දිට්වා සුළි කුණාටුව අපේ රටට නිර්නාමිකව ඇවිදින් රහසින් පහර දුන්නේ නැත. කලාපය පුරා සයිරන් හඬ දැල්වූ ගෝලීය කාලගුණ විද්‍යා ආයතනවල අනතුරු ඇඟවීම් සමග එය අපේ දූපත ආක්‍රමණය කළේය.Sri Lanka Latest News
සුළි කුණාටුවට සති කීපයකට පෙර සිටම, ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ ටයිෆූන් අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ (JTWC -Joint Typhoon Warning Center), ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ (IMD – India Meteorological Department) මධ්‍යම පරාස කාලගුණ අනාවැකි සඳහා යුරෝපීය මධ්‍යස්ථානය, (ECMWF – European Centre for Medium Range Weather Forecasts) උපදේශන සහ weather.com විසින් තරයේ චන්ද්‍රිකා ඡායාරූප සහිත නිවේදනය කරන ලද මුළු කුණාටු මාර්ගය එලෙසම ප්‍රක්ෂේපණය කළ, එපමණක්ද නොව BBC, CNN, අල්ජසීරා, නාලිකා වඩාත් නිරවුල්ව අනාවරණ කළ සියල්ලේම එකම කතාවක් විය. එම ගෝලීය හෙළිදරව් කිරීම්වලට අනුව දරුණු කුණාටු පද්ධතියක් ශ්‍රී ලංකාව දෙසට කෙළින්ම ගමන් කරමින් තිබිණි.
‘ජල මට්ටම් ඉහළ යන විට, කඳු නායයන විට, අසරණ වූ මිනිසුන්ගේ විලාප හඬ මැදින් එක් භයානක සත්‍යයක් හෙළිවෙමින් තිබේ.’
මහා ජල කඳ හෙක්ටයාර 510,000ක් වගා කළ කුඹුරු, එතුළින් සිදුවූ වගා හානිය පමණක් රු. බිලියන 36කට අධික වී ඇත. වාරි පද්ධතිය, මහා මාර්ග, පොළොවට සමතලා වූ නිවාස, පාලම් තවමත් ගණන් බලා නොමැත. අහිංසක මිනිසුන්ගේ කම්පනය, ආදරණීයයන්ගේ වෙන්වීම, සදාකාලිකය. තවමත් සුරක්ෂිත මධ්‍යස්ථාන 1,494ක, අවතැන් පුද්ගලයන් ලක්ෂ 11කට වැඩි ජනතාවක් රඳවා ඇත.
මෙම ව්‍යසනයෙන් හෙළිදරව් වන්නේ ඊටත් වඩා නරක දෙයකි. ඒ අන් කිසිවක් නොව, දේශපාලන නොසැලකිල්ල, අස්ථානගත වූ ප්‍රමුඛතා සහ ආයතනික බිඳවැටීමේ නාමාවලියකි.
මගහැරී ගිය පූර්ව අනතුරු ඇඟවීම්
දේශීය හා ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සේවා මගින් ගොඩබිමට පැමිණීමට දින කිහිපයකට පෙර දිට්වා බවට පත්වූ බරපතළ කුණාටු තත්ත්වය නිරීක්ෂණය කරන ලදී. ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙරළබඩ බලපෑම සහ ඉතා අධික වර්ෂාපතනය පුරෝකථනය කරමින් විධිමත් උපදේශන නිකුත් කරන ලදී. එතැනින් නොනැවතුණු ඉන්දියාව, සිය රජය සතු වික්‍රාන්ට් (INS Vikrant) ගුවන් යානා ප්‍රවාහනය කළ හැකි යුද නැව, සහායක යානා, විවිධ ද්‍රව්‍ය, ගලවා ගැනීමේ පිරිස් ඇතුළු 1,600ක කාර්ය මණ්ඩලය සමග ආපදාවට දින කීපයකට පෙර කොළඹ වරාය වෙත ළඟාවූයේ මේ අනතුර කල්තියා මැනැවින් හඳුනාගත් පරිද්දෙනි.
