන්දලා මේ වෙලාවෙ ඉන්නෙ වඩුකැටේ පැටලිලා වගේ. හැබැයි රජෝ මේන්න මෙහෙම කතන්දරයක් නං තියෙනවා ඉස්සර අපේ ගංතුලානවල.Sri Lanka Latest News
‘ඉල්මහ වැස්සේ නාඩව් හැත්තේ….’ කියලා. පුරාණ ගංතුලානවල ඇත්තො දැන උන්නා ඉල්මහේ ඉන්තේරුවෙන්ම වැහි වැටෙනා වග. ඒ නිසාම උන්දලා දර ගින්දර කාරිය ගෙට කොරාගෙන බතක් මාලුවක් හදාගන්න සූජානම් උනා.
හැබැයි ආයිබොවන්ඩ මේ උන්දලා වැස්ස ගැන දැනගත්තෙ අපේ ආණ්ඩුවෙ මහතැන්ලා කියනවා වගේ කෙරේමයකින් නෙමේ. මොකෝ කාලගුණ දෙපාර්තමේන්තු කාරිය ඒ වංගියෙ තිබ්බය කියලයැ. ඒත් ඉතිං අපේ ගංකරේ ඇත්තො මේ වැහි වැටෙන දවස් ඉන්තේරුවෙන්ම කිව්ව නෙ ආයිබොවන්ඩ.
‘ඒ කොහොම ද…?’
ඕන්න ඕකයි මේ කියන්ට තනන්නෙ. දැං ඔය වැස්ස ගැන කිව්වාය නැතාය කියමින් රණ්ඩු සරුවාලු වෙන්ට කාරියක් නෑ. ඔය මොකක්ම ආයතනේක ලොකු මහතැන් කෙනෙන්ට බනින්ට කරන්න ඕනෑ වෙන්නෙ නෑනෙ. උන්දලා ඉතිං එක එක වැල් බයිලා කියන්ට ගත්තම වොලී බැස්ටියන් මහත්තයා පරාදයි නෙව. ඕන්න ඔය හින්දම අපි ගංකාරයො විදියට අපේ කොටහ කියලා දාන්ට හිතුවා. ඔය මහත්තුරු ඔය මහත්තුරු දන්න කොටහ කොරාගෙන යන්ට. ඒ සාත්තරේ හැටියට. අපි අපේ සාත්තරෙන් මේ වැඩේ කොරාගන්නං. වෙන ඉතිං මක්ක කොරන්ටයැ ආයිබොවන්ඩ. ඔය යන්තර සූත්තරවලින් කරන කොටහ අපිට තේරුං බේරුං කරගන්ට බෑ නෙව.
අපේ ගංකරේ ඇත්තෝ ඉස්සර හිතුව එක කාරණයක් උනේ ආයිබොවන්ඩ අඹ දල්ල. ඕන්න අඹගහේ දලු හුඟාක් රතට රතේ තියෙනවා නම් ඒ ඇත්තො දැන උන්නා දෙතුන් දොහකින් මහ වැස්සක් එන්ට පුළුවන් විත්තිය.
අඹ දල්ල විතරක් නෙමේ, අඹ නැට්ට දිහා බලපුවාමත් මේන්න මේ සාත්තරේ කියාගන්නට පුළුවන් උනා.
‘ආං බලාපං එතනෝ, වඳුරු නැට්ට හේ දියි අඹ නැට්ට. බලාපංකො හැදිලා තියෙන ගෙඩි ඩිංගිත්ත. නොවහිනා පාටයි මෙදා පොටේ නං…’ කියලයි ගමේ අය කියෙව්වෙ. ඒත් අඹ ගහේ ගෙඩි හුඟාක් තියෙනවා නම් ඒක මහ වැස්සකට පෙර නිමිත්තක්ය කියලත් අපේ ගංකරේ උන්න උදවිය විශ්වාස කළා.
ඒ වගේම කිරළගෙ බිත්තර දැමිල්ලත් වැහි එන නොඑන එක ගැන ආරංචියක් කියලයි එදා ගංකරේ උදවිය විස්වාස කළේ.
කිරළෙක් වැවේ වැව් පිටියෙ එහෙම උගේ බිත්තර දානවා නම් ගංකරේ ඇත්තො විස්වාස කොළා මහ වැස්සක් නං පේනමානෙක නෑය කියලා.
‘ආං අර කිරළෙක් වැව් පිටියෙ බිත්තර දාලා අත්තප්පෙ. වැහි දෙයියො මේ වංගියෙ නං අහක බලන පාටයි…’ කියලයි පුරාණ වැව් ගම්මානවල එව්වො කියෙව්වෙ,
ඒ වගේම කිරළා කුඹුරු යායෙ බිත්තර දැම්මා නං ඒකත් ඔය වගේම තමයි. හැබැයි ආයිබොවන්ඩ කිරළ බිත්තර තියෙන්නෙ වෑකන්දෙ නං, ඩිංගක් වගේ වහින්ට පුළුවන් බව අපේ ගංකරේ එව්වො විස්වාස කළා. ඒ වගේම දිවුල් ගහ කියන්නෙත් ගංකරේ උන්න සාත්තරකාරයෙක්.
