ඉකුත් සති අන්තයත් මා ගතකළේ යටියන්තොට සහ රුවන්වැල්ල ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේය. ඒ ජවිපෙ 1971 අප්‍රේල් 05 කැරැල්ල පිළිබඳ මවිසින් ප්‍රකාශයට පත්කිරීමට අදහස් කරන ග්‍රන්ථය සඳහා තොරතුරු ලබාගැනීමටය. ජවිපෙ 1964 මැයි 14 අක්මීමන පැවැති සමාරම්භක සාකච්ඡාවකට සහභාගිවූ දැදිගමගේ විල්සන් (84) එහිදී හමුවිය. රුවන්වැල්ලේදී 1941 නොවැම්බර් 16 උපන් විල්සන් කොළඹ හේලීස් සමාගමේ කම්කරුවකු ලෙස සේවයට බැඳුණේ 1962දීය. විජේවීර ඔහු දැනහඳුනාගත්තේ මරදානේ පදිංචි ස්ටැන්ලි මගිනි. වර්තමානයේ පස්දරු පියකු වූ ඔහුට සිටින මුණුබුරු මිණිබිරියන් සංඛ්‍යාව 12කි.Sri Lanka Latest News
විල්සන්ගෙන් මා කරුණු තුනක් ප්‍රධාන වශයෙන් විමසා සිටියේය. ඒ, මෙයට පෙර ජවිපෙ උපත ලත් සමාරම්භක අවස්ථාවට එක්ව සිටි අයගෙන් මා මුහුණට මුහුණ හමුවූ ඩබ්ලිව්.ඒ. කරුණාරත්න, සතොස තලවලගේ වෝල්ටර්, ජයරත්න පෙරේරා හෙවත් දෙල්ගොඩ රාජා, ඩබ්ලිව්. ටී. අමරතුංග (ඉන්කම්ටැක්ස් කරුගේ බාල සොහොයුරා), තිස්සමහාරාමයේ සිරිපාල අබේගුණවර්ධන සහ රත්නපුරයේ තෙල්ගේ බියුටි චන්ද්‍රා ප්‍රනාන්දු හෙවත් ටී.බී.සී. ප්‍රනාන්දුගෙන් මතුවූ ඇතැම් කරුණු සනාථ කරගැනීමටය. එනම් සමාරම්භක සාකච්ඡාවට සහභාගිවූ නිශ්චිත පුද්ගලයන්, ලේවලින් පොරොන්දු පත්‍රයක් අස්සන් කිරීම පිළිබඳ සහ චීන කොමියුනිස්ට් පක්ෂ තරුණ සමිතිය 1965 ජූලි මස පමණ යළිත් ප්‍රතිසංවිධානය කිරීමේ අදහසින් ෂම්මුගදාසන් විසින් තරුණ සමිති නිලවරණය පැවැත්වීමේදී ඊට කලින් දින විජේවීරගේ මෙහෙයවීමෙන් තිඹිරිගස්යායේ නිවසක පැවති ‘රහස් සාකච්ඡාවක්’ පිළිබඳවය.
විල්සන් එහිදී අවධාරණය කළේ 20ක පමණ පිරිසක් සහභාගි වූ එම සාකච්ඡාව විජේවීරගේ ඉල්ලීම පිට තමා සංවිධාන කළ බවය. තිඹිරිගස්යාය අශෝකාරාමය අසල තාවකාලිකව විදේශගතව සිටි ද්‍රවිඩ වෛද්‍යවරයකුට අයත් නිවසක මුරකරුවකු වශයෙන් තම මිත්‍රයෙකු සේවය කළ අතර, තමාගේ ඉල්ලීම මත එම නිවස සාකච්ඡාව සඳහා යොදාගත් බවය.
දැදිගමගේ විල්සන් සමග ධර්මන් වික්‍රමරත්න සිදුකළ කෙටි සාකච්ඡාව පහත පළවේ.
ධර්මන් වික්‍රමරත්න
එතකොට ආරම්භක සාකච්ඡාව සිදුවුණේ කොහොමද? ඒකට එකොළොස් දෙනෙක් සහභාගි වුණාද?
දැදිගමගේ විල්සන්
ඔව්. ඒ එකොළොස් දෙනාගෙනුත් හත්දෙනයි ඉතුරු වුණේ. ඒගොල්ලන් විසිරිලා ගියා, නැත්නම් අයින් කෙරුවා. අයින් කෙරුවනේ කට්ටියක් ගෑනු ළමයින්ට කොලොප්පම් කෙරුවයි කියලා.
ධර්මන් වික්‍රමරත්න
එතකොට ලේවලින් අස්සන් කළාද ප්‍රතිඥාවකට? ඒ ප්‍රතිඥාව මොකක්ද?
දැදිගමගේ විල්සන්
අපේ සංවිධානය පාවා නොදෙනවයි කියලා තමයි අපි ලේවලින් අස්සන් කෙරුවේ. ඒ වගේම විප්ලවය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරනවා කියලා.
ධර්මන් වික්‍රමරත්න
එතකොට ඒ සියලු දෙනාම ලේවලින් අස්සන් තැබුවේ ඒ කොළ කෑල්ලකට?
දැදිගමගේ විල්සන්
ඔව්. මම හිතනවා එක්කෙනෙක් දෙන්නෙක් ඒකට සහභාගි වුණෙත් නෑ අස්සන් කෙරුවෙත් නෑ බයවෙලා.
ධර්මන් වික්‍රමරත්න
ෂන්මුගදාසන්ගෙ තරුණ සමිතියේ බලය අල්ලන්න නේද විජේවීර ඒ සාකච්ඡාව තිබ්බේ?
දැදිගමගේ විල්සන්
ඔව්. සාකච්ඡාවට ගියා. සාකච්ඡාව ඉවර වෙලා පහුවදා පාන්දර එතැනින් අපි ඔක්කොම එන්න ආවා. තම තමන්ගෙ ගෙවල්වලට ගියා. ඒක රහසිගතව කෙරිච්ච දෙයක්. නමුත් ෂන්මුගදාසන්ට කවුරු හරි ඒ ගැන කියලා තියෙනවා. ඒකෙන් තමයි මේ විජේවීර සහෝදරයාව කපලා දැම්මේ….
(වසර 1986 සිට 1990 දක්වා පැවැති 60,000ක් ඝාතනය වූ ජවිපෙ දෙවැනි කැරලි සමය පිළිබඳ රචිත ‘ජවිපෙ දෙවැනි කැරැල්ල’ ග්‍රන්ථ හතර පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් 071-2733986 යන උය්එි්චච දුරකතනයෙන් විමසිය හැකිය.)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න