කලාපීය කාලගුණ මධ්‍යස්ථාන මධ්‍යම කඳුකරය හරහා දැඩි වැසි සහ නායයෑම් අවදානමක් ස්ථිර ලෙස පෙන්නුම් කළේය. මේවා නොපැහැදිලි හෝ බොඳව ගිය ඉඟි නොවේ. ඒවා රජයේ සෑම මට්ටමකින්ම වේගවත් සූදානමක් ඇති කළ යුතු විධිමත්, කාලානුරූපී අනතුරු ඇඟවීම් විය. එහෙත් පුරෝකථනය සහ අර්ථවත් ක්‍රියාමාර්ග අතර ගැඹුරු පරතරයක් පෙන්නුම් කෙරිණි. පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩය මහජනතාව වෙත ළඟාවූ නමුත්, එම දැනුවත් කිරීම හරහා අනතුරු සහිත ප්‍රදේශවලින් ජනයා ඉවත් කිරීම, ජලාශ ආශ්‍රිතව ජල මට්ටම් කළමනාකරණ සහ ජීවිතාරක්ෂක සැපයුම් සේවා, සහ ආපදා තත්ත්වයකදී අත්‍යාවශ්‍ය මෙහෙයුම් යාන්ත්‍රණය අලසව චලනය වන්නට විය. පෙර සූදානම් වීමේ පෙරහුරුවක් නොවූ අතර, ජීවිත බේරාගත හැකි ඒකාබද්ධ මධ්‍යගත ව්‍යුහයන් අක්‍රීය වී තිබිණි. ඕනෑම ක්‍රියාකාරී රාජ්‍යයක මූලික යුතුකම වන තීරණාත්මක අවස්ථාවක ඊට මුහුණ දීමට අවැසි ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රතිචාරයකින් තොරව කුණාටුවට පසු දින රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර වසාදමන ලදී.
පිළිතුරු ඉල්ලා සිටින මිනිස් වන්දිය.
ගලවා ගැනීමේ කණ්ඩායම් යුහුසුලු වන්නට විය. ආධාර ආයතන බලමුළු ගැන්වී අවතැන්වූ ජනතාව වෙත ළඟා වන්නට විය. ඒ තුළින් ක්‍රමයෙන් අලාභයේ දරුණු අංක ගණිතය මතුවන්නට විය. මරණ සංඛ්‍යාව දුසිම් ගණනක සිට සිය ගණනක් දක්වා ඉහළ යමින් තිබේ. නිවාස දහස් ගණනක් විනාශ විය. මිලියනයකට වැඩි ජනතාවක් පීඩාවට පත්වූ බව වාර්තා වෙමින් තිබේ. නොවැම්බර් 30 රාත්‍රිය වනවිට, නිල සහ ජාත්‍යන්තර වාර්තා මගින් පෙන්නුම් කළේ මරණ සංඛ්‍යාව සහ සමූහ අවතැන්වීම් වේගයෙන් ඉහළ යන බවයි. එම සංඛ්‍යාලේඛන ශ්‍රී ලංකාවේ මෑතකාලීන මාරාන්තික ස්වාභාවික විපත් අතරට දිට්වා පත්කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තාවක් සපයමින් ප්‍රකාශ කරන්නේ අවසානයේ හමුදා සහ පොලිස් ඒකක යොදවා ඇති අතර, සුරක්ෂිත මධ්‍යස්ථාන අවතැන් වූවන්ගේ තාවකාලික නගර බවට පත්වෙමින් ඇත යනුවෙනි.
පද්ධතිය බිඳවැටුණේ ඇයි? වැරැදුණේ කොතැනද?
මෙම ව්‍යසනය වළක්වාගත හැකිව තිබූ අසාර්ථකත්වයන්ගේ තර්කානුකුල එකතුවකි. ඒ අතර ප්‍රධාන වන්නේ, නොසලකා හරින ලද යටිතල පහසුකම් සහ නඩත්තුවයි. රොන්මඩ හා කුණු කසළවලින් වැසීගිය ජලාපවහන පද්ධති, තීරණාත්මක ජල මාර්ග නඩත්තුව කල් දැමීම සහ මේ වනවිටත් හඳුනාගෙන තිබූ නායයෑම් අවදානමට ලක්විය හැකි බෑවුම් ශක්තිමත් නොකර සිටීම. මේවා දෙවියන්ගේ කෝපයක් නිසා සිදුවූ දේවල් නොව බරපතළ නොසලකා හැරීමකි. අධික වර්ෂා තත්ත්වයකදී කානුවලට, නාගරික කානු පද්ධතිවලට දරාගත නොහැකිව, නාගරික ගංවතුර ඇතිවීම නොවැළැක්විය හැකි කරුණකි.