‘ආං බලපාං උන්නැහේ දිවුල් ගහේ ගෙඩි. මයෙ හිතේ නියඟෙ අල්ලා හිටේ සෑහෙන දුරකට…’ කියලයි ගංකරේ එව්වො කියෙව්වෙ.
මේ විතරක් නෙමේ ආයිබොවන්ඩ. ගංකරේ එව්වො අහස පොළොව වැස්ස කියවන්ට ඉගෙන ගෙන උන්නා.
‘ආන්න කෙල්ලො කූඹි ටික බිත්තර හෙම කරට ඇන්න පිළිකන්න පැත්තෙන් ගෙට රිංගනවා. රෙදි ටික එහෙම ගෙන ඇන්න ලෑස්ති වෙයං…’ කියන්ට පුරුදු වෙලා උන්නා.
‘ආන්න බලාපං හුරේ දිමියො දිමිගොටු බඳිනා කලබලේ, වැස්ස ළඟයි මයෙ හිතේ…’ වයෙ කතන්දර ගංකරේ ඕනෑ හැටි ඇහුණා.
මෙරු මතුවෙනකොට පායන විත්තිය වගේම, ගෙඹි කෑගෑම වැස්ස ආරංචිය වගෙ ගංකරේ එව්වො විශ්වාස කළා. ඒ වගේම මයිනාගේ කලබල කෑගැහිල්ල ගැනත් ගංකරේ කියැවුණා අයිබොවන්ඩ, ගේදොර අස්සෙ හක්කලං කරන මයින්නු වෙනදා ඉන්නවාට වඩා කලබලෙන් දඟලන්ටයි, කෑ ගහන්ටයි තියාගත්තොත්, හෝරාවක් යන්ට මත්තෙන් වැස්ස එනවා…’ කියන්ට ගංකරේ එව්වො පුරුදු වෙලා උන්නා. වැහිලිහිණි ගැන ආයෙ කියන්ට දෙයක් නෑ නෙව. ඒක කිරිසප්පයා හිට දන්න කාරණාවක්නෙ.
‘ආං බලාපං ආකහේ ලේ හත්ත වගේ, තුන් දොහක් යන්ට මත්තෙන් වහිනවා ඔන්න…’ කියන්න ගමේ ඈයොන්ට පුළුවන්, ඒ විතරක්යැ කාවයියාගෙ කලබලේ දැකලත් අපෙ එව්වො වැස්සක් ළඟ එන විත්තියක් කියෙව්වා.
කොහොමින් කොහොමින් හරි කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි අහස පොළොව දිහා බලලා, සත්තු සීපාවෝ දිහා බලලා, ගහකොළ වැල් මල් දිහා බලලා, වැස්ස ගැන අනාවැකි කියපු ජාතියක්. ඒ අනාවැකි ටක්කෙටම හරියන විදිහට මහපොළොව කියවගත්ත ජාතියක්. කුරුල්ලන්ගේ දැඟලිල්ල, දෙමළිච්චන්ගේ කියවිල්ල, ගහක කොළක වැලක මලක හෙලවිල්ල, මාළුවාගේ කුරුල්ලාගේ හැසිරීම අඳුනගෙන, ඒ ඒකෙන් පරිසරය ගැන හරි අවබෝධයක් හදාගත්තු අපේ ගංකරේ එව්වෝ, උන්ගේ ගොවිතැන් බත් ටික සරුසාර කරගත්තා.
හරි කලට වැස්සේ නැත්නම් ගොවිතැන්බත් සරුසාර වෙන්නේ නෑ. හරි කලට නොවැහැ, ඕනෑරිකාලේ වැස්සොතින් එහෙම්ම පැළ හේදිලා යනවා, මුල් කුණු වෙනවා, ඉන්දපු වැඩ ටික දියවෙලා මහ වැස්සේ ගහගෙන යනවා. ඒ හැම එකම අපේ මිනිස්සු ආරක්ෂා කරගත්තා. බඩ වියත රැකගන්න ගොවිතැන් කරපු ජාතියක් අපි.
ගමකට කන්න දෙන්න කුඹුරක් අස්වද්දපු ජාතියක් අපි. මුම්මාරියෙන් මානාවාරියෙන් ගොවිතැන් බත සරු කරලා, හේනේ පැලේ ඔට්ටු වෙලා ජීවිතේ ගොඩගහගත්ත පරම්පරාවක මිනිස්සුන්ට මහපොළොව ගැන ආයේ අලුතින් කියලා දෙන්න ඕන නෑ. ඒ නිසයි කියන්නේ, මහ වැස්ස කරපු හරියෙන් අපිට රිදුණා තමයි. ඒත් අපිට නැගිටින්න බැරි නෑ.
හැබැයි වැස්ස ගැන දන්නේ නෑ, වැස්ස ගැන කිව්වේ නෑ, වැස්ස ගැන ආරංචි වුණේ නෑලු කියලා කියවන්න කලින්, නෝනලා මහත්වරුනි මේ ලිපිය කියවන්න.
මේ ගංකරේ එව්වෝ, ඉස්කෝලේ නොගිය එව්වෝ, මළපොතේ අකුරක් නොදන්න එව්වෝ වැස්ස ගැන කාලෙකට කලින් දැනගත්ත විත්තිය.

ජීවන පහන් තිළිණ