නායකත්ව ප්‍රමාදයන් තුළ නිර්මාණය වූ අරාජිකත්වය
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වෙත සුවිශේෂ බලයක් ලබාදී ඇත්තේ රාජ්‍ය සහ එහි ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඍජුව මෙන්ම කාර්යක්ෂමව එම බලය ක්‍රියාවේ යෙදවීම පිණිසය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය තුළ, පුරවැසියා ආරක්ෂා කිරීම සඳහා විධායකය පළමුව ක්‍රියා කළ යුතුය. එහෙත් ඔහු හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීමට අනවශ්‍ය කාලයක් ගනිමින් එය ප්‍රමාදයට ලක්විය. මහජන නොසන්සුන්තාව ඉහළ ගොස් උදව් ඉල්ලීම් තීව්‍ර වෙද්දී හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමින්, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයකු පත්කර ගැසට්ටුව එළිදැක්වීමට පියවර ගැනිණි.
මෙම ප්‍රමාද වූ සෑම විනාඩියක්ම වැදගත් වේ. ඉවත් කිරීම, දේපළ ආරක්ෂාව හෝ සහනාධාර පූර්ව ස්ථානගත කිරීම, සඳහා ප්‍රමාද වූ සෑම පැයක්ම අහිමි වූ ජීවිත බවට පරිවර්තනය විය.
ජනාධිපති ධුරය විසින් මෙහෙයවනු ලබන සහ සම්පූර්ණයෙන්ම දැනුවත් කරන ලද කැබිනට් මණ්ඩලයකින් සහ ආපදා මෙහෙයුම් යාන්ත්‍රණයකින් සහාය ලබන තනි, සම්බන්ධීකරණයක් සහිත ව්‍යුහයක් විසින් කරන ලද ජාතික තල්ලුවක් වෙනුවට, ආණ්ඩුවේ ප්‍රතිචාරය පෙන්නුම් කළේ ඊට හාත්පසින් වෙනස් දෙයකි. දේශපාලන උත්සව, මත්ද්‍රව්‍ය මැඬලීම, ප්‍රතිරූප කළමනාකරණය සහ පරස්පර පණිවුඩවලින් ආණ්ඩුවේ බිඳෙනසුලු රේඛා නිරුපණය විය.
ජාත්‍යන්තර හඬ සහ තාක්ෂණික ඉදිරි දර්ශන
ගෝලීය පර්යේෂණ ආයතන සහ කලාපීය ගවේෂණ ආයතන කඩිනමින් කුණාටුව ගැන සලකා බැලුවේය. ජලය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් වන ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය IWMI, (The International Water Management Institute) වර්ෂාපතනයේ පරිමාණය සහ වාරිමාර්ග යටිතල පහසුකම් සහ ජීවනෝපායන් සඳහා ඇති සංකීර්ණ අවදානම් වඩාත් නිශ්චිතව ඉස්මතු කර දැක්විය. දිවයින පුරා ඒකාබද්ධ ජල කළමනාකරණය උපායමාර්ගික අවශ්‍යතාව සහ දේශගුණික, උපක්‍රමික අනුවර්තනයක් සඳහා ඇති ඉක්මන් අවශ්‍යතාව පෙන්වා දුන්නේය. කෙටි කාලයක් තුළ සංකේන්ද්‍රණය විය හැකි අධික භූගත ජල සාන්ද්‍රණය, විශේෂයෙන් ඉහළ ගංගා ජල පෝෂක ප්‍රදේශ හායනයට ලක්වන විට, විනාශකාරී ගලායාමක් සහ නායයෑම් ඇතිකරන ආකාරය බාහිර විශේෂඥයෝ සඳහන් කළහ. (බලන්න IWMI වාර්තාව)
මෙම තාක්ෂණික රෝග විනිශ්චයන් ඉතා වැදගත් වේ. ඒවා සංයුක්ත පිළියම් සහ උපක්‍රමික ක්‍රියාමාර්ග වෙත යොමුකරයි. ජල පෝෂක සහ වැව් කණ්ඩි ප්‍රතිසංස්කරණය, ඒවායේ ධාරිතා කළමනාකරණය, නාගරික කානු නිතිපතා ප්‍රතිසංස්කරණය කිරීම, අනාවැකිවලට සම්බන්ධ ජලාශ මෙහෙයුම් ප්‍රොටෝකෝල සහ ගංවතුර බිම් කළමනාකරණය, මෙම අනතුරු ඇඟවීම් සමගම පැමිණි ඊළඟ උපායශීලී අවශ්‍යතා විය. එහෙත් ඒවා ක්‍රියාත්මක තලයකට ගෙන ඒමට දේශපාලන කැමැත්ත සහ අරමුදල් අවශ්‍ය වේ. රට පහළට ඇදවැටී ඇත්තේ එවැනි කැමැත්තක් සහිත දේශපාලන අධිකාරියක් මේ මොහොතේ රටේ නොමැති හෙයිනි.
අකාලයේ මියගිය අය වෙත ගෙවිය යුතු වන්දිය රුපියල්වලට සිමාකළ හැකිද?
නිදි ඇඳේම මෙලොව හැර යන්නට වූ අපේම ආදරණීයයන් සමහරෙකුට මිනී පෙට්ටියද අහිමි විය. අවසන් ගෞරව අහිමි විය. පශ්චාත් මරණ පරීක්ෂණ නොමැති විය. අතුරුදන් වූවන්ට මරණ සහතිකයද නොමැත. මේ මිනිසුන්ට රුපියල් මිලියනයක වන්දියක් ලබාදෙන බව රජය කියයි. මේ නොසලකා හරින ලද විපතින්, මළවුන්ට රටක් ගෙවිය යුතු වන්දිය ගණන් බැලීම සහ ජීවත්ව සිටින අයට ගෙවිය යුතු යුතුකම එලෙස තක්සේරු කළ හැකිද?.
දිට්වා සුළි කුණාටුව අපෙන් පැහැර ගත්තේ ජිවිත, නිවාස, පාලම්, ආහාර භෝග සහ ජීවනෝපායන් පමණක් නොවෙයි. පාලක රජයට තම ජනතාව ආරක්ෂා කළ හැකි බවට තිබූ අවසාන මිථ්‍යාවද එය විසින් උදුරා ගත්තේය.
අනතුරු ඇඟවීමේ සයිරන් නලා සහ රතු එළි කොතරම් ඝෝෂාකාරීව, රට ඉදිරියේ පැහැදිලිව සහ නැවත නැවතත් සිදුකළද, තමන්ගේම ජනතාව ආරක්ෂා කරගැනීමට අපොහොසත් වූ පාලන පද්ධතියක නොසලකා හැරීම එය අනුකම්පා විරහිතව අප හමුවේ පැහැදිලි කළේය. ස්වාභාවික විපත් ජාතික ඛේදවාචකයන් බවට පත්වන්නේ මිනිස් නොසැලකිල්ල, දේශපාලන අහංකාරය සහ ආයතනික අංශභාගය විසින් බව ඉතා නිරවුල්ව එය අපට මතක් කර දුන්නේය.
නමුත් මෙම ඛේදවාචකය අපේ ජාතිය තුළ තියුණු සහ ප්‍රබල ප්‍රශ්නයක් ඉතිරි කරයි. එය කුණාටු සුළඟ හරහා අපෙන් විමසන්නේ, මෙම ඉතිරි වී ඇති පැහැදිලි සාක්ෂි සමග අපි ඉදිරියේදී කුමක් කරමුද යන්නයි.
ජාතියක් ලෙස අප මෙවැනි මිනිස් අහිමිවීම්වල අවසානයක් දැකිය යුතුය. දශක තුනක් තිස්සේ අපි යුද්ධයෙන් මියැදුණු දහස් ගණනක්, සාමදානව මිහිදන් කළෙමු. විමුක්තිය පතා හැටදහසකට වැඩි තරුණ ජීවිත අකාලේ අහිමි කර ගත්තෙමු. සුනාමි උවදුරෙන් තවත් ජීවිත 30,000කට ආසන්න පිරිසක් රටට පැය කීපයකින් අහිමි කර ගත්තෙමු. පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු, දින, කාලවකවානු, නම් ගම් පාවා දැනගෙන සිටියදී එකවර පිපිරී යනතෙක් බලා සිටියෙමු. ආර්ථික අර්බුදයෙන් මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් වැසී යන්නට ඉඩ හැරියෙමු. දිට්වා සුළි කුණාටුව මුළු රටම ගිලගන්නා බවට වූ අනතුර ලංකාව හැර සෙසු ලෝකයාම දැනගෙන සිටියත් අප එයට ඉඩ දුන්නෙමු.
අකාර්යක්ෂමතාවයෙන් මාරාන්තික වූ තවත් ව්‍යසනයක් ශ්‍රී ලංකාවට දරාගත නොහැක. අපට නැවත එම වළක්වාගත හැකි මරණ ගැන දිගින් දිගටම ශෝක විය නොහැක. බලයේ සිටි අය ජනතාව වෙනුවට ඔවුන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට කාර්යබහුල වූ නිසා අපට ආදරණීයයන් භූමදානය පුරුද්දක් ලෙස දිගටම කරගෙන යා නොහැක.
ශ්‍රී ලංකික පුරවැසි වගකීම
ශ්‍රී ලාංකිකයන් වූ අපි සෑම විටම දරුණු ව්‍යසනයන් හමුවේ එඩිතරව නැගී සිටි ජාතියකි. යුද්ධයෙන්, ආර්ථික බිඳවැටීමෙන්, වසංගතවලින්, කුප්‍රකට දේශපාලන පාවාදීම්වලින් ඉතිහාසයේ බොහෝ තැන්වල අප ඍජුව නැගී සිටියෙමු. නමුත් නැගීසිටීම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. අපි දැනුවත් මිනිසුන් ලෙස සෘතුමය අනුකම්පාව වෙනුවට ව්‍යුහාත්මක වෙනසක් ඉල්ලා සිටිය යුතුය. ඒ වෙනුවෙන් පුරවැසියන්ට කළ හැකි සහ කළ යුතු දේ වන්නේ,
සමාව අයැදීම නොව, වගවීම ඉල්ලා සිටීම
පද්ධති අසාර්ථක වීම, අනතුරු ඇඟවීම් නොසලකා හැරීම, නිසි නායකත්වයක් නොමැතිවීම තුළ සිදුවූ ජීවිත අහිමි වීම ප්‍රශ්න කළ යුතුය.
පුරවැසියන් වෙත විනිවිද පෙනෙන පරීක්ෂණයක්, මෙම අනතුර අවම කරලීම වෙනුවෙන් ගනු ලැබූ තීරණ, අදාළ කාල රාමු ප්‍රකාශයට පත්කිරීම, සහ තම රාජකාරි මගහැරි නිලධාරීන් සඳහා ප්‍රතිවිපාක ඉල්ලා සිටිය යුතුය. වගවීම දේශපාලන අනුග්‍රහයක් නොව, මහජන අපේක්ෂාවක් බවට අවධාරණය කළ යුතුය.
නවීන, ස්වාධීන ආපදා කළමනාකරණ පද්ධතියක් සඳහා පාලකයන් පෙලඹවීම
ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ නිලධාරිවාදී ප්‍රමාදයන් අභිබවා යාමට බලයලත් එහෙත් දේශපාලනීකරණය නොවූ, වෘත්තීයමය වශයෙන් පවත්වාගෙන යනු ලබන ආපදා කළමනාකරණ අධිකාරියකි. ඒ වෙනුවෙන් පුරවැසියන්, සිවිල් කණ්ඩායම් සහ වෘත්තීය ආයතන පහත සඳහන් දේ අයිතීන් උදෙසා පෙනී සිටිය යුතුය.
මධ්‍යගත හදිසි සන්නිවේදන මධ්‍යස්ථානයක දැඩි අවශ්‍යතාව වෙනුවෙන්.ආයතන අතර තථ්‍ය කාලීන දත්ත හුවමාරුව වෙනුවෙන්.
දේශපාලන ඇඟිලි ගැසීම් වැළැක්වීම සඳහා ස්වාධීන අධීක්ෂණයක් වෙනුවෙන්.
මේවා ක්‍රමවත්ව ස්ථාපිත නොවන තාක්, ඊළඟ සුළි කුණාටුව නැවතත් එම ඛේදවාචකයම වෙනත් වචනවලින් ලියනු ඇත.
ආණ්ඩුව වෙත දේශගුණික අනුවර්තනය සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ සඳහා අවධාරණය කළ යුතුය.
අපට කුණාටු පාලනය කළ නොහැක. නමුත් අප කෙතරම් සූදානම්ද යන්න අපට පාලනය කළ හැකිය.
ප්‍රජාවන්, ගොවි සංවිධාන, තරුණ කණ්ඩායම්, ශාස්ත්‍රඥයන් සහ පළාත් පාලන ආයතන පහත සඳහන් දේ සඳහා පෙලඹවිය යුතුය.
ඛාදනයට ලක්වූ ජල පෝෂක ප්‍රදේශ නැවත පිළිසකර කිරීම.
විධිමත් නාගරික ගංවතුර පාලන පද්ධති සැකසීම.
කාලගුණ අනාවැකි සමග බැඳී ඇති ජලාශ මෙහෙයුම් ප්‍රොටෝකෝල ප්‍රතිසංවිධානය කිරීම.
මේ සඳහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියා නොකරන්නේ නම්, එය ක්‍රියාත්මක වනතුරු සමාජය එයට නිරන්තරයෙන් බලපෑම් කළ යුතුය.
ප්‍රජා මට්ටමේ ක්‍රමවත් සූදානමක් ගොඩනැගීම
ආණ්ඩු අසාර්ථක වූ විට, ප්‍රජාවන් එකිනෙකා වෙනුවෙන් තම තමන්ගේ ආරක්ෂාව සහ රැකවරණය උදෙසා මැදිහත් වේ. එය අපේ රටේ වටිනා සංකෘතික ගුණාංගයකි. සෑම ගමක්ම, සෑම නගරයක්ම, සෑම වතු ප්‍රදේශයක්ම සිවිල් ආපදා කමිටු, ඉවත් කිරීමේ සැලසුම්, සන්නිවේදන දාම සහ ස්වේච්ඡා ජාල නැවත පණගැන්විය යුතුය.
ජාතික නායකත්වය බිඳවැටෙන විට දේශීය ඔරොත්තු දීමේ හැකියාව අවසාන පලිහ ලෙස ස්ථාපිත කළ යුතුය. පාලකයන්ට මෙවැනි විපත් නොසලකා හැරීමට නැවත කිසිදා ඉඩ නොදිය යුත්තේ ඇයි? මක්නිසාද යත් අහිමි වන සෑම ජීවිතයක්ම වළක්වා ගත හැකිව තිබූ බැවිනි.
ඉහළ යන ජල මට්ටම් හරහා තම දරුවා කරේ රැගෙන ගිය සෑම මවකටම, පියෙකුටම, ආරක්ෂාකාරී රාජ්‍යයක් තුළ රැකවරණය සඳහා අයිතියක් හිමිව තිබූ බැවිනි.
මක්නිසාද යත්, සිය වගා බිම ගසාගෙන ගිය සෑම ගොවියකුටම අනතුරු ඇඟවීම්වලට සවන්දී තම ගොවිතැන රැකදෙන පාලනයක රැකවරණය ලැබීමට අයිතියක් තිබූ බැවිනි.
මක්නිසාද යත්, ජාතියක ගෞරවය රඳා පවතින්නේ එය බලවත් අය ආරක්ෂා කරන ආකාරය මත නොව, වඩාත්ම අවදානමට ලක්විය හැකි පුරවැසියන් ආරක්ෂා කරන ආකාරය මත නිසාය.
දිට්වා සුළි කුණාටුව එහි තිබූ ප්‍රචණ්ඩත්වය නිසා පමණක් නොව, එය හෙළිකළ අමිහිරි සත්‍යය සඳහා ද වැදගත් පාඩම් රැසක් අපට කියා දෙයි.
මෙම ව්‍යසනයට අර්ථයක් ලබාගැනීමට නම්, එය පුරවැසියන් නිදාසිටින රාජ්‍යයක් ඉවසා සිටීම ප්‍රතික්ෂේප කරන මොහොත බවට පත්විය යුතුය.
රටක පුරවැසියන් දියේ ගිලෙන, පණ පිටින් පස් කඳුවලට යටවෙන, ඛේදවාචක පිළිබඳ පාලකයන්ට නිදහසට කරුණු පිටුපස සැඟවෙන්නට ඉඩදිය යුතු නැත. මෙය ජනතා කෝපයක් නොවේ, එය වගකීමකි. මෙය ජනතා කැරැල්ලක් නොවේ, එය දේශප්‍රේමයකි.
මෙය පුරවැසි අශුභවාදය නොවේ, එය මහජන අධිෂ්ඨානයක් විය යුතුය.
දිට්වා සුළි කුණාටුව අදක්ෂ පාලනයක සැබෑ තතු හෙළි කළේය.
නමුත් එය ඊටත් වඩා බලවත් දෙයක් අවදි කළේය. එවැනි අසාර්ථකත්වයක් නැවත කිසිදා සිදුවීමට ඉඩ නොදීමට තිර අධිෂ්ඨානයක් ජාතියට රැගෙන ආවේය.

විජේපාල දිසානායක
භාණ්ඩාගාරික (ආසියානු භූදේශපාලන තිරසාරත්වය සහ සාමය සඳහා වූ කවුන්සිලය)
[email protected]










